රේල් පීල්ලක් දාලා අපේ ගමන නවත්වන්න පුළුවන්ද? | Page 2 | සිළුමිණ

රේල් පීල්ලක් දාලා අපේ ගමන නවත්වන්න පුළුවන්ද?

උතුරුමැද පළාතේ දුම්රිය මාර්ගය හරහා මාසයකුත් දවස් 2ක් ඇතුලත දෙවතාවක් රේල් පීලි හරස් කිරීමේ සිද්ධිය:

මහා හෙණ පිපිරීමට පෙර මොහොත කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවකි. මා එසේ කීවත් නිශ්ශබ්දතාව කන් බිහිරි කරවන්නේ කෙලෙසකදැයි සමහරෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මෙහිදී සිදු වී ඇත්තේ එය වඩාත් තීව්‍ර කොට කීමකි. මහා ඝෝෂාව කෙබඳු ද ඊට සාපේක්ෂවම ඒ හා සමාන මහා නිශ්ශබ්දතාවක් බව ඉන් ගම්‍යමාන ය.

එල් ටී ටී ඊ සංවිධානයේ උවදුරුවලින් අපි දැන් නිදහස ලබා ඇත්තෙමු. එහෙත් ඊයෙ පෙරේදා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතන තැත හරහා අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර එල් ටී ටී ඊ සෙබළුන් ලෙස සිට පුනරුත්ථාපනය වූ දෙදෙනකුත් සිටි බව ඇසීමෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇති කැර ගන්නට පුළුවන. නිශ්ශබ්දතාව පහවී මහා හෙණ පිපිරීමක් ළඟ ළඟම ඇතැයි ද සමහරු කල්පනා කරති. ඒ නිසා මාසයකුත් දවස් 2ක් ඇතුළත කාලයක් තුළ දුර ගමන් සේවා දුම්රියන් දෙකකට මහමඟදී රේල් පීලි දුම්රිය මාර්ගය හරහා දමා කරන්නට ගිය අපහසුතාව මේ බිය වැඩි කිරීමට තවත් හේතු විය. එහෙත් කරුණු ගවේෂණය කැර බලන විට එය හුඹස් බියක් බව පෙනිණ.

 

මේ සිද්ධීන් පසුපස එල් ටී ටී ඊ අවතාර නැත. මෙහි පිටුපස ඇත්තේ වෙනත් හේතුය. දුම්රිය සාමාන්‍යාධිකාරි ආරියරත්න මහතාගේ ආශිර්වාදයෙන් මම දුම්රිය ආරක්ෂක හමුදා ප්‍රධානී අනුර ප්‍රේමරත්න මහතාගෙන් තොරතුරු විමසමි. මේ එතුමාගේ හඬය.

“2016 දෙසැම්බර් 25 වැනිදා නත්තල් දවසෙ මුල් සිද්ධිය වුණේ. ශ්‍රාවස්තිපුර සිට අනුරාධපුර පැත්තට සැතපුම් 1/2 ක පමණ දුරින් අඩි 45ක් දිග රාත්තල් 1200ක් විතර බර රේල් පීල්ලක් දුම්රිය මාර්ගය හරහා දමා තිබුණා. මෙහි ඉලක්කය වී තිබුණෙ කොළඹ - වවුනියා අංක (4003) නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියයි. ඒත් වාසනාවකට එන්ජිම මේ පීල්ල තල්ලු කැරගෙන මීටර ගණනක් ගිහින් නතර වුණා. අපි අදාළ පරීක්ෂණ කරලා පොලීසියටත් කීවා පරීක්ෂණයක් පවත්වන්න කියලා. අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිවරයා මේ ගැන විශාල මහන්සියක් ගත්තා.”

මෙය කරන්නට ඇත්තේ කවුරුන්දැයි ඔබේ පරීක්ෂණවලදී තරමක් හෝ හෙළි වී නැද්දැයි මම අසමි.

සිද්ධිය වුණේ පාළු ස්ථානයක. ඒ පැත්තෙ තියෙන්නෙ සිංහල ගම්මාන. යම් කට්ටියක් මෙතැනට එනවානම් ඒ ගම්මාන මැදින් එන්න ඕනෑ. මේක නත්තල් දා කොල්ලො බීලා නටනකොට කරපු වැඩක් කියලා අප මුලින් හිතුවෙ. අනෙක මේ පීල්ලක් 3 - 4 දෙනෙකුටවත් උස්සගෙන එන්න බෑ. සාමාන්‍යයෙන් මිනිසුන් 10 - 12 ක් වත් අවශ්‍යයි මේක රැගෙන එන්න. මේක සිද්ධ වුණේ රාත්‍රී 8ට විතර.

මෙය පරපීඩක මානසිකත්වය නැත්නම් සමහරුන් පරපීඩක කාමුකත්වය කියා හඳුන්වන තත්ත්වයකි. මීට පෙර දුම්රියට ගල් ගැහීමේ කැත පුරුද්දක් රට පුරා පැතිර ගියේය. ඉන් තුවාල ලබා මියගිය මගීයෝ ද සිටිති. එහෙත් පසුව හෙළි වුණේ දුම්රිය පෙට්ටි දෙකක් සවි වන කොරිඩෝව හරහා ‘සුදු’ කෙළියට ගල් ගසන සෙල්ලමක් ද තිබෙන බවය. කෙසේ නමුත් මේ පරපීඩක මානසිකත්වය අතිශය බරපතළය. මේ රේල් පීල්ල මාර්ගය හරහා තැබීමෙන් දුම්රිය පෙරැළීමට නම් බැරිය. ඒත් ඒ මොහොතේදී පාළු ස්ථානයේ දුම්රිය මගීනගේ බඩු මුට්ටු කනකර කොල්ල කන්නට පුළුවන. මේ ස්ථාන පරීක්ෂා කළ පොලීසිය මේ ප්‍රදේශයේ ‘ඇම්බුස්’ දමා සිටියත් කඩාකප්පල්කාරීන් අල්ලන්නට බැරි විය.

ඊළඟ සිද්ධිය වන්නේ 2017 - 1 - 27 වැනිදා රාත්‍රී 12.30ට පමණය. අනුර ප්‍රේමරත්න මහතා ඒ ගැන මෙසේ කියයි.

තලාව සිට අනුරාධපුර පැත්තට සැතැපුම් 1/2 ක පමණ දුරින් ඊළඟ පීල්ල හරහා දමා තිබුණා. ඒක අඩි 12 1/2ක් දිගයි. රාත්තල් 320ක් විතර බරයි. මේක නම් මිනිසුන් 3 - 4 දෙනෙකුට ඔසවන්න පුළුවන්.

අපේ පරීක්ෂණ අනුව අපට හෙළි වුණේ කන්කසන්තුරේ සිට කොළඹ බලා එන අංක 90 රාත්‍රී තැපැල් දුම්රිය මෙහි ඉලක්කය වූ බවයි. ඒක දුර තියලා දැකලා රියැදුරා නවත්වා ගත්තා. ගමන අතරමඟදී ‘බ්ලොක්’ කිරීමයි අරමුණ වෙලා තිබුණෙ. මේ හරියත් පාළුයි. මේ කෝච්චිවල අප ආයුධ සහිත කණ්ඩායම් යවනවා. ඒ නිසා ජනතාවට අනිසි බියක් ගන්න හේතුවක් නෑ. මේ වාගේ පීල්ලක් යවලා කෝච්චි පෙරළන්නත් බෑ. අපි නොයෙක් ක්‍රම හරහා සිද්ධිය විපරම් කළා. පොලීසියත් උපරීම සහයෝගය දෙනවා.” ඔහු කීය.

මීට ආනුශාංසික තවත් පැතිකඩක් තිබේ. අප ඒවා ගැන ද සිතිය යුතුය. දුම්රිය ගමන ඇත්තටම මගීනට විනෝදයකි. එය විඩාගෙන දෙන්නක් නොවේ. මේ දුම්රියවලට විශේෂයෙන් කන්කසන්තුරේ රාත්‍රී දුම්රියට විශාල ඉල්ලුමක් ද තිබේ. මේ සඳහා මගීන් වැඩි වැඩියෙන් නැඹුරු වන විට පහර වදින්නේ පෞද්ගලික දුර ගමන් සේවා හා අධි සුඛෝපභෝගී බස්වලටය. මෙවැනි පරපීඩක වැඩ ඒ හරහා සිදුවිය හැකි කුමන්ත්‍රණයක කොටසක් ද?

දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් මේ රටේ සියලුම දුම්රිය මාර්ග සොයා බලා ගත නොහැකිය. මහජනතාව විශේෂයෙන් මේ ගැන අවදියෙන් සිටිය යුතුය. සිදුවීම් වූයේ පාළු ස්ථානයන්වල විශේෂයෙන් අලි බහින තැන්වල වුවත් ඒ අවට පදිංචි වැසියන් පවා විශේෂ අවදියකින් සිටිය යුතු මොහොතකි.

මෙය මංකොල්ල කරුවන්ගේ වැඩක් ද? සුරා සොඬුන් මත් මදයට කරන වැඩක් ද? නැත්නම් වෙනත් කුමන්ත්‍රණකාරී අරමුණකින් සිදු වූවක් ද? යන්න හෙළිදරව් කැර ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාව හා පොලීසිය මහත් වෙහෙසක් ගනී.

තමා අබිමුව හෝ තම ප්‍රදේශයේ රටේ යම් අකටයුත්තක් සිදුවෙද්දී ඇස් කන් පියා සිටීම තරම් බරපතළ තවත් අපරාධයක් නැතැයි හිතූ දවසට අපට මෙවැනි කඩප්පුලිකම් නවතා ගත හැකිය.

Comments