ආසියාවේ මීළඟ ව්‍යාඝ්‍රයා ශ්‍රී ලංකාවයි | Page 6 | සිළුමිණ

ආසියාවේ මීළඟ ව්‍යාඝ්‍රයා ශ්‍රී ලංකාවයි

 අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් දින සැමරුමට එක්වෙමින් බෲස් වෝඩන් ශ්‍රී ලාංකිකයන්ට ඉතා වැදගත් වන ප්‍රකාශයක් සිදු කළේය. බෲස් වෝඩන් යනු අමෙරිකාවේ සැලකිය යුතු චරිතයකි. ඔහු මේ වන විට හොබවනු ලබන්නේ එරට රාජ්‍ය කටයුතු සහ ‍පොදු සේවා සම්බන්ධව වැඩ බලන ලේකම් ධූරයයි. රාජ්‍ය ලේකම් තරම්ම වැදගත් නොවුවද බෲස් වෝඩන් ද වර්තමාන අමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක සාධකවලදී වැදගත් භූමිකාවක් ඉටු කරන චරිතයකි.

ඔහු ශ්‍රී ලංකාවේ හැට නවවැනි නිදහස් සැමරුමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එක්වෙමින් ඓතිහාසික ප්‍රකාශයක් සිදු කළේය. ඔහු පවසා සිටියේ ආසියාවේ මීලඟ ව්‍යාඝ්‍රයා ශ්‍රී ලංකාව වනු ඇති බවයි. එයින් ඔහු අදහස් කර සිටියේ හොඳම නැගී එන ආර්ථිකය ශ්‍රී ලංකාව සතු වන බවයි. එපමණක්ද නොව මේ ව්‍යාඝ්‍රයා සමග හවුලේ කටයුතු කරමින් දෙරටටම වැදගත් කටයුතු කිහිපයක්ම සම්පාදනය කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂාව බවද ඔහු පවසා සිටියේය.

ඒ අනුව බෲස් වෝඩන් පවසන පරිදි ඉදිරියේදී අමෙරිකාව ශ්‍රී ලංකාව සමග හවුලේ සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු රාශියකි. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් වාසි ලබන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවන බව බෲස් වෝඩන් පැහැදිලිවම එහිදී පවසා සිටියේය.

ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයක් ලබන්නේ නම් එහි පැහැදිලි වාසියක් අමෙරිකාවට ද අත්වන බව පෙන්වා දුන් වෝඩ්න් පවසා සිටියේ එසේ වන්නේ අමෙරිකාවේ භාණ්ඩ හා සේවා ගැණුම්කරුවන් අතර ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියද ඉහළින්ම සිටීමෙන් බවයි.

එබැවින්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ඇති කිරීමට, ව්‍යාපාරික අවස්ථා ඇති කිරීමට, රැකියා අවස්ථා ඇති කිරීමට මෙන්ම ව්‍යවසාය වර්ධනයටද අමෙරිකාවේ සහය හිමිවනු ඇති බව වෝඩන් පවසා සිටියේය.

වෝඩ්න් පවසන අන්දමට අමෙරිකාවෙන් මෙවැනි ව්‍යාපාරික සහයක් අනාගතයේදී හිමිවුවහොත් එම හිමිවීම යනු දුර්ලභ අවස්ථාවකි. අමෙරිකාව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වුවද ඒ සෑම අවස්ථාවක්ම එක හා සමාන වන්නේ නැත. එහෙත් පෙනෙන අන්දමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව සතු වන්නේ වෙනත්ම වැඩපිළිවෙළකි. එහි අරමුණු කෙසේ වෙතත් එමගින් අප රටට නෙළා ගත හැකි යහපත් ප්‍රතිඵල උපරිමයෙන් ලබා ගැනීම අපගේ දක්ෂකම විය යුතුය.

ප්‍රථමයෙන්ම අප වටහා ගත යුත්තේ අප රටට බලවත් රටවල් මෙතරම් අවධානයක් ලබා දෙන්නේ ඇයිද යන්නයි. ප්‍රථමයෙන්ම ලන්දේසීන්ගේ ආක්‍රමණයට ලක්වූ අවස්ථාවේ සිට බටහිර රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි ලබා දුන්නේ අති විශාල වැදගත්කමකි. පැහැදිලිව පෙනෙන පරිදි අප රටට ලැබෙන මේ වැදගත්කම කලාපයේ සෙසු රටවල් වන නේපාලයට හෝ භුතානය‍ට හෝ බංග්ලාදේශයට ලැබෙන බවක් පෙනෙන්නට නැත. අප රටට මේ සා වැදගත්කමක් ලැබීමට හේතුව අප රටේ පිහිටීමයි.

සංඛ්‍යාලේඛන අනුව දැනට ලෝකයේ සිදුවන සමස්ත මුහුදු ගමන් අතරින් සියයට හතලිහකට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඉන්ධන සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වීමේ හැකියාව පිහිටීමෙන්ම ලැබී තිබේ. ලෝකයේ දැනට සිදුවන සමස්ත වෙළෙඳ නෞකා ගමන්වාරවලින් බාගයක්ම සිදුවන්නේ ශ්‍රී ලංකාව ආසන්නයෙනි. ශ්‍රී ලංකාවේ මේ පිහිටීමේ වැදගත්කම සුළු කොට තැකිය නොහැකි වන්නේ එබැවිනි.

අනික් අතට ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ කලාපවලට පිහිටීමේ දොරටුවක් ද වන්නේය. විශේෂයෙන් අප්‍රිකාව, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව කරා පිහිටීමේ පිවිසුම් මාර්ගයේ ශ්‍රී ලංකාව පිහිටා තිබේ. මලක්කා සමුද්‍ර සන්ධිය කරා දිවෙන ගමන් මාර්ගය ද ඒ සමගම වන බැවින් බටහිර ලෝකයට පිවිසුම් දොරටුව ලෙසින්ද ශ්‍රී ලංකාව පත් වන්නේ නිතැතිනි.

යටත් විජිත සමයේදී පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට හේතුව වූයේද මේ පිහිටීමයි. මේ ස්වභාවික පිහිටීම නිසි රටට හිතකර ලෙස සහ වාසිදායක ලෙස භාවිතයේ යෙදවීම මේ දක්වා පාලකයන්ගේ අවධානය යොමු නොවු කරුණකි. අමෙරිකාව වැනි බලවත් රටක් අප රට කෙරෙහි මෙතරම් අවධානයක් ලබා දෙමින් මේ සිදුකරන ප්‍රකාශ සුළු කොට නොතැකිය යුතු අතර එමගින් රටට උපරිම වාසි ලබා ගන්නා අතර රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමටද දක්ෂ විය යුතුය.

බෲස් වෝටන් පැහැදිලිව ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අමෙරිකාවටද වැදගත්ය. සැබවින්ම එය ඔහු විස්තර කළ ප්‍රමාණයද ඉක්මවා යන ප්‍රගතියක් බව අප රටේ පිහිටීමේ වැදගත්කම සලකා බැලූ විට පැහැදිලි වේ. සාගර කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්ද නාවික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පවත්වා ගැනීමේ අභිලාශට බලවත් රටවල් රාශියකට පවතින බව ප්‍රසිද්ධ කරුණකි.

මේ සා වැදගත්කමක් හිමිව පැවතියද එම වැදගත්කම අපේ ප්‍රගතියට යොදා ගැනීමට තරම් පැවති පාලකයන් දක්ෂ වූ බවක් ඉතිහාසය දෙස බලනවිට පෙනී යන්නේ නැත. මේ පිහිටීමේ වැදගත්කම හේතුවෙන්ම අප රටට ලැබෙන අවධානය ආර්ථික වර්ධනයක් දක්වා විතැන් කර ගැනීම පාලකයන්ගේ දක්ෂතාව මත තීරණය වන්නකි. නිදහසින් පසු මේ දක්වා ආර්ථික චලනයන් දෙස විමසිලිමත් වන විට අපට පෙනී යන්නේ ඒ අතරින් නිෂ්පාදන ආර්ථිකයක් පැවතියේ ඉතා සුළු කාලයකට පමණක් බවයි.

කොටින්ම කිවහොත් මේ දක්වා අප රට ආනයන මත රැඳුණු පරායත්ත ආර්ථිකයක් දිගින් දිගටම පවත්වාගෙන ගියා මිස ස්ථාවර නිෂ්පාදන කර්මාන්ත බිහි කිරීම කෙරෙහි පාලකයන්ගේ අවධානය යොමූ නොවූ තරම්ය.

නිදහස් දිනය සමරමින් බෲස් වෝඩ්න් කළ කතාවේදී ඔහු එක් අවසථාවක පවසා සිටියේ විසි එක් වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික පදනම වන්නේ පුරවැසියන්ම වන බවයි. අපට අනුව නම් එය නිවැරැදි වන්නේ නැත. අමුද්‍රව්‍ය ලෙස රට පටවන සම්පත් රාශියක් තවමත් අප රට සතුය. අප කරන්නේ ඒවැනි අමුද්‍රව්‍ය රටපටවා විදේශයන්හිදී නිෂ්පාදනය කරන භාණ්ඩ යලින් මිලදී ගැනීමය. මේ චක්‍රයවෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නඟා ගැනීමට කටයුතු කරන්නේ නම්, ඒ සඳහා විදේශ රටවලින් ලැබෙන මේ අති විශාල අවධානය ප්‍රයෝජනයට ගන්නේ නම් එයම ආර්ථිකය ශක්තිමත් කරවීමට යොදා ගත හැකි මූලික උපායමාර්ගය බවට පත්වන්නේය. පුරවැසියන් වැදගත් වන්නේ එකී නිෂ්පාදන කාර්යය‍ේ දායකයන් ලෙසින් මිස මේ දක්වා ක්‍රියාත්මක වන්නා වූ හුදෙක් ශ්‍රම බළකාය ලෙසින් පමණක් නොවන බව අප පැහැදිලි කර දිය යුතුය.

වර්තමාන රජය සම්බන්ධයෙන් බැලූ කළ මේ සියලු කරුණු කාරණා කෙරෙහි ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අවධානය යොමු කරමින් පවතින බව පෙනෙන්නට තිබේ. එහෙත් ප්‍රවේශම් විය යුත්තේ ‍ගෝලීය ධනවාදයේ පාවිච්චියට ලක් වීමට නොව ගෝලීය ධනවාදයේ අරමුණු අතරින් අපේ අරමුණු වෙන් කර ගනිමින් ඒවා සාක්ෂාත් කර ගැනීමටය.

 

Comments