
ලෝලු ආරේ පතලෙන් මැණික් ගල් අටයි
මා කුඩා කාලයේ අප නිවෙසේ නතරව තාත්තාගේ වැඩවලට උදව් කළ ජේමිස් මුත්තා ඉතාමත් කඩිසර ගැමියෙකි. නිවෙස නුදුරේ වූ කරුංකා මඩුවේ නතරව නිවසේ කුදුමහත් සියලුම සේවාවන් ඉටුකළ ජේමිස් මුත්තා එදා හැත්තෑ හැවිරිදි වුවද තිස් හැවිරිදි තරුණයෙකු මෙන් ම කාර්යක්ෂමය.
අපේ තාත්තා කළේ වෙළෙඳාමය. කිරිළිපනේ මොරගල හන්දියේ එතුමා සතු පුංචි සිල්ලර කඩය එම යුගයේ හැටියට තරමක ව්‍යාපාරයක් විය. ග්‍රාමීය පරිසරයක දැවැන්ත වෙල් යායක් ඉදිරියේ පැවැති තාත්තාගේ වෙළෙඳ සල යුගයේ හැටියට අංග සම්පූර්ණ එකකි.
ජේමිස් මුත්තාගේ රාජකාරි අතර වූයේ හිමිදිරියේ ම පිබිද අරඹේ කිතුල් මල් මැදීම, පුවක් අහුලා අව්වේ දැමීම හා නිදිමත වනතුරු කරුකා එවීම සහ නුදුරු කන්දේ පිහිටි හේනේ වැඩය.
මේ සියල්ල සඳහාම ඔහුට දිනකට සත පනහක් පමණ ද බෙහෙත්, ආහාර, බුලත්විට ආදියද ලැබිණි. මුත්තාගේ ඇසුර මා ප්‍රිය කළේ ඔහුගේ ළමා තරුණ හා ගැටවර වියේ සත්‍ය අත්දැකීම් හා ඕනෑ තරම් බීම සඳහා කිතුල් පැණි හා තෙලි දිය ද ලැබුණු නිසාය.
ජේමිස් මුත්තා මා සමග කී කථාවක් ඔහුගේ බසින් ම මෙසේය.
“මං ඒ කාලෙ වයස දාසයේ තරං ගැටයා... මේ ගෙදර උන්නා තොමිස් හාමි කියල කෙනෙක්. මහත්තයගෙ අම්මණ්ඩිගෙ මාම කෙනෙක්, උන්දැ මටත් මස්සිනා වෙනවා. ඇඟ පතෙං මනුස්සයෙක් උනාට කිරියා පටි පාටියෙන් නං යකෙක්, පෙනුමත් එහෙමයි. ඔළුව පුරා පොකුටු හිස කෙස්. ඇඟපත මහායෝධයි. කිසිකෙනෙකුට බය නෑ. ඔපිසර ඇත්තෙක්වත් උන්දැට ඉහළිං ගියේ නෑ. බයයි. තොමිස් අයියා තමයි මේ මං කොරන වැඩටික එදා මෙතැන කළේ. හැම සුමානෙම ඌරෙක් මරනවා. කන්නේ එයැයිතුයි පවුලයි විතරයි. මටත් ටිකක් දුන්නා. මේ මනුස්සයා දවසක් මට කතා කොළා ගිරුවා පත්තුවෙ මැණික් ගරන්න යන්න. උන්දැගෙ යාළුවෙක් පනාමුරේ උන්නා. මාත් ඉතිං සෙල්ලක්කාර කොල්ලා. මං කිව්වා හා යමු කියල. පනාමුරේ තියෙන්නෙ මෙහෙ ඉඳල වරුවක් ගියාම. ඔය කාලෙ ඔය ගම්මාන ඔක්කොම වගේ කුරහං හේං, ඒවැයි වී ගොයිතැං පාඩුයි. තල අතු ගෙවල් තමයි ගම්මානඔල බණ්ඩාර ඇත්තන්ටත් තිබුණෙ. සල්ලිය බාගෙ අඩුයි.
දවස එළියට කලිං අපි මෙහෙං පිටත් වුණා. කුකුංදෙණියෙ ඉඳලම මහ වනාන්තරේ, උණු උණු අලිබෙටි උඩිං පැනගෙන ගියත් තොමිස් අයිය එක්ක ගමන් යද්දි බයක් කියල එකක් දැනෙනව බොරු.”
“ඒ මොකෝ?” මං අතුරු ප්‍රශ්නයක් නැඟුවෙමි.
“මන්තර සාස්තරෙං ඕනම සතෙක් මෙල්ල කරනවා, ඌරු නඩේ ගිය මංකඩට වැලි මතුරල දැම්මම ඌරු නඩේ නැවතෙනවා. උන්දැ ගිහින් ලොකු ම ඌර එළාගෙන තමයි අනික් වුං යවන්නෙ. හැබැයි හොඳ ගතියකුත් තියෙනවා. බඩදරු ඊරියො, නෑම්බියො මරන්නෙ නෑ - ඊරියෙක් නං ප්‍රභූ ඊරිම තමයි මරා ගන්නෙ. ඒත් ඌරෙක් ලොකු එකෙක් නොහිටියොත්...”
“ඉතින්... ඉතින්?”
“ඉතින් මහත්තයො උන්දැගෙ යාළුවගෙ ගෙදරට අපි ගියේ නෑ. ගියේ උන්දැගෙ කෙහෙල් කොරටුවෙ පැළට.
හරියටම වෙලාවට යාළුව මුළිච්චි උණේ උන්දැ කලිං පණිවිඩේ ඇරල තිබුණු නිසා. අපි ගෙනිච්චෙ කැත්තයි කැට කූඩෙයි, ඉල්ලං කූරයි, පණිට්ටුවයි විතරයි. ගැරුංවට්ටි එහෙම යාළුව ගාව තියෙනව. මඩුවන්වෙල නින්දගමට අයිති ඉසව්ව. දිසා උන්නාන්සෙ ඒ කාලේ නෑ. හිටියෙ උන්දැගෙ අප්පච්චි.... ඒකනායක මුදලාලි ඕං සන්දිය...” එසේ කියා බුලත් ඔඩොක්කුව අතට ගෙන බුලත් විටික් ඒදන ජේමිස් මුත්තා වහා නැගි කරුංකා මැස්ස යට ගිනිගොඩට ද දර කෑල්ලක් ළං කරයි.
වෙලාවෙ හැටියට උදේ සප්පායම. ඒ කාලෙ ඒ ගංවල තේ වතුර කුරහං බැදපුව උණුවතුරට දාලයි හදා ගත්තෙ. තොමිස් අයියා, ගොනිච්ච තේ කොළ රාත්තල අසුරඹියක් වගෙයි. යාළුව ගම්බාර ඇත්තෙක්... එයැයිත් මස් වැද්දෙක්. ගෝනමස් හොදියි කුරහං පිට්ටුයි තමයි උදේට.
උදේ නමෙය හමාරට තරම අපි තුන්දෙනා මහ මූකළානෙට ඇතුල්වෙලා පැයකින් විතර ලෝලු ආර කියන දොළ පාරක් අද්දර නැවතුණා. වාඩිය යස අගේට හදලයි තිබුණෙ. අනිත් ගැරුං කට්ටිවල උං පළා පිළිස්සු මස් මාංස වාඩිය අහලකට ගන්නෙ නෑ. ඒවා ඒ තැනට ඔබින්නෙ නෑ. මුංදැල එහෙම නෑ. තොමිස් අයිය ගෙනිච්ච දුරු මිරිස් ළූනු අල, පොල්තෙල් තෝර කරෝල - ලුණු, හාල්, සීනි එව්වට හරියන්න උන්දැ ගෙනිච්චෙ තඩි පූවලුවකුයි. කලින්දා මරාපු ගෝනෙකුගෙ ගාතයකුයි, තොමිස් අයිය කිව්ව, මලේ ඕක තියල යමං ඕකෙ ඉවට වලහා එනවා ඌ වාඩිය ළඟට ඇබ්බැහි වෙන එක නපුරක්, මේ මලයා බය වේවිය කියල...” ඉතිං ආයිබොවන් මසක් නැතිව ඇහැක්? කියල උන්ද කිව්වා. මං ගෙනාවා තඩි තෝරෙකුගෙං බාගයක්. ගනිං ඔය බරට මයියොක්කු - අපි ආයි දවසකිං දෙකකිං ඇවිත් යමු, ගෝන ගාතෙ අර යාළුව ගෙ පුතෙක් ගෙදර ගෙනිච්චා...,
පතලෙ පුරල පැයකිං විතර හූවක් ඇහෙනවා. තොමිස් අයියා මට කිව්ව මලේ බයවෙන්න එපා වලස් හපුවා ආපු දෙංකො.... කියල කැත්ත අතට අරගෙන ඒකට මතුරල පිම්බා, පිඹල ආයිත් වැඩ.... “දෙයියම්පා මහත්තයෝ ආයිත් නෑ වලහ හූ කිව්වෙ. අර මන්තරේං උගේ දිව කැපෙනවලු....
හතර වෙනි දවසෙ ඉල්ලම් කමතම හෝදල ඉවරයි. ආර බොර වෙන කොට ගමට දැනෙනවා ගරන වග. මුදලිට ආරංචිය යනවා. තොමිස් අයියගෙ යාළුව ගම්බාර බණ්ඩාර... එයාට ගම බයයි.
රුපියල් අට දාහක මැණික් ගල් අටක් වලව්වට වික්කා. පිට වික්ක නං විසි දාහක් විතර ගන්න තිබුණා.”
“ඇයි ඉතිං පිට නොදුන්නෙ...” මම ඇසුවෙමි.
“පිට දුන්න නං මහත්තයෝ... ගම්බාර එක්ක මුදලාලි නෝක්කඩු වෙනවා. එයැයිනෙ නින්දගං.... අපි තව දවස් දෙකක් පනාමුරේ ඉඳලා තමයි ආවේ. මටත් රුපියල් අටසියක් හම්බ වුණා. ඒකෙං මම කුඹුරු කෑල්ලක් ගත්ත වී මලු හයක. තව රුපියල් 100 ක් පස්සෙත් දුන්නා තොමිස් අයියා.” මුත්තා කතාව අවසන්කොට කරුංකා එවීම සඳහා ගිරය අතට ගත්තේය.