
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.
ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.
සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10
බදුල්ලේ ගංගාදරී
ප්රශ්නය :-
මම ගුරුවරියක්. වසර 07ක ප්‍රේම සම්බන්ධතාවයක් මත වෛද්‍යවරයකු සමඟ විවාහ වුණා. වසර තුනක් විවාහ දිවිය ගත කරන විට ඔහුගේ වෙනස්කම් දැන ගත්තා. ඔහු මේ වන විට ඉතා ඉහළ නිලයක් දරන උගත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා. ඇයත් විවාහකයි. ඇයට නම් දරුවන් නෑ. නමුත් මට නං වසර 13ක දියණියක් ඉන්නවා. මම මේ වන තෙක් මේ සියලු දුක් දරාගෙන සිටියා. මුල් කාලයේදි මට ජීවිතය පහසු වුණේ නැහැ. ඒත් මම දුවට කිසිම අඩුවක් තිබ්බෙ නැහැ. දැන් මට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වෙලා. අපි තවම නීතියෙන් වෙන්වෙලා නැහැ. මගේ සැමියාගේ අලුත් පෙම්වතියගේ සැමියා ලේසියෙන් ඇයව අත අරින්නට කැමති නැහැ. මේ නිසා සැමියාගේ ජීවිතය පවා අවධානම් බව මට දැන ගන්න ලැබුණා. ඒ මදිවට දුවත් නිතර නිතර තාත්තාව අහනවා. ඇය කිසියම් මානසික ව්‍යාකූල තත්වයකින් ඉන්න බව දැනෙනවා. හිටපු ගමන් හීනෙන් බය වෙලා වගේ නැගිටිනවා. ඒ අතර පාරේ මැදි වයස පිරිමි කෙනෙක් දැක්කොත් ඇය දන්නේ නැති අයගේ පවා පස්සෙන් යනවා. මාව නුරුස්සන ගතියකුත් දැනෙනවා. මේ නිසා මට රැකියාවට අමතරව වෙන කිසිම දෙයක් කරන්න බැහැ. මම අතිරේක පන්ති කළා. දැන් මට ඒවා කරන්න වෙලාවක් නැහැ. හැම වෙලේම ඇයව ඉක්මනට පාසලෙන් ගන්නත්, ආපසු නිවසට ආ විට රැක බලා ගන්නත් වෙලා. අමා තවත් මට මේ දුක දරන්න බැහැ. මම කළ යුතු දේ මට කියා දෙන්න.
පිළිතුර
ගංගා ඔබේ තත්වයත්, ඔබේ දුවගේ තත්වයත් මට තේරෙනවා. මම ඔබ ගැන දුක් වෙලා ඔබටත් දුක බෝ කරන්න කැමති නැහැ. මම සතුට අරන් එන කෙනෙක්. ඔබ සැමියාට වසර 07ක් ආදරය කළ බව කියනවා. ඒත් විවාහය පවතින්නේ වසර 03 යි. ඒ ඇයි කියලා දන්නවද? අප ආදරය කියා කියන්නේ ඇත්තට ම ආදරයට නොවෙයි. අප දැකපු ගමන් කෙනෙකුට ඇදී යන්නේ ෆෙරටෝන් හෝමෝනවල බලපෑම නිසා. ඒ කියන්නේ ලිංගික සහකරු හෝ සහකාරිය බැඳ තබා ගන්නට අපේ සිරුරින් නිකුත් කරන දෙයක්. මී මැසි රැජින, සමනලියන් වැනි කෘමි සතුන් වගේ ම සත්ව ලෝකයේ දැවැන්තයන් පවා විටින් විට මෙම හෝමෝන නිකුත් කරනවා. නොකැඩී තමන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වාගෙන යාමටත් තමන්ගේ වර්ගයා බෝ කිරීමටත් මෙම ක්‍රියාවලිය අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් ඔබ සහ ඔබේ සැමියා අතර ඒ වගේ ආකර්ෂණයක් ඇති වුණා. ඔබ අත්පත් කරගත්තාට පසු ඔබේ අනිත් සියල්ල සමඟ ගැළපුණත්, ලිංගික වශයෙන් ඔහුට ඔබ ගැළපෙන්නට නැතිව ඇති.
කෙනෙකු සමඟ ආදරයෙන් බැඳුණ පසු අපි ඔහුට හෝ ඇයට පෙන්වන්නේ අපගේ සැබෑ ස්වරූපය නෙමෙයි. අපගේ හොඳම ගතිගුණ පමණයි. ඒ වන විට අප කවුද කියා අපගේ ලිංගික සහකරු හෝ සහකාරිය තබා අපවත් හඳුනා ගන්නේ නැහැ. ඉතිං අපටම අයිති වූ පසු තවදුරටත් අපට අපව සඟවන්න අවශ්‍ය නැහැනේ. අපව දමා නොයන බව අපි දන්නවා. ඒ නිසා ඔහුගේ හෝ ඇයගේ චරිතයේ අප නොදන්නා හෝ අප අකමැති දෙයක් සිදුවන විටම අප එය ප්‍රතික්ෂේප කරනවා. විරුද්ධ වෙනවා. ටික කාලයක් අනෙකාව දරා ගන්නට ඉවසන්නට අපට ධෛර්ය තිබුණත් දිගුකාලීනව අපට එය කරන්නට හැකියාවක් නැහැ. අපට ආතතිය ඇති වන්නේ අනෙකාගේ ක්‍රියාවන් නිසා. ඔබ ධෛර්යවන්ත කාන්තාවක් බව පේනවා. බටහිර රටවල නම් තනි මාපිය හෝ single parent කියන සංකල්පය අරුමයක් නෙමෙයි. ඒත් අපේ සංස්කෘතිය අනුව එහෙම කරන එක හොඳ නැහැ. දරුවා ගැන දෙමාපියන් දෙදෙනාටම වගකීමක් දරන්න අයිතිය තියෙනවා. ලිංගික සහකාරිය අත ඇර යන එක ගැන මට හිතාගන්න පුළුවන්. ඒත් තමන්ගේ බීජයක් ගර්භාෂයේ දරාගන අනේක වද විඳලා ඒ බීජය ලෝකයට බිහි කරපු ගැහැනිය අත ඇර දැමීම ගැන මට හිතාගන්න බැහැ. දරුවන් ලොකු මහත් කරන්න කොයි තරම් කැප කිරීමක් අම්මා කෙනෙක් කරනවද? ඒත් මට මුණ ගැහෙන බොහෝ ගැහැනුන් අපමණ දුක් විඳින බව මම දන්නවා.
ඔබේ දියණිය දැන් ඉන්නේ කුණාටු සමයේ. ඇයට දැන් තාත්තාගේ උණුසුම අවශ්‍ය කාලය. ඇය මේ නිසා මානසික අවුලකට පත්වෙලා ඇති. ඇයට ඉතා කරුණාවෙන් හා දයාවෙන් මේ ගැන පැහැදිලි කරලා දෙන්න. ඇය ඉන්න මානසික තත්ත්වය ආදරයෙන් පහදලා දිය යුතුයි. ඔබේ පවුලේ අයගේ උදවු ගන්න පුළුවන්නේ. අනික ඔබේ සැමියාගේ පවුලේ අයත් උදවු කරනවනේ. ඒ නිසා ඒ සියල්ලම හොඳින් තක්සේරු කරන්න. ඇයට යහපත් මිතුරියන්ගේ ඇසුරක් සොයා දෙන්න. ඇය ළඟින්ම ඉන්න විනෝද වෙන්න අවස්ථාවක් හොයලා දෙන්න. කවදාවත් ප්‍රශ්න එක විදිහටම තියෙන්නෙ නැහැ. කාලයට ඉඩ දෙන්න.