
අතීතයේ ස්වාභාවික පරිසරයෙන් මානව අවශ්‍යතා ඉටු වූ යුගය නිමා වී වත්මන් සමාජ ස්තරය නවමු මගකට යොමු කරන්නට මිනිස් මොළය ගන්නා වෙහෙස මහන්සිය අද ඕනෑවටත් වඩා ප්‍රතිඵල දායක වී තිබේ. ඒ නිමාවන් තුළින් මිනිස් අවශ්‍යතා සපුරමින් ලෝකය වේගයෙන් කාලය පසු කරමින් ගමන් ගනිමින් සිටියි.
පළමුව සාදන ලද බීජ වෙන් කිරීමේ යන්ත්‍රය මීට වසර ගණනාවකට පෙර සොයා ගත් දුරකතනය, රූපවාහිනිය, පරිගණකය ආදිය මගින් ලොව ජයගත් මානවයා අද නැවතී ඇත්තේ ඒවා සොයාගත් විද්වතුන්වත් නොසිතූ තැනකය. එවන් තත්ත්වයකට ඒවා පරිවර්තනය වූයේද මානවයාගේ බුද්ධි මහිමයෙන් උපන් නව සොයා ගැනීම් ඔස්සේ බව අපට අමතක කළ නොහැකිය. මෙතැන් පටන් ලියැවෙන්නේ රජරට වැව් දියවරින් සරුසාර වන්නි භූමියේ උපන් ඒ නව නිපැයුම්කරුවා ගැනයි.
ඇළ දොළින් වට නිල්ල පිරුණු කෙත් යායන්ගෙන් සුපෝෂිත වැව් බැඳි රාජ්‍යයේ උපන් ඔහු නමින් එච්.ඩී. ප්‍රභාෂ් මධුසංඛය. තඹුත්තේගම නගරයට මායිම්ව පිහිටියා වූ මල්වානේගම ගම්මානයේ සිට තඹුත්තේගම මධ්‍ය මහා විදුහලෙන් උසස් පෙළ හැදෑරූ ඔහු කුඩා කල පටන් නව නිපැයුම්වලින් පෑ දස්කම් ද අතිමහත්ය. ගොවි ආභාසය ප්‍රමුඛ කොට ගත් පවුල් සංස්ථාවක් තුළ සහෝදර සහෝදරයන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු දෙවැනියා වේ. ඉකුත් වසරේ අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයට ඉංජිනේරු තාක්ෂණ විෂයයන්ගෙන් මුහුණ දුන් ඔහු එයින්ද ජය ගනිමින් ශ්‍රී ලංකා මාතාවගේ අභිමානය මේ සත් සමුදුරින් එහාට ගෙන යන්නටද සිය දැනුම බුද්ධිය වෙහෙසූ බව අප සඳහන් කරන්නේ ආඩම්බරයෙනි. එනම් කුඩා කළ පටන් තිබූ උපන් හපන්කමින් නව යන්ත්‍රයක් තනා ජපන් ශිෂ්‍යත්ව වරම් ලබා ජපන් රටේ දින 8 ක වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වීමේ භාග්‍යය ප්‍රභාෂ් උදා කරගත් හෙයිනි.
‘‘මම පුංචි කාලයේ ඉඳලා අලුත් අලුත් දේවල් කරන්න හරි කැමතියි. ඒ නිසාම එක එක දේවල් පුංචි කාලයේ ඉඳලම මම හැදුවා. ටිකක් කල්පනා කරලා වැඩේ පටන් ගත්තාම මට ඒක කරන්න පුළුවන් හැකියාවක් තියනවා. 6, 7 ශ්‍රේණිවල ඉද්දි මම තාක්ෂණික විෂයන් හැදැරූවා. ඒ ලැබූ අධ්‍යාපනයත් එක්ක තමා මේ නව නිපැයුම් කරන්න තිබුණ ආසාව තවත් වැඩි වුණේ. එහෙම එක එක දේවල් හදාගෙන යද්දි මම අලුතින් චාජරයක් හැදුවා. ඒකෙන් විදුලිය නොමැතිව ටැබ්, දුරකතන වගේ දේවල් එක පාර 5ක් විතර චාජ් කරගන්න හැකියාව තියෙනවා. ඩයිනමෝවක් ආධාරයෙන් තමා ඒක ක්‍රියාත්මක වෙන්නෙ. ඩයිනමෝව පාපැදියෙන් වුණත් චාජ් කරගන්න හැකියාව තියෙනවා. ඒක ගොඩක් සාර්ථක වුණා. අධ්‍යාපන කටයුතු කරන නිසා තවමත් ඒක වෙළෙඳපොළට නිකුත් කරන්න මට හැකියාව ලැබුණෙ නෑ. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඒක තවත් වැඩි දියුණු කරලා වෙළෙඳපොළට නිකුත් කරන්න.“ ඔහු සිය කතාව එසේ ආරම්භ කළේය. එතනින් පස්සෙ මොනවද අලුතින් හැදුවේ. අපි ඇසුවෙමු.
‘‘ඒ චාජරය හදලා නව නිපැයුම් තරගවලට ඉදිරිපත් කළා. 2010 වසරේ සමස්ත ලංකා 3 වැනි ස්ථානය ලැබුණා. ඉන් පස්සෙ තමා ඇත්තටම මට තවත් මේ වගේ දේවල් හදන්න ඕනේ කියලා දැඩි ආශාවක් ඇතිවුණේ. ඉන් පස්සෙ මම හැදුවා බහුකාර්ය බීජ වෙන් කිරීමේ යන්ත්‍රයක. ඒ යන්ත්‍රය ඇත්තටම කෘෂි කර්මාන්තයට අදාළව හදපු යන්ත්‍රයක්. රටකජු, මුං, කවුපි වගේ භෝග වගා භූමියේ ඉඳලම අස්වනු නෙළලා අස්වැන්න ඉතාමත් පහසුවෙන් වෙනම ලබා ගන්න මේ යන්ත්‍රයෙන් හැකියාව ලැබෙනවා. වගා භූමියට යන්ත්‍රය දාලා ක්‍රියාත්මක කළාම ගහත් එක්කම යන්ත්‍රය තුළට ගන්නවා. ඉන් පස්සෙ අස්වැන්න වෙනම උරවලට ලබා ගන්න පුළුවන්. අනික් කාරණාව තමයි යන්ත්‍රය ඇතුළෙන් ඉවතට වැටෙන ශාකයේ කොටස්වලින් කොම්පෝස්ට් පොහොර වගා ක්ෂේත්‍රය තුළම නිපදවා ගන්න පුළුවන්. ඒකෙන් පස සරුසාර වෙනවා. මම මේ නිර්මාණය තමා ඉංජිනේරු තරගයට ඉදිරිපත් කළේ.
අදියරෙන් අදියර ඉදිරියට ගිහින් හොඳම 10 දෙනා අතරට මම තේරුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු තාක්ෂණ ආයතනය තමා තරගය සංවිධානය කරලා තිබුණෙ. ඒ ලැබුණු විශාල ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් විදිහට තමා දින අටක් ජපන් රටේ සංචාරයකට ශිෂ්‍යත්වයක් ලැබුණෙ. අධ්‍යාපන අමාත්‍යංශයත් මේකට සම්බන්ධ වුණා. අපි කණ්ඩායමක් ජපන් රටේ තාක්ෂණික නිමැවුම් සම්බන්ධයෙන් පුහුණු වැඩමුළුවලට සහභාගි වුණා. ඇත්තටම විශාල දැනුමක් ලබා ගන්න ඒ ජයග්‍රහණය ඉවහල් වුණා කීවොත් හරියටම හරි. ඒ රටේ විවිධ නිමැවුම් ක්ෂේත්‍රවලට අදාළව දැනුමක් ලබා ගන්න මට හැකියාව ලැබුණා ඒ සංචාරයෙන්.‘‘
‘‘ඒ නිර්මාණයෙන් පස්සෙ තමා මම කෘෂිකර්මාන්තයට අදාළ තවත් නිර්මාණයක් කරන්න හිතුවෙ. ඒ 2015 වසරේ. ගොවිතැන් කටයුතුවලදී බිම් සැකසීමට විශාල වෙහෙසක් ගත වෙනවා වගේම විශාල කාලයකුත් වැය වෙනවා. විශේෂයෙන්ම කානු සැකසීම වගේ ක්‍රියාවලදී. ඒ නිසා ඒ කාර්යය පහසු කරගන්න මම ‘‘බහුකාර්යය කානු සැකසීමේ යන්ත්‍රය“ හැදුවා. මේ යන්ත්‍රයෙන් පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට කානු අතර පරතරය, ගැඹුර වෙනස් කරගන්න. ඉතාමත් ඉක්මනින් සරලව මේ යන්ත්‍රය හරහා අදාළ වගා භූමිය තුළ කානු දැමීමේ හැකියාව ලැබෙනවා. මම ඒ යන්ත්‍රයත් 2015 වසරේ සමස්ත ලංකා අවසාන තරගයට ඉදිරිපත් කරලා දෙවැනි ස්ථානය දිනා ගත්තා.“
සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් මෙන්ම අන්තර්ජාතික ශිෂ්‍යත්ව වරම් හිමි කරගැනීමට වරම් ලත් ඔහු ඇත්තෙන්ම ලක් මවට උපන් වීරයෙකි. අවුරුදු 19 ක් වැනි කුඩා වයසකින් මෙපණක් දුර යන්නට ඔහු මේ වන විට වාසනාව උදා කරගෙන තිබේ. ගොවි පවුල් පරිසරයක හැදෙමින් වැඩෙමින් ලෝකයට නව දෑ තනන ප්‍රභාෂ්ගේ අනාගත බලාපොරොත්තුව ඔහු අප සමග කියා සිටියේ මෙලෙසිනි.
‘‘ඇත්තටම මේ නිපැයුම් මම ගොඩක් කාලේ අරන් විශාල වෙහෙස මහන්සිය වෙලා තමා නිර්මාණය කරන්නෙ. ගොඩක්ම මම උත්සාහ ගන්නෙ කෘෂිකර්මාන්තයට අදාළ නිමැවුම් සිදු කරන්න. මතු දිනයක අලුත් නිර්මාණ රාශියක් මගේ මනසින් මේ ලෝකයට බිහි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේ ආව ගමන් මගේදී මගේ අම්මා තාත්තා විශාල වශයෙන් මට සහයෝගය දුන්නා. මගේ අම්මා තාත්තා දෙන්නම ගොවිතැන් කරන අය. ඇත්තටම අපි සියලු දෙනා ජීවත් වෙන්නෙ ගොවිතැනින්. ඒ නිසාම මේ වගේ යන්ත්‍ර හදද්දි ඊට අවශ්‍ය මුදල් සොයා ගන්න දැඩි දුෂ්කරතාවක් මට තියෙනවා. මගේ හැකියාව මේ රටට ලෝකයට අරන් යන්න කාට හරි උදවු කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක මට විශාල ශක්තියක්. ඒ වගේම ලොකු අස්වැසිල්ලක්.
ඒ වගේම තමා මගේ පාසලේ හිටපු විදුහල්පති උපාලි ගුණවර්ධන සර් මට මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒත් එක්කම තාක්ෂණික විෂය උගන්වපු සාලින්ද සම්පත් සිරිවර්ධන සර් වගේම ගුණදාස සර්වත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම තමා දුමින්ද දිසානායක ඇමැතිතුමත් මට උදව් උපකාර කළා. තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සෙනරත් බද්දේගම මහතාත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ හැම දෙනාම මගේ මේ නිර්මාණවලට සහයෝගය දුන්නා.“
සිය දැනුම නවමු ආකාරයේ උපයෝගීතාවන් කෙරෙහි යොමු කරමින් තාක්ෂණය හා මුහු වූ නව මෙවලමක් තනන්නට ඔහු ගන්නා උත්සාහයද මේ අසිරි ලක් මාතාවට ගෙනෙන ආඩම්බරයකි. ඒ නිසාම ඔහුගේ මේ උත්සාහයට දිරියක් සවියක් වන්නට මිනිසුන් වෙනුවෙන් කැප වන මේ ධර්මද්වීපයේ කිසිවකු හෝ ඉදිරිපත් වේ නම් එය ඇත්තෙන්ම ඔහුගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරා ගෙන යන්නට හේතු වන බව නොරහසකි. අපෙන් ඔබට සුභ පැතුම්!
එම්.එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ