කළ යුතු දේ නොකිරීම හෙවත් සයිටම් අර්බුදය | Page 2 | සිළුමිණ

කළ යුතු දේ නොකිරීම හෙවත් සයිටම් අර්බුදය

වගකිවයුත්තන්ගේ මුනිවත මත වසර 8 ක් පුරා නොවිසඳුණු සයිටම් වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට අභියාචනාධිකරණය විසින් පසුගිය දා විසඳුමක් ලබා දී ඇත. මෙය සනිටුහන් කළ හැක්කේ කළ යුතු දේ නොකරන හා නොකළ යුතු දේ කරන ආයතනයන් ගේ ක්‍රියා කලාපයන් මත අගතියට පත්වන පාර්ශ්වයන් වෙත ලබා දුන් යුක්ති වාචකයක් වශයෙනි. එය පූර්වාදර්ශයකි.

බලාන්විත රිට් ආඥාවක් මඟින් උසාවිය කියා සිටියේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් හට සීමාවාසික පුහුණුව ලබාගත හැකි වන පරිදි තාවකාලික ලියාපදිංචිය වෛද්‍ය සභාව විසින් ලබා දිය යුතු බවයි.

වෛද්‍ය සභාව මෙයට ද අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවට දැනටමත් පුවත් පළ වී ඇති අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සයිටම් විරෝධී සංවිධාන සමඟ ද සාකච්ඡා කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

වෛද්‍ය සභාව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පිළිබඳව කටයුතු කරන හා නිර්දේශ ඉදිරිපත් කරන ස්වාධීන රාජ්‍ය ආයතනයක් බව හැඳින්විය හැකි ය. ඔවුන් විසින් සයිටම් වෛද්‍ය උපාධිය නොපිළිගත්තේ එම ආයතනය තමන්ගේ පූර්ව අනුමැතිය ලබා නොගත් බව පවසමිනි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් පිරිනැමීම සඳහා යම් ආයතනයක් අනුමත කිරීමේ බලතල විශ්වවිද්‍යාල කොමිෂන් සභාව වෙත නෛතිකව පැවරී ඇත. රජයේ වෛද්‍ය විද්‍යාල පිහිටුවා ඇත්තේ ද මෙම කොමිෂන් සභාවේම අනුමැතිය ඇතිවය. යම් ආයතනයක් රටේ පවතින නීතිය අනුව පිහිටුවා ඇත්නම් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් එහි ස්ථාපිතභාවයේ වෙනසක් දැකිය නොහැකි ය.

එහෙත් එම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා නිර්දේශයන් ඉදිරිපත් කිරීමට වෛද්‍ය ආඥා පනත මඟින් වෛද්‍ය සභාවට ද බලයක් ලබාදී ඇත. ප්‍රශ්න ගත වන්නේ මෙම බලයේ සීමාවයි. කෙසේ වෙනත් මෙම ආයතන දෙකම වෛද්‍ය අධ්‍යාපනයේ දී වෛද්‍ය ආඥා පනතත් විශ්ව විද්‍යාල ආඥා පනතත් උල්ලංඝනය නොවන ලෙස සද්භාවයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් අධිකරණයේ පිහිට පැතුවේ මෙම ආඥා පනත් දෙකෙහි විධි විධාන අනුව තමන් සයිටම් ආයතනයෙන් ලබා ගත් උපාධිය පිළි නොගැනීමෙන් වග උත්තරකරුවන් වරදක් කර ඇති හෙයින් එයට සහනයක් ලබා ගැනීමට ය.

වෛද්‍ය සභාව මෙම නඩුවේ ප්‍රධාන වග උත්තර කරු වූ අතර තීරණය පැමිණිලිකාර පාර්ශ්වයට සාධාරණය ඉටු කරන්නක් විය.

ස්වාධීන රාජ්‍ය නියාමන ආයතනයක් වශයෙන් වෛද්‍ය සභාව මෙහිදී ක්‍රියා කළ යුතු ආකාරයක් ඇත. කරුණු සහගත නම් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වුව ද මේ සම්බන්ධයෙන් සයිටම් වි‍රෝධීන්, දේශපාලනඥයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීම ආයතනයේ අපක්ෂපාතිත්වය හා ඔවුන් මෙම ප්‍රශ්නයේදී ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳව ජනතාව තුළ සැක සංකා උපදවන්නක් වේ. ඔවුන් ක්‍රියාකරන්නේ මෙම ප්‍රශ්නය විසඳිය යුතු ආකාරයට ද නැති නම් එය තවදුරටත් උග්‍රවීමට ඉඩ දී රජයත්, මහජනතාවත් අපහසුතාවයට පත් කරන ආකාරයට ද යන්න විමසිය යුතු කරුණක් වී ඇත. නඩු තීන්දුවෙන් පසු පැමිණිලිකාර පාර්ශ්වය පැවසුවේ අධිකරණය තමාට සාධාරණය ඉටුකර ඇති බවත් වගකිව යුත්තන් ද සාධාරණව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. මෙම පැමිණිලිකරුවන් තවදුරටත් අසහනයට පත් කිරීමට සාධාරණ ජනතාව කිසිසේත් ඉඩ දිය යුතු නැති අතර වගකිවයුත්තන්ගේ හා විරෝධතාකරුවන්ගේ ක්‍රියාකලාප‍යන් ගැන විමසිලිමත් විය යුතු ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා කරමින් ඔහු මේ පිළිබඳව කටයුතු කර නැති බව පවසන නමුත් වෛද්‍ය සභාව නොකටයුත්තක් කර ඇති බව පිළි නොගනී. දස පුද්ගල කමිටුවේ සොයා ගැනීම් හා වෛද්‍ය ආඥා පනත මඟින් මෙම දෙපාර්ශ්වයට ලබා දී ඇති බලතල වල සත්‍ය තත්ත්වය ඔවුන් ජනතාවගෙන් වසන් කරයි. ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව පවතින්නේ අප්‍රසාදයකි.

මෙම ප්‍රශ්නයේදී ජනතාව අපහසුතාවයට පත් කරමින් හා සයිටම් සිසුන්ට අපහාස කරමින් හැසිරෙන විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය එල්ල කළ ජල ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙළන වෛද්‍ය සංගමය එම සිසුන්ගේ ක්‍රියා කලාපය නිසා සයිටම් සිසුන්ට වී ඇති හානිය ගණනකට නොගනී. ආරෝග්‍ය ශාලාවල නේවාසික රෝගීන් අතට පවා අත් පත්‍රිකා බෙදමින් රට පුරා දුර්මත පතුරු වන්නේ ඔවුන් දැනුවත්ව ය. එම හානිය ජල ප්‍රහාරවලට වඩා දරුණු බව කාටත් වැටහේ.

සයිටම් විරෝධීන් පවසන ආකාරයට එහි සිටින්නේ හොරට උපාධි ගත් අය බව ජනතාව විශ්වාස නොකරයි. ඔවුන් ද මෙරටේ නිදහස් අධ්‍යාපනයට හිමිකම් කියන ඉහළින් උසස් පෙළ සමත් හා ඉගෙනීමට දක්ෂ ළමා පිරිසක් බව අප අමතක කළ යුතු නැත. ආයතනයට බඳවා ගන්නා අවම සුදුසුකම රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න සුදුසුකමට වඩා ඉහළ ය. පොදුවේ ගත් විට රජයේ වෛද්‍ය විද්‍යාලවල මෙන් ම සියලු විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගත් අය බොහෝ දෙනෙක් එහි සිටිනා බවට තොරතුරු ඇත. ඒ හැර උපාධියක ගුණත්වය මැනිය යුත්තේ අවතීර්ණවීමේ සුදුසුකමට වඩා එයින් පිටවන විට ලැබූ සාධනීය තත්ත්වය මත බව ද අමතක කළ යුතු නැත.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2010 වාර්තාවක පිහිටමින් සයිටම් ආයතනයේ සිසුන්ගේ තත්ත්වය මැනීමට යත්න දැරීම අදට වලංගු වන්නේ නැත. එහි නෛතික තත්ත්වය අධිකරණය හරහා විසඳී ඇත. සායනික පුහුණුව හැර අනෙකුත් අඩුපාඩු සම්පූර්ණ වී ඇති බව කමිටු වාර්තා වලින් පැහැදිලි වේ. එසේ නම් සද්භාවයෙන් කටයුතු කරන්නේ නම් විවේචනයට වඩා එම සංගමය කළ යුත්තේ සායනික පුහුණුවට උපකාර කිරීම ය.

සයිටම් පරීක්ෂා කළ උගත් වෛද්‍ය නිලධාරීන් දස දෙනාගේ සොයා ගැනීම් හා නිර්දේශ වෛද්‍ය සභා වාර්තාවෙන් පිළිබිඹු නොවන බව ප්‍රකට චෝදනාවකි. සයිටම් හි පවතින මූලික අඩුපාඩුව වන ප්‍රමාණවත් සායනික පුහුණුවක් ලබා නොදීම විසඳීමට ඇති යෝජනා හා එය ලබාදීමෙන් පසු වෛද්‍ය සභාවේ තාවකාලික ලියා පදිංචිය ලබාදීම පමණක් නොව එයින් අනතුරුව මෙම උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ලබාදීමට වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති කර ගත යුතු බවටත් වූ යෝජනා නිර්දේශ වල තිබූ බව ප්‍රකටය. එවකට පුවත්පත්වල පවා මේවා පළවිය. ඒවා නොසලකා හැරීමෙන් වෛද්‍ය සභාව කර ඇත්තේ තමාට වෛද්‍ය ආඥා පනත මඟින් ලබාදී ඇති බලතල අනුව අමාත්‍යවරයාට නිර්දේශයන් ඉදිරිපත් කිරීම වෙනුවට තීරණයක් ලබා දෙමින් සයිටම් වෛද්‍ය උපාධිය නො පිළිගන්නා බව වාර්තා කර තිබීමයි. මෙය පසු දිනම පුවත්පත්වල ද පළවීමට සැලැස්වීම ද ප්‍රශ්න ගත ය. අමාත්‍යවරයාට නිසි ලෙස සාධනීය නිර්දේශ ලබා දුන්නේ නම් ඔහුට ඒ ගැන කටයුතු කිරීමට හැකියාව තිබිණි. එවැන්නක් සිදු නොවීම මෙම ප්‍රශ්නය තවදුරටත් දුරදිග යාමට හේතුවක් වූ බව නොරහසකි. එදා මෙදාතුර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් දඩමීමා කරගෙන ඇත්තේ මෙම තීරණය වන අතර එය ඉක්මවා කටයුතු කිරීමට අමාත්‍යවරයා ද අසමත්ව ඇත. වෛද්‍ය සංගම් හා සයිටම් විරෝධී දේශපාලන පිරිස් කල දුටු කල වළ ඉහ ගනිමින් මෙම ආයුධය දැන් උඩ පැන පැන තලමින් මුවහත් කරමින් සිටී. එයින් පීඩාවට පත්ව ඇත්තේ අසරණ සිසු පිරිසකි. මෙයට වසර දෙකකට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක වූවා නම් පැමිණිලි පාර්ශ්වයට උපාධිය ලත් වහාම ලියාපදිංචිය ගත හැකිව තිබිණි.

කොතලාවල වෛද්‍ය විද්‍යාලයට හා රජයේ වෛද්‍ය විද්‍යාලයන්ට අනුමැතිය ලබාදීමේ දී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත හා විදේශ වෛද්‍ය විද්‍යාල වෛද්‍ය උපාධිය අනුමත කරන පිළිවෙළෙහි ද සයිටම් උපාධිය කෙරෙහි අනුගමනය කළ ක්‍රියා පිළිවෙළෙහි ද බැලූ බැල්මට පරස්පරයන් ඇති අතර නිශ්චිත ප්‍රමිති නිර්ණායක ද සභාව සතුව නැත. අසද්භාවයන්ට සිදු වීමට මෙහිදී ඇති ඉඩකඩ බොහෝ ය. අධිකරණය තීන්දු දී ඇත්තේ මේ සියල්ල වටහා ගෙන ය. වගඋත්තර කරුවන් විසින් ගරු අධිකරණය නොමඟ යවා ඇති බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනාව සාධාරණ ජනතාව පිළි නොගන්නා අතර මෙවැනි ප්‍රකාශ අධිකරණයට කරන අගෞරවයක් වශයෙන් ද සලකයි.

කෙසේ වෙතත් මෙම සයිටම් ගැටලුව තවදුරටත් විවෘතව පවතී. වසර 8 ක් පුරා සයිටම් ප්‍රශ්නයට වගකිව යුත්තන් විසඳුමක් ලබා නොදීම නිසා සිසුන්ට ඉටු විය යුතු යුක්තියේ නාමයෙන් අධිකරණයට මැදිහත්වීමට සිදුවුණි. මේ කිසිවකින් වෛද්‍ය අධ්‍යාපනයේ පැවතිය යුතු ගුණාත්මකභාවය ප්‍රශ්න නොකරයි. එහෙත් සිසු පිරිසකගේ අධ්‍යාපනයේ අයිතියට හානි පමුණුවමින් ඔවුන්ට නිසි පහසුකම් ලබාදීම නිර්දේශ නොකිරීම හා අපේක්ෂිත ගුණාත්මක භාවය ඉහළ නංවන ලෙස ආයතන පසු විපරම් නොකිරීම හා සද්භාවය ප්‍රශ්න ගත කරයි. වසට 8 ක් පුරා මෙයට විසඳුම් නොදීමෙන් වගඋත්තරකරුවන් කර ඇත්තේ වරදක් බව තීරණයෙන් ධ්වනිත වේ.‍

එහෙත් අධිකරණ තීරණයෙන් පසුව ද විශ්ව විද්‍යාල පීඨාධිපතින් එයට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිතුමා ද වෙනම විද්වත් මණ්ඩලයක් මගින් නිර්දේශ ලබා ගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කර ඇත. වෛද්‍ය සභාව අධිකරණ තීන්දුවට අභියාචනාවක් ඉදිරිපත් කරන බව කලින් ම ප්‍රකාශ කර තිබුණත් ප්‍රශ්නය විසඳීමට නිර්දේශ ඉදිරිපත් නොකරයි.

පීඨාධිපතින්ගේ නිර්දේශයන් අතර මාස කීපයක සායනික පුහුණුව නැවත ලබාදීමෙන් පසු වෛද්‍ය සභාවේ පරීක්ෂණයක් පවත්වා ප්‍රශ්න ගත වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව ලැබීමට අවශ්‍ය ලියාපදිංචිය ලබාදීම හා ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන තුරු සයිටම් ආයතනයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීම නතර කිරීම ප්‍රධාන වේ. ජනාධිපතිවරයා කලින් මහජනතාව හමුවේ ප්‍රකාශ කර සිටියේ සයිටම් දෙමාපියන් ඇතුළු සියලුම පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට කිසිවකුටත් අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය ස්ථිරවම විසඳන බව ය. නමුත් වෛද්‍ය සංගම් දෙකක් පමණක් සමඟ කළ සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා යම් පියවරක් ගෙන ඇති බව ජනතාවට වැටහේ.

මෙය වැඩ වර්ජන මුවාවෙන් අසරණ ලෙඩුන් බිල්ලට තබා රජය බිය ගන්නවා තම අභිමථාර්ථ ඉටුකර ගැනීමට දරන ප්‍රයත්නයක් ද නැතිනම් අවංකව මෙම ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා හමුව‍ූයේ ද යන්න තේරුම් ගත හැක්කේ ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කිරීමෙන් ය. කෙසේ වෙතත් වැඩවර්ජන තර්ජනයෙන් මෙය විසඳා ගැනීමට සිතන්නේ නම් එය ජනතාවගේ පිළිකුලට ලක් වන්නක් බව නොකියා බැරිය. අධ්‍යාපන අයිතියට වඩා ජීවත්වීමේ අයිතිය ගැන කතා කරන ඔවුන්ගේ තරම එවිට රටට හෙළිවනු ඇත. මෙයට ඍජුව සම්බන්ධ විය යුතු වෛද්‍ය සභාව සාධනීය නිර්දේශයක් ඉදිරිපත් කිරීම වෙනුවට සයිටම් විරෝධීන් හා සාකච්ඡා කිරීම ඔවුන්ගේ සද්භාවය පිළිබඳව සැක මතු කරයි. මෙවන් තත්ත්වයක් යටතේ සයිටම් උපාධිධාරීන් මෙම වෛද්‍ය සභාවේම පරීක්ෂණයකට ලක් කිරීමෙන් ඔවුන්ට අධිකරණය ලබාදුන් යුක්තිය ඉටුවේ ද යන්න පිළිබඳව සිසුන් දෙවරක් සිතීම සාධාරණය. වෛද්‍ය සභාව කෙරෙහි ගොඩනැඟී ඇති මෙම අවිශ්වාසය අවාසනාවන්ත තත්ත්වයකි.

සයිටම් ප්‍රශ්නය හරහා ලබාදෙන විසඳුම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ හැරවුම් ලක්ෂයක් වනු ඇත. සැමට සාධාරණත්වය ඉටු වනාකාරයේ නියාමන සභාවක් ස්ථාපනය කිරීම දක්වා එය දිව යා යුතු ය. වෛද්‍ය සභාව එයට අසමත් නම් වෘත්තීය සංගම් හා පෞද්ගලිකත්වයට නතු නොවන පරිණත වෛද්‍ය වෘත්තිකයන්ගෙන් හා අධ්‍යාපනයෙන් පසු ලියාපදිංචි විය යුතු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම අංශ නියෝජිතයන‍‍්ගෙන් හා නීති හා අධ්‍යාපන විශාරදයන් ගෙන් සැදුම්ලත් ආයතනයකින් වෛද්‍ය උපාධි සඳහා අනුකූලතා සහතික පිරිනැමීම සිදුවිය යුතු ය.

වෛද්‍ය සභාව හෝ වෙනයම් තාක්ෂණික නියාමන ආයතනයන් විසින් තීරණ ලබාදීමට වඩා විශේෂයෙන් ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන්, අමාත්‍යවරයාට නිර්දේශ ලබාදිය යුතු ය. ඔහු අවසාන තීරකයෙකු බවට පත්වන ලෙසට විධිවිධාන අණ පනත්වල දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක සාධාරණත්වය ජනතාවට ඉටු කිරීම සඳහා ය.‍ එවිට විධායකගේ කාර්ය නිර්දේශ දීම මිස තීරණ දීම නොවේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් යෝජනාවන් මඟින් මෙම මූලධර්මයට ද අභියෝගයක් කරන බව පෙනේ. සයිටම් තීරණ මඟින් මෙම මූලධර්මය ද නිර්වචනය වී ඇති බැවින් ඔවුන් ජනාධිපතිවරයා හරහා එය වෙන්කරවා ගැනිමට ප්‍රයත්න දරන්නේ ජනතා අවශ්‍යතාවන්ට වඩා පෞද්ගලිකත්වය සලකාගෙන බව පැහැදිලි ය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යන බව ද ප්‍රකාශ කොට ඇත. විදේශ ආයතනයන්ට අභියාචනා ඉදිරිපත් කිරීම යනු මෙරට අධිකරණය ගැන ඔවුන් විශ්වාස නොකරන බව ය. සයිටම් ගැන පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාලවල ද ගුණත්වය පිළිබඳව ද වෛද්‍ය සභාවේ හා වෛද්‍ය නිලධාරීන්ගේ ක්‍රියා පිළිබඳව ද මෙහිදී විමසුමට ලක්වීමට ඉඩ ඇත. දෙපාර්ශ්වයේ ම කරුණු ඔවුන් සලකා බලනු ඇත. එය ඔවුන්ටම පාරා වළල්ලක් විය හැකි ය. එසේ ම ශ්‍රී ලංකාවේ මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යාම අනුවණ කමකි.

ජනාධිපතිතුමා කමිටුවක් යෝජනා කරද්දී රජය පාර්ශ්වයයෙන් සැලකිල්ලට යොමුව ඇති විකල්පයක් වන්නේ රජය හා සයිටම් ආයතනය ඒකාබද්ධ කොට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන මුල්ලේරියාව රෝහල සමඟ එය රජයේ ශික්ෂණ රෝහලක් වශයෙන් වැඩිදියුණු කොට ජනතාවට නොමිලේ ප්‍රතිකාර ලබාදෙමින් සයිටම් සිසුන්ට ද සායනික පුහුණුවට ඉඩ ලබාදීම හා පාලක මණ්ඩලයක් මඟින් සයිටම් වෛද්‍ය ආයතනය නියාමනයකට ලක් කිරීමයි. වරින් වර පුවත්පත් මඟින් අප ලබාදුන් පළමු විකල්පය ද මෙය වන අතර එහි ප්‍රගතිශීලී බවක් දක්නට ලැබේ. හොරට ඔප්පු සදමින් ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම වළකා ලීමට කටයුතු කරන රජයට ජාත්‍යන්තර පාසල්වලට හෝ ළමුන් යොමු කිරීම ධෛර්යමත් කිරීමට ද මෙය ඉවහල් වනු ඇත. එහි වක්‍ර ප්‍රතිඵලය ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවටය.

සයිටම් වි‍‍‍රෝධීන් පවසන ආකාරයට එහි සිටින්නේ හොරට උපාධි ගත් අය බව ජනතාව විශ්වාස නොකරයි. ඔවුන් ද මෙරටේ නිදහස් අධ්‍යාපනයට හිමිකම් කියන ඉහළින් උසස් පෙළ සමත් හා ඉගෙනීමට දක්ෂ ළමා පිරිසක් බව අප අමතක කළ යුතු නැත. ආයතනයට බඳවා ගන්නා අවම සුදුසුකම රජයේ විශ්වවිද්‍යාල වලට බඳවා ගන්න සුදුසුකමට වඩා ඉහළ ය. පොදුවේ ගත් විට රජයේ වෛද්‍ය විද්‍යාලවල මෙන් ම සියලු විෂයන්ට විශිෂ්ට සම්මාන ලබා ගත් අය බොහෝ දෙනෙක් එහි සිටිනා බවට තොරතුරු ඇත. ඒ හැර‍ උපාධියක ගුණත්වය මැනිය යුත්තේ අවතීර්ණවීමේ සුදුසුකමට වඩා එයින් පිටවන විට ලැබූ සාධනීය තත්ත්වය මත බව ද අමතක කළ යුතු නැත. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගිය දා සිට විවිධ උද්ඝෝෂණ කරමින් කාලය කා දමන ආකාරය හා නොයෙකුත් අඩුපාඩු පවතින ආකාරය හා සමහරුන්ගේ විනය සලකා බැලූවිට අනුන් ගැන විවේචනය කිරීමට තරම් ගුණත්වයක් ඔවුන් තුළ පවතී ද යන්න සැක සහිත ය.

කල දුටු කල වළ ඉහ ගැනීමට සිතන හා සමාජයට වෛර කරන දේශපාලනඥයන්ගේ ව්‍යාපාරවලට ඉඩ හරිමින් ජාතික ප්‍රශ්න හමුවේ දේශපාලන වාසි තකා නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය කිරීම රජයකින් ජනතාව බලාපොරොත්තුව නොවේ. රජයක හෝ රාජ්‍ය ආයතනයක වගකීම වන්නේ විසඳිය යුතු ප්‍රශ්න කඩිනමින් විසඳීම මිස ඒවා අධිකරණයට යනතුරු බලා සිටීමවත් එකිනෙකාට දොස් පවරමින් කල් මැරීමවත් නොවේ. උගත් වෘත්තීය සංගමයක් වශයෙන් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත්, රාජ්‍ය නියාමන ආයතනයක් වශයෙන් වෛද්‍ය සභාවත්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල කොමිසන් සභාවත් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සයිටම් ආයතනයත් එක්ව මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීම ජනතා පැතුම වේ.

කළ යුතු දේ නොකරමින් හා නොකළ යුතුදේ කරමින් පුද්ගලික අංශයේ හෝ වේවා රාජ්‍ය අංශයේ හෝ වේවා ශිෂ්‍ය ප්‍රජාවගේත් සාමාන්‍ය ජනතාවගේත් අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට හා ඔවුන් පීඩාවට පත් කිරීමට කිසිවකුටත් ඉඩ දිය යුතු නැත.

වි.මු. ආනන්ද අමරවංශ

Comments