ඔබටත් ඉරිසියාකාරයෝ ඉන්නවා ද?...... | Page 2 | සිළුමිණ

ඔබටත් ඉරිසියාකාරයෝ ඉන්නවා ද?......

 

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි

අහල පහල ගෙවල්වල උදවිය, කන්තෝරුවේ-ඉස්කෝලෙ අය සතුටින් සිටින විට, නැත්නම් තමන්ට නොලැබී තවත් කෙනෙකුට කිසිවක් ලැබුණු විට ඔබේ හිත යට යම් නොමනාප හැඟීමක් ඇතිවෙනවා නම් පරිස්සම් වන්න ඕනෑ. ඒකට කියන්නේ 'ඉරිසියාව' කියලා. ඇතැමුන් ඒක රුසියාවටත් වැඩිය ලොකු බව කියනවා. හැබැයි 'ඉරිසියාව' බෝවන ලෙඩක්වත්, ජානමය රෝගී තත්ත්වයක්වත් නෙමෙයි. එසේ ම නිකම් ම නිකම් සංකල්පයකුත් නෙමෙයි. ඉතා ඉක්මනින් ඇතිවන, විදුලියක් වගේ වේගවත් විනාශකාරී සිතිවිල්ලක්.

• ඉරිසියා හිතෙන්නේ ඇයි?

හිතක් ඇතුළේ ඉරිසියාව මෝදු වීමට බලපාන හේතු සාධක ගැන බොහෝ මනෝ විද්‍යාඥයන් කරුණු සොයා බැලුවා. නූගත්කම, කම්මැලිකම, ස්වාර්ථය ආදි වශයෙන් පුද්ගලයා තුළ කායිකව පවතින දුබලතා මේ සඳහා බොහෝ බලපෑම් කරන බවයි ඒ පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙන්නේ. ඉරිසියාවට මුල අන්‍යයන්ගේ සැපත නොඉවසීමයි. අනුන්ට ලැබෙන සියලු වාසි තමන්ට ලැබිය යුතුයි යන පටු කල්පනා ඇත්තන්ගේ සිත් ඉරිසියාවෙන් පිරෙනවා. තමා විසින් ම කළ යුතු යයි ද වෙනත් අය නොකළ යුතු යයි ද කල්පනා කරන අය තුළ මේ අවර ගති ලක්ෂණය නිතර ඇති වන්න පුළුවන්.

• ඉරිසියා හිතෙන්නෙ ළඟ ම අයටලු....

ඉරිසියාව ඇතිවන්නේ ගැටීමෙන්. එය පසුව තරහව දක්වා වර්ධනය වනවා. අනතුරුව වෛරයක් බවට පෙරළෙනවා. පසුව බද්ධ වෛරයක් ලෙසින් සසර පුරා ගමන් කරන්නත් ඉඩ තියෙනවා. ඒත් මේක ඇහැට පේන්නේ නැහැ. කෙනෙකු තමන්ට ඉරිසියා කරන බව දැනුණොත්, හිතුවොත් තමයි ඒ ගැන අ‍ප තුළ හැඟීමක් ඇතිවන්නේ. ඔබ අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් දියුණුවක් ලබන විට මටත් ඉරිසියාකාරයන් සිටිනවා යැයි සිතිය හැකියි. ඒත් ඔබ කිසිවිටෙක කිසිවකු දිහා ඉරිසියාවෙන් නොබලන්න. නොසිතන්න. ඔබටත් කිසිදිනෙක ඉරිසියාකාරයන් ඇති වන එකක් නැහැ.

සාමාන්‍යයෙන් කෙනෙකු ඉරිසියා කරන්නේ තමන් හොඳින් ම දන්න කියන අයකුට ම නේද? අප නොදන්න කෙනෙකු ගැන සාමාන්‍යයෙන් අපට ඉරිසියා සහගත සිතිවිලි ඇති වන්නේ නැහැ. විශේෂයෙන් ඒ කෙනා රූපයෙන් උගත්කමෙන් රැකියාවෙන් තමන් හා සමානයකු වීම ඉරිසියාව වැඩි දියුණු වීමට බලපානවා. ළඟම නෑසියන්, හිතමිතුරන් අතර හුවමාරු වන මේ නරක සිතිවිල්ල බොහෝ විට රණ්ඩු දබරවලට පවා මූලික හේතුවක්.
අල්ලපු ගෙදර අයගේ, නැත්නම් සමීප ඥාතීන්ගේ සැපය සුවය බලාන ඉන්න බැරි ඇතැම් වැඩිහිටියන් එළිපිට ම ඉරිසියාව පළ කරනවා. මවුපියන් ඉරිසියාවෙන් පෙළුණොත් ගෙදර දරුවන් තුළත් ඒ නරක සිතිවිල්ල ඇති වන්න පුළුවන් බව අප සිහි තබා ගතයුතුයි. ඒවා අසන දකින දරුවොත් කුඩා කාලයේ ඉඳන් ම අනුන්ට ඉරිසියා කරන්න පුරුදු වෙනවා. නිතර බණ අහන කියන අයකු තුළ වුවත් ඉරිසියාව ඇති වන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි ඊට ටික කාලයක්වත් සිතේ පවතින්න ඉඩ දිය යුතු නැහැ. වහා පලවා හැරීමට උත්සුක විය යුතුයි. මුහුණ සෝදා හරිනවා වගේ සෝදා හළ යුතුයි. මොකද එය ඔබට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න ඉඩ ති‍බෙනවා.

• ඉරිසියාකාරයන්ට තාවකාලික සතුටවත් නෑ...

ඉරිසියාවෙන් පෙළෙන පුද්ගලයා නිතර දැවෙනවා. ඒ වගේමයි තැවෙනවා. ඔවුන් නිරන්තරයෙන් කෝපයෙන් කේන්තියෙන් පිච්චෙනවා. ඒ නිසා දුකෙන් තැවුලෙන් තැවෙනවා. සතුට කියන්නේ ඔවුන්ගේ ජීවිතවලින් බොහෝ ඈතට ගිය දෙයක්. විනෝදෙන් ඉන්න බව පෙන්වන්න හැදුවත් ඒක කරන්න බැහැ. හොරා, හොරකමට විපාක ලැබෙන තුරු ඒ සොර බඩු ළඟ තබාගෙන සුළු වේලාවකට හරි සතුටක් ලබනවා. ඒත් ඉරිසියාවෙන් සිත පුරවා ගත් අයකුට එවැනි තාවකාලික සුවයක්වත් නැහැ. වෙන්නේ සිතේ සැහැල්ලුව නැතිවීම ම විතරයි.

• ඔබ කෙබඳු කෙනෙක්දැයි කල්පනා කළාද?...

යම් කෙනෙකු අධ්‍යාපනයෙන් ආර්ථිකමය වශයෙන් ඉහළට යද්දි හිතට මොකක්දෝ වෙනසක් දැනෙන අය ඉන්නවා. ඒ වෙනස සිතට සතුට-සැනසුම ගෙන දේ නම් එබඳු සිතුම් පහළ වන්නේ පෙර සසරේ යහපත් දේ කර පුරුදු පුහුණු කළ අ‍ය‍ටයි. නොමනාප සිතුවිලි එනවා නම් ඒ පෙර සසරේ හුරු පුරුදු කළ පින් දහම් නැති අයටයි. ඔබ කෙබඳු ආකාරයේ කෙනෙකුදැයි නිහඬව කල්පනා කර බලන්න.

• ගිනිකූරෙ උපමාව...

ගිනිකූර නිසා ගින්දර හට ගන්නවා. ඒත් මුලින් ම දැවී යන්න සිදුවන්නෙත් ගිනිකූරටයි. ඉරිසියා සිතිවිලි ඇතිවුණු සිතත් ඒ වගෙයි. ඒක සිත විතරක් නෙමෙයි අවසානයේ අපේ ගතත් ලෙඩ කරනවා. අප විනාශය කරා තල්ලු කරනවා. මානසික විකෘතිතා වගේ ම කායික දුබලතා ඇතිවීමටත් එය බලපානවා. ඒ නිසා ඉරිසියාවට යට නොවී ඉරිසියාව යට කොට දමන්න අප හැම විට ම උත්සුක වීම වැදගත්. පෞද්ගලික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද හානි සිදුවීමට බලපාන ඉරිසියාව වැනි සංකල්ප බුදු දහම දකින්නේ බැහැර කළ යුතු ධර්මයක් ලෙසටයි.
තෙරුවන් සරණයි

මේ ධර්ම සාකච්ජාවෙන් පැන නඟින යම් ගැටලුවක් වෙතොත් පහත ලිපිනයට යොමු කරන්න.
'ධර්මයානය', සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
 

Comments