මවු­බි­මට රංග | සිළුමිණ

මවු­බි­මට රංග

 “උපරිම ඝන රසායනික ද්‍රව්‍ය සම්බන්ධව පර්යේෂණ පවත්වමින් මේ වන විට මා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂකයකු ලෙස කටයුතු කරමින් සිටිනවා. මගේ පර්යේෂණ ඉලක්ක වී තිබෙන්නේ උපරිම පීඩනයක් සහ උෂ්ණත්වයක් යටතේ ක්වෝන්ටම් සංසිද්ධියක් ගොඩ නැගීමයි.

මගේ පර්යේෂණ වෑයම මූලික කරුණු වටහා ගැනීම පමණක්ම නොවේ. අධික පීඩනය සහ උෂ්ණත්ව තත්ත්වයන් ප්‍රයෝජනයට ගනිමින් රසායනික ක්‍රියාවන් වටහා ගැනීමද ඒ අතර වනවා. අන්තර්ක්‍රියාවන් සහ සංස්ලේෂණ කිරීම්, අධිබල ඝනත්වය සහ අධිබල ලෝහ ද ඒ අතරට අයත්.

මගේ ප්‍රධාන අරමුණු වන්නේ ඝන හයිඩ්‍රජන් සොයා ගැනීමයි. ඒ මගින් ඝන ද්‍රව්‍ය රසායන විද්‍යාවේ පෙරළියක් ඇති කිරීමයි. එමෙන්ම නවතම වර්ගයක සුපිරි සන්නායකයක් සොයා ගැනීමයි. “

මේ ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රංග ඩයස් හාවර්ඩ් විශ්වවිද්‍යාල වෙබ් අඩවියට තැබූ සටහනකි. පසුගියදා ඝන හයිඩ්‍රජන් සොයා ගනිමින් රසායන විද්‍යාවේ පෙරළියකට මෙන්ම විශ්විය තාක්ෂණ පෙරළියකටද මුල පිරූ විද්‍යාඥයන් දෙදෙනා අතරින් එක් අයකු වන්නේද ආචාර්ය රංග ඩයස්ය. ඒ අනුව ඔහු තමාගේ ප්‍රධාන අරමුණ මේ වන විට ජයගෙන අවසන්ය.

ඒ ඔස්සේ ඔහු දේශයේ නාමයද ඉහළට ඔසවා තැබුවේය. එහෙත් වඩා අභිමානනීය වන්නේ මෙවැනි විශිෂ්ටයන් විදේශයන් කරා නොගොස් මවුබිමේදීම මෙවැනි විස්කම් පෑමය. ආචාර්ය රංග ඩයස් නාමය ඉදිරියෙන් හාවර්ඩ් නොව කොළඹ යනුවෙන් සටහන් වනු දැකීමය.

සේවය ලොවටය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් කෙදිනක හෝ මෙවැනි අභිමානනීය ශ්‍රී ලාංකික පුතුන් මවුබිමේදීම මෙවැනි සොයා ගැනීම් කරන, එසේ කිරීමට තරම් පහසුකම් ලක් පොළොව මත පවතින අනාගතයක් වෙනුවෙන් අපි කැප වන්නෙමු. එවන් අනාගතයක් බිහිවනු තුරු රටේ විද්‍යාව හා තාක්ෂණය ක්ෂේත්‍රය වර්ධනය කිරීම වෙනුවෙන් ජනමාධ්‍යයකට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නෙමු. එවන් අනාගතයක ආචාර්ය රංග ඩයස්ලා සිය ගණනින් ශ්‍රී ලංකා පොළොව මත බිහිව, ලෝකයම වෙනස් කරනු දැකීම අපගේ අභිප්‍රායයි.

එතෙක් ආචාර්ය රංග ඩයස්ට සිළුමිණ 3D ප්‍රණාමය මෙසේ පුද කරමු.

- සංස්කාරිකා

Comments