කාන්තාවන්ට නිසි තැන හිමි රටක් | සිළුමිණ

කාන්තාවන්ට නිසි තැන හිමි රටක්

ටර්ක්ස් හා කැයිකෝස් රාජ්‍ය යේ සමතැන ඉල්ලන්නේ පිරිමි

ලෝකයේ සෑම රටකම කාන්තාවන්ට හිමි ස්ථානය ලබාගැනීම සඳහා අරගල සිදු කරද්දී රටේ වැදගත් තනතුරු සියල්ලෙහිම පාහේ බලය වනිතාවන්ට හිමිවූ රටක් පිළිබඳව වාර්තාවෙයි. එයට අමතරව, බ්‍රිතාන්‍ය රූපවාහිනී සේවයෙහි කාන්තා කටයුතු පිළිබඳ පර්යේෂකවරියක වන ජෙම්මා හැන්ඩි පෙන්වා දෙන අන්දමට “සමාජයේ නිසි ස්ථානය ලබාගැනීම සඳහා එ‍රටේ රජය මඟින් පුරුෂ පක්ෂය සඳහා විශේෂ වැඩසටහන්” ක්‍රියාත්මක කරයි. ටර්ක්ස් හා කයිකෝස් නමින් හැඳින්වෙන මෙම කැරිබියානු රට පිහිටුවා ඇත්තේ බටහිර කොදෙව් දූපත්වලට උතුරින් පිහිටි අත්ලන්තික් සාගරයේ ලුසියානා දූපත් සමූහය අතරේ ය.

බ්‍රිතාන්‍යයට අයත් බලප්‍රදේශයක් වන මෙරටේ අගමැතිවරිය ලෙස ෂාර්ලෙන් කාර් රිටි - රොබින්සන් මහත්මිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති මහා මැතිවරණයේදී තේරී පත්වූවා ය.

මෙයට අමතරව එ‍ර‍ෙට් (නියෝජ්‍ය ජනාධිපති ධූරයට සමාන වන) නියෝජ්‍ය ආණ්ඩුකාර පදවිය මෙන් ම අග්‍රවිනිශ්චයකාර තනතුර ද කාන්තාවෝ දරති. නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශය පිළිබඳව සඳහන් කරන විට නීතිපති, ප්‍රධාන මහේස්ත්‍රාත් රජයේ නඩු අධ්‍යක්ෂ ධූරය වැනි තනතුරු ද කාන්තාවෝ දරති. රජයේ පරිපාලනය ගැන සලකන විට අමාත්‍යාංශවල සිටින ස්ථාවර ලේකම්වරුන් සත් දෙනාගෙන් පස් දෙනෙකුම කාන්තාවෝ වෙති.

සැබවින් ම මෙම රටේ කාන්තාවන් එ‍රටේ පුරුෂ පක්ෂයට වඩා බොහෝ අංශවලින් පෙරමුණ ගෙන සිටින හෙයින් පිරිමින්ට ‘සාධාරණ’ ස්ථානය සොයා දීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවී තිබේ.

“ලෝකයේ බොහෝ රටවල ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අමාත්‍යාංශවලින් සම්ප්‍රදායිකව සිදුවන්නේ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය උසස් කිරීම වුව ද ටර්ක්ස් හා කැයිකෝස් රාජ්‍යයෙහි පිහිටුවා ඇති එම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත්තේ උසස් විද්‍යාලවල සිටින සිසුන් උදෙසා සමාජයේ සමාන ස්ථානයක් ලබාගැනීම සඳහා ඔවුන් මෙහෙයවන වැඩසටහන් පවත්වාගෙන යාම” යැයි නියෝජ්‍ය ආණ්ඩුකාරිනී ආන්යා විලියම් පැවසුවා ය. මෙම වැඩසටහන්වලට, අන්තර්ජාතික පුරුෂ දිනයක් පැවැත්වීමේ සිට “නායකයෙකු බිහිකිරීම දක්වා විවිධ ස්වරූපයක් ගන්නා කාර්යයන් රාශියක් අඩංගුවේ. මෙම කාර්ය භාරයන්ට තරුණයන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන කඳවුරු, සමකාලීනයන්ගෙන් වන බලපෑම්, කෝපය පාලනය කරගැනීම සහ සන්නිවේදනය වැනි විවිධ වැඩසටහන් ද ඇතුළත් වේ.

ලෝකයේ වෙනත් රටවල කාන්තාවන් මහත් අපේක්ෂාවෙන් බලාපොරොත්තු වන මෙම තත්ත්වය මෙම කාන්තාවන් උදාකර ගන්නේ කෙසේද?

පසුගිය දෙසැම්බර් මස 15 වැනි දින පැවැත්වුණ එරට මහා මැතිවරණය අතිවිශාල බලයක් තම පී‍.ඩී‍.එම්. පක්ෂයට හිමි කරගත් අගමැතිනි පවසන්නේ “තමා එම තනතුරට පත්වූ හොඳම මිනිසා” වන බවයි.

සමාජ සාධාරණත්වය, විවෘත පාරදෘෂ්‍ය පාලනයක් ගෙන යන බවට පොරොන්දු වන මැතිවරණ ප්‍රතිශතයක් ජනතාවට ඉදිරිපත් කළ ඇය, තම ප්‍රතිවාදීන් දෙදෙනෙකුම පරාජයට පත් කරමින් මෙම තනතුර ලබාගත්තා ය.

ඇයගේ ජයග්‍රහණයත් සමඟම ප්‍රතිපක්ෂ පී.එන්.පී. පක්ෂයේ වසර 13 ක පාලනය අවසන් විය. එම පාලනය ගෙනගිය හිටපු අගමැති මයිකල් මයිසික් විසින් කරන ලද අයුතු වියදම් පිළිබඳව විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් මඟින් වරදකරු කිරීමෙන් පසුව ඇති වූ තාවකාලික බ්‍රිතාන්‍ය පාලනයක් ද පැවැතියේ ය.

එක්සත් රාජධානියේ අතුරුපාලන සමයේ දී පරිපාලන උපදේශිකාවක ලෙස කටයුතු කිරීම ද ඇතුළුව වසර අටක් තම පාර්ලිමේන්තු අත්දැකීම් අගමැති ධූරය දැරීමට මහත් ආධාරයක් වූ බව ද ඇය කියන්නී ය.

කාන්තාවකට රටේ පාලනය කරගෙන යාමට නොහැකි යැයි සිතන පූජකවරුන් පිරිසක් පවා සිටිනවා. ඒ වුණත් පසුගිය වසර වලදී මා කළ වැඩකටයුතු නිසා සමාජය මා දෙස බලන්නේ කාන්තාවක දෙස මෙන් නොව යම් කාර්යයක් බාර දුන් විට එය කළ හැකි පුද්ගලයෙකු විලසින් යැයි ඇය බී.බී.සී. පුවත් සේවයට පැවසුවා ය. එහෙත් කාන්තාවක් යම් කටයුත්තක් සිදු කළහොත් එයට යම් විශේෂත්වයක් එක් කිරීමට ඇයට හැකියාව ඇතැයි ඇය සිතන්නීය.

“යම් කරුණක විස්තර ගැන වැඩි උනන්දුවක් දක්වන කාන්තාවෝ එම අංගයන්ට පෞද්ගලික නැඹුරුවක් ඇති කර ගන්නවා.‍ කාන්තාවන් සියලු දෙනාම දැන් දරන්නේ කවදාවත් දැරූ තනතුරු නොවෙයි. ඒ වුණත් අපි ඉතා විශිෂ්ට අන්දමින් එම කටයුතු ඉටු කරනවා‍” යැයි බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවල සිටින එකම අගමැතිවරිය කියන්නීය.

තමා වැනි අය ආරම්භ කරන ලද ප්‍රවණතාවයන් පහසු ඒවා නොවේ යැයි ද ඇය කියන්නීය. “අපේ රටේ වීදුරු සිවිලිම කඩා බිඳ දැමූ කාන්තාව ලෙස මා සම්මානයට පත්වෙලා. පසුගිය කාලයේ දී කෙරුණ පත්කිරීම් තුළින් අපට ආඩම්බර විය හැකි තත්ත්වයකට අප පත්වී ඇතිද යන කරුණ මැනවින් පැහැදිලි වුණා.”

එරටේ නීතිපති ධ‍ූරයට පත්වූ පළමු වන කාන්තාව වන බ්‍රානිවාමී නෝලස් මෙනවිය. එරටේ උසස් තනතුරුවලට කාන්තාවන් පත්වීම විශිෂ්ට සිද්ධියක් බව කියන්නී ය.

ඇය මෙම තනතුරට 2014 වසරේදී පත්වූවේ ලෝක ව්‍යාප්ත අයදුම්පත් කැඳවීමෙන් පසුව පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයක් මඟිනි.

“ඉතා වැදගත් කාර්ය භාරයක් ‍රටට ඉටු කරන සවිමත් කාන්තා පරපුරක් අපේ ර‍ටේ සිටිනවා. ප්‍රජා සමාජයේ අතිශයින් ක්‍රියාකාරී වන ඔවුන් සංස්ථාමය අංශයේ මෙන් රාජ්‍ය අංශයෙහි දී ද බලවත් හඬක් නඟනවා” ඇය පැහැදිලි කළා ය.

මේ අතර අනාගතයේදී නීතිඥවරුන් වීමට එතරදී පුහුණුවන සිසුන් 17 දෙනාගෙන් 14 දෙනෙක් ම කාන්තාවෝ වෙති.

නීති ක්ෂේත්‍රයෙහි ඉහළම පාලන තනතුරු දරන්නේ ද කාන්තාවන් විසිනි. “එය සිත්ගන්නා ගතික තත්ත්වයක්” නීතිපතිවරිය කියන්නී ය.

“වැඩිමහළු පිරිමින් උසස් තනතුරුවල සිටියදී ඔබගේ ස්ත්‍රීත්වය ඔවුනට අපහසුවක් වීමට පුළුවනි. එහෙත් සාර්ථකව වැඩ කළහොත් ඔබගේ කාන්තා ස්වරූපය ඔවුන්ගේ මනසින් ඉවත්වෙන්නට ඉඩ තියෙනවා. එහෙත් තනතුරේ වැඩ කටයුතු සමඟ සලකන විට බරපතළ ප්‍රශ්නය වන්නේ තම පුතුට මවක් වීම හා බිරිඳක් වීම” යැයි ද ඇය කීවාය.

“එහෙත් කාන්තාවන් බහුශ්‍රැත නිසා එම තත්ත්වයන්ට මැනවින් මුහුණ දිය හැකි” යැයි ඇය කියන්නීය. “කාන්තාවන් මෙම තනතුරුවලට පත්වූයේ ඔවුන් සතු හැකියාවන් නිසා අප මෙතැනට ආවේ සාධාරණ තරගකාරිත්වයකින් කියල පෙන්වන්න පුළුවන්” ඇය කියයි.

අධ්‍යාපන ඇමැතිනී, ‍ජොන්සින් කොනෝලි, අගමැතිනිය, හා නියෝජ්‍ය කතා නායිකා කාරෙත් මැල්කම් යන කාන්තාවන් තිදෙනා රටේ වැදගත්ම තනතුරු දරන බව නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය කීවාය. ලන්ඩනයෙන් පත් කෙරුණ ආණ්ඩුකාර ජෝන් ප්‍රීමන්ගේ තනතුරට පමණක් දෙවැනි වන ඇය දරණ තනතුරට ද පත්වූයේ ලෝක ව්‍යාප්ත අයදුම්පත් කැඳවීමකින් පසුව ය.

පුද්ගලයන් 1700කින් සමන්විත එරටේ සිවිල් සේවය පරිපාලනය කිරීම වැනි වැදගත් තනතුරු රැසක් දරා මනා පලපුරුද්දක් ඇති විලියම්ස් මහත්මිය, පසුගිය දෙසැම්බර් 21 වැනි දින ඇමැතිවරියක ලෙස දෙවැනි වරට ද දිවිරුම් දුන්නා ය.

“අපේ රටේ කාන්තාවන්ට ඉහළට යාමට බාධාවක් නැත” යනුවෙන් කියන නමුදු ඇය මෙම අවධානය ද කරන්නීය. “කාන්තාවන් උසස් තනතුරු දැරීම වටිනා දෙයක් වන නමුත් කු‍ඩා පුතෙකුගේ මවක් ලෙස මම දකින්නේ උසස් තත්ත්වයකට පැමිණීමට පිරිමින් ද දිරිමත් කළයුතු බව ය. ස්ත්‍රී පුරුෂ සමානත්වය ඇති කළ හැක්කේ එවිට යි.

 

Comments