අංක විද්‍යාවෙන් ජීවිත අනාවැකි | සිළුමිණ

අංක විද්‍යාවෙන් ජීවිත අනාවැකි

පසුගිය සතියේ 02, 11, 20, 29 දිනවල උපන් අය පිළිබඳව සාකච්ඡා කළ අතර අද දිනයේ ඕනෑම වසරක දී ඕනෑම මාසයක දී 03, 12, 21, 30 යන දිනවල උපන් අය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

අංක විද්‍යාවට අනුව මෙම සියලූ දිනයන් අංක 03 හි බලයට අයත්වන අතර අධිපතිත්වය දරනුයේ ගුරු ග්‍රහයා ය. මෙම දිනවල උපන් අය අධිෂ්ඨානශීලී බවින් යුක්තවන අතර ඔවුන් සතුව හොඳ උපායශීලී බවක් ඇත. අරමුණට ඉලක්කවන ස්වභාවයක් ද මෙම දිනවල උපන් අයගේ පෙනෙන්නට තිබේ. වැදගත්බව සහ මූලිකත්වය පළමුකොට තමාගේ අරමුණට ලබාදෙනු ඇත. විශ්ලේෂණශීලී තාර්කික ස්වභාවයක් පවතිනවා සේම විද්‍යාත්මක චින්තන තුළ සිටිනු ඇත. නිරන්තරයෙන් තමා නිවැරදි බව සිතන අතර අන් අයගේ මත ගැන වැඩි අවධානයක් යොමු නොකරනු ඇත. නමුත් ඔවුන්ගේ චින්තය තුළ විද්‍යාත්මක ගවේෂණශීලී හරවත් බවක් ඇත්නම් එවන් දේ සොයාගොස් ඉගෙනගනු ඇත. භක්තිය අඩුය. විද්‍යාත්මක ගවේශනාත්මක අධ්‍යයනයන් තුළින් පිළිගැනීම් වලට පෙළඹෙනු ඇත.

මෙම දිනවල උපන් අයට රැකියා උසස්වීම් පහසුවෙන් ලැබියහැක. දේශපාලන කටයුතුවලදී ද බොහෝ සමාජමය කටයුතු වලදී ද නායකත්වය ගෙන ක්‍රියා කිරීමේ හැකියාව ඔබ සතුව පවතී. මෙම දිනවල උපන් පිරිසක් සමාජමය යහපතට නායකත්වය ලබාදෙන අතර තවත් පිරිසක් ජීවත්වන පරිසරයේ ස්වභාවය අනුව සොර කණ්ඩායම් ආදී සමාජමය අයහපත් පැතිවලට නායකත්වය ලබාදෙනු ඇත. එනම් කුමක කටයුත්තක් සිදු කළද ඉතා දක්ෂ ලෙස සිදුකරමින් එහි ප්‍රධානත්වය ගනු ඇත.

මොවුන් සාධාරණත්වය අගය කරන අතර සාධාරණත්වය සපිරි සමාජ පරිසරයකට කැමැති ය. යුක්ති සහගත ය. විවිධ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමට අපූරු හැකියාවක් ඔබ සතුව ඇත.

03, 12, 21, 30, 33, 39, 48, 57, 66, 75 යන වයස් වැදගත් වයස් සීමාවන් බවට පත්වෙයි. ජීවිතයේ ඉතා වැදගත් සිදුවීම් මෙම වයස් සීමාවන් තුළ සිදුවනු ඇත. මෙම වයස් ගණනය කිරීම් වලදී අදාළ උපන්දින සිට මාස 06 ක් ඉදිරියට සහ මාස 06 ක් පසුපසට සලකා බැලිය යුතුය.

03, 12, 21, 30 උපන් ඔබට 03, 06, 09, 12, 15, 18, 21, 24, 27, 30 දිනවල උපන් අය මිතුරන් ලෙස ඉතා හොඳින් ගැලපේ. එම දිනවල උපන් අය විවාහ වීම තුළින් ඉතා හොඳ අන්තර් සබඳතාවක් සකස්වනු ඇත. නමුත් 09, 18, 27 දිනවල උපන් අය සමග යම් ගැටීමේ ස්වභාවයක් ද සූක්ෂම වශයෙන් ඇතිවන්ට ඉඩ තිබේ. එයට හේතුව වන්නේ මෙම දිනවල උපන් අය තමාගේ මතවල ප්‍රබල ලෙස සිටීමය. කිසිවෙකුට හිස නැමීමට මෙම 09, 18, 27 උපන් අය කැමති නොවේ. 03, 12, 21, 30 උපන් අයද අන් අය ඉදිරියේ ලෙහෙසියෙන් හිස නොනමනු ඇත. කෙසේවෙතත් විවාහය පිළිබඳ අවසාන තීරණය ගැනීමට පෙර චතුර්භූත ත්‍රිවංක ගැලපුම පරීක්ෂා කළයුතු වෙයි.

කුමන ගැලපීම් තිබුන ද 04, 08, 13, 17, 22, 26, 31 දිනවල උපන් අය සමග විවාහ වීම 03, 12, 21, 30 දිනවල උපන් අයට සුබදායක නොවනු ඇත. එයට හේතුව වන්නේ ත්‍රිත්වාකාර බල බෙදීම් සිද්ධාන්තයට අනුව මෙම අංක ශ්‍රේණි දෙක ප්‍රබල ලෙස සතුරු වීමයි.

නාමාක්‍ෂර ටැරොට් බල ගණනයේදී දෙදෙනාගේ නම්වල අංකයන් ඉතා සුබවීම තුළින් මෙම අසුබතාවය අවමවීමකට ලක්වනු ඇත. මෙම ක්‍රමය කබලා චක්‍රයට අනුව ගණනය කළයුතුය. මේ පිළිබඳව මෙහි කරුණු දැක්වීමට යොමු වුවහොත් ලිපිය ඉතා දීර්ඝ වන අතර ඒ පිළිබඳ පැවසීම ඉදිරියට කල් තබමි.

ඔබට සුබ වර්ණය දම් වර්ණය වන අතර ඇමතිස්ට් සුබදායක පාෂාණය වනු ඇත.

සෞඛ‍්‍ය තත්ත්වය පිළිබඳව සලකා බලන කල අධි රුධිර පීඩනය, තරබාරු වීම, බඩ ඉදිරියට නෙරා ඒම කණ්වල දුබලතා වැනි අසනීප ඇතිවන බවක් පෙනේ. මෙයට අමතරව අධික ආහාර රුචිය නිසා අධිකව ආහාර ගැනීමෙන්ද විෂම වූ ආහාර ගැනීමෙන්ද ඇතිවන අසනීපවල අවධානමක් පවතී.

Comments