
එක බඩවැල කඩාගෙන එකකුස උපන් තමන්ගේ ම සහෝදරයන් තිදෙනකුම මරා දැමූ මිනිසුන් කෙරෙහි අප්‍රමාණ වෛරයකින් පෙළෙනු වෙනුවට මංමුලාවුණු ඒ මිනිසුන්ට නිවැරැදි මඟ පෙන්වා ඔවුන්ගේ කල දවස යහපත් කරගන්නට මඟ පාදන තරම් මෛත්‍රී සිතක් පහළ කරගන්නට කෙනකුට හැකියාවක් ඇත් නම්, ඒ කොතරම් හපන්කමක් ද? උපතින් මතු නොව ක්‍රියාවෙන් ම බුදුමඟ යන එවන් උතුම් සිතක හිමිකාරිය පසුගියදා අප මුණගැසුණා. එකකුස උපන් සහෝදරයන් තිදෙනා ම මරා දැමූ එල්ටීටීඊ සටන්කරුවන්ට යහමඟ පෙන්වමින් බෝසත් ගුණදම් වඩන ඇය ආර්.එම්. අනුලා රත්නායක.
යුද්ධයෙන් පසු අවි බිම තබා යුද හමුදාවට බාර වී පුනරුත්ථාපනය වන වව්නියාව පුන්තොට්ටම් කඳවුර, වැලිකන්ද කන්දල්කඩු වැනි කඳවුරුගත තරුණ තරුණියන් සඳහා ස්වයං රැකියා සහ මනෝ සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වන අනුලා උතුරු නැගෙනහිර පළාත්වල පමණක් නොව, මධ්‍යම පළාත උතුරු මැද ඇතුළු පළාත් කිහිපයකම තරුණ තරුණියන්ට සිය දැනුම හා පුහුණුව ලබා දෙන්නීය. උතුරු - නැගෙනහිර සටන් බිමේදී යුද හමුදා ක්‍රියාන්විතයේ කටයුතු කළ ඇයගේ වැඩිමල් සොහොයුරෝ තිදෙනා ම ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වී මරණයට පත් වූහ. තම සොහොයුරන්ගේ අභාවයෙන් සිත්හි ඇති වූ අනන්ත වූ දුක් කන්දරාව මහමෙරක් සේ දරාගෙන ඒ දුක අමතක කරමින් බුදු දහමට අනුව වරදකරුවන්ට සමාව දුන් ඈ ඔවුන් කෙරෙහි මෛත්‍රී සිත් ඇතිව පුනරුත්ථාපන කඳවුරු වෙත යමින් තමා ලද දැනුම හා පුහුණුව නොමසුරුව කඳවුරුගත තරුණ - තරුණියන් වෙත ලබා දෙමින් සිටී. දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්වයංරැකියා පුහුණුව ලබන්නට රිසි තරුණ පිරිස් වෙත තමා සතු දැනුම අවම මිලකට ලබා දෙන්නට අනුලා දක්වන කැප කිරීම හා උත්සාහය අගයමින් 2016 වසරේ මධ්‍යම පළාතේ නැගී එන ව්‍යවසායිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා කළමනාකරණ සංගමය මඟින් ඇය වෙත පිරිනමනු ලැබිණි.
2017 ජනවාරි මස 18 වැනිදා ජාතික ඉතිරිකිරීමේ බැංකුව මඟින් ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන සමාජීය මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් දස දෙනකු වෙනුවෙන් “ස්ත්‍රී” ගිණුම් ආරම්භ කරන ල අවස්ථාවේ අනුලා විසින් මෙරට ජාතික සාමය හා සංහිඳියාව උදෙසා ස්වේච්ඡාවෙන් ඉටු කරන ලද මෙහෙවර අගයමින් ඇගේ නමින් ස්ත්‍රී ගිණුමක් අරඹමින් ඇය සම්මානයට පාත්‍ර කරනු ලැබුවාය.
2015 වසරේ සිට පුනරුත්ථාපන අමාත්‍යාංශය සමඟ එක් වී ඇය උතුරේ පුනරුත්ථාපන කඳවුරු වාසී තරුණ තරුණියන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෑත් වී පුනරුත්ථාපනය ලබන තරුණ තරුණියන් වෙත ස්වයං රැකියා සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වයි. කාන්තා ඇඳුම්, මදුරු දැල්, ඇඳ ඇතිරිලි, තිර රෙදි ඇතුළු රෙදි පිළි මැසීම ද, සපත්තු සෑදීම, කෘත්‍රිම මල් සෑදීම, සැරසිලි හා රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ තමා සතු දැනුම පුනරුත්ථාපන කඳවුරුගත තරුණතරුණියන්ට ඇය නොමසුරුව ලබා දෙයි. මතින් මිදුණු තරුණ පිරිසට යළි ජීවය කැන්දමින් ජීවිතය ජය ගන්නා හැටි කරුණාවෙන් වටහා දෙමින් ඔවුන්ට ජීවනෝපාය මාර්ගයක් හඳුන්වා දෙන්නට ඈ රට වටා සැරිසරන්නේ හද පිරි සතුටින්.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතාගේ සංකල්පයක් අනුව මේ දිනවල ඇය රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කොටගල, කැලෑබොක්ක, හාගල, ගල්පිල්ල යන වතුවල කම්කරුවන්ට ඇඳුම් මැසීම, ඇඳ ඇතිරිලි කොට්ටඋර සහ මදුරු දැල් මැසීම මෙන් ම පරිසර හිතකාමී විෂ රහිත මදුරු කූරු නිෂ්පාදන පුහුණු වැඩසටහන් පවත්වමින් සිටී. තේ, වතුවල කම්කරුවන්ට වතුවැඩ හිඟවන කාලෙට අමතර රැකියාවක් ලෙස ඉහත කී කර්මාන්තවල යෙදීමෙන් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව උදා කර දීෙම් අදහසින් වැවිලි අමාත්‍යංශයේ සභාපතිවරයා විසින් දියත් කරන ලද වැඩසටහනේ උපදේශිකාව ලෙසින් අනුලා කටයුතු කරයි.
වව්නියාවේ උපන් අනුලා මූලික අධ්‍යාපනය ලැබුයේ වව්නියාවේ ගුණානන්ද විද්‍යාලයෙන්. කොටි උවදුර හේතුවෙන් අනුරාධපුර සාලියපුරයට පැමිණි ඇය අනතුරුව පැරකුම් විද්‍යාලය හා මැදවච්චිය ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය යන විදුහල්වලින් ද්විතීයික අධ්‍යාපනය ලැබුවාය. යුද හමුදාවේ සේවයෙහි නියුතු සිය වැඩිමල් සොහොයුරන් තිදෙනාගේ ආභාසය ලබමින් 1990 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා සෙබළ බළකායට බැඳුණු ඇය යුද්ධයේ තීරණාත්මක සටන්වලදී ක්‍රියාන්විතයේදී වව්නියාව - තාන්ඩිකුලම්හිදී කොටි වෙඩි ප්‍රහාරවලට ලක් වෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රාජකාරියෙහි නිරත වූවාය. යුද හමුදා පොලිසියේ නිලධාරියකු වූ සුදේශ් ජීවරත්න සමඟ විවාපත් වූ අනුලා දියණියන් තිදෙනකුගේ දයාබර මවක මෙන් ම මිය ගිය සොයුරන් ගේ දරුවනට ද සෙනෙහෙබර මාතාවක් වන්නීය.
වසර නවයක හමුදා සේවයෙන් ඉවත් වූ ඇය ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ පුහුණුව ලබා මැහුම්, අත්කම්, හා මෝස්තර නිර්මාණය පිළිබඳ එන් ඊ කිව් සිව් වැනි මට්ටමේ සහතිකයක් ලබා සිටී. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සහ නොවිධිමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ බාහිර උපදේශකවරියක් ලෙස නුවරඑළිය, හැටන්, මහනුවර, මහියංගණය, අනුරාධපුරය, කුරුණෑගල, රිකිල්ලගස්කඩ, නිල්දණ්ඩාහින්න, වලපනේ වැනි දුෂ්කර ප්‍රදේශවල කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා ඇඳුම් මැසීම, පාවහන් නිෂ්පාදනය, රූපලාවණ්‍ය පාඨමාලා පවත්වමින් අනුලා සිය දැනුම බෙදා දෙන්නේ ඉතාම අඩු මුදලකට බව ඇය පවසයි. “දැනුම ලබා දීමට මා අය කරන්නේ අමුද්‍රව්‍යවලට යන මුදල හා ගමන් ගාස්තුව සඳහා වැයවන මුදල පමණයි. ඉඳුම්හිටුම් සහ ආහාරපාන බොහෝවිට මට මේ සඳහා ඇරැයුම් කරන සංවිධායකයින් විසින් සපයනු ලබනවා.’’ ඇය කියයි.
සිය දරුවන් පෙර පාසලට හැරලවා එනතුරු ගත වූ පැය කිහිපය තුළ ස්වයංරැකියා පුහුණු පාඨමාලාවක් හැදෑරීමට තමාට මඟ පෙන්වූ මහනුවර සෝංකජී පෙර පාසලේ උපදේශිකා මංගලිකා මහත්මියත්, ඇගේ දස්කම් හඳුනාගෙන ඉදිරියට එන්නට අවස්ථාව සලසා දුන් කාන්තා කළමනාකාරණ ආයතනයේ සභාපතිනි සුලෝචනා සිගේරා සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ද ඈ කෘතවේදීව සිහිපත් කරයි.
තමාගේම කියා මහන මැෂිමක්වත් නැතිව අසල්වැසි කාන්තාවකගේ මැෂිමක් ඉල්ලාගෙන නිවෙසේ සුළුවෙන් ඇරෑඹූ මැහුම් ව්‍යාපාරය අද දීප ව්‍යාප්ත පුහුණු පාඨමාලාවක් බවට පත් කරගන්නට ඇයට අත්වැලක් වූ සැමියා ද දරු කැලද ඈ සිහි කරන්නේ බැතියෙනි. මේ වනවිට මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා ඒකකයේ හඟුරන්කෙත කලාපයේ මැහුම් උපදේශිකාවක ලෙසද, මධ්‍යම පළාත් කාන්තා ස්වයං රැකියා පුහුණු උපදේශිකාවක ලෙස ද ජාතික ආධුනිකත්ව මණ්ඩලය හා පුනරුත්ථාපන හා මධ්‍යම පළාත් ක්‍රීඩා සහ කර්මාන්ත අමාත්‍යංශවල බාහිර උපදේශිකාවක ලෙස ද කටයුතු කරන අනුලා ඇය පදිංචි මයිලපිටිය ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිනිය ලෙසත් භාරධූර රාජකාරි රැසක නියැළෙන ආදර්ශවත් දිරිය කාන්තාවක ලෙස හැඳින්විය හැකිය.