ඔයාට ගෙදර ඉන්නයි තිබුණේ බයගුල්ලි | Page 2 | සිළුමිණ

ඔයාට ගෙදර ඉන්නයි තිබුණේ බයගුල්ලි

 "අර බලන්න. කොයිතරම් අමුතු ගස්ද?" වීනා විස්මය පළ කළාය.

සමහර ගස් වැඩෙමින් පවතින අතර අනෙක්වා කුඩා කැබලිවලට කැඩෙමින් විවිධ දිසාවලට විහිදී ගොස් කුඩා ගස්වලට උපත ලබා දුන්නේය.

"අර බලන්න" ළමයි කෑගැසූහ. ඇත්තටම මෙය ඔවුන් දැන සිටි හෝ කිසිදිනක දුටු දර්ශනයක් නොවේ. වැඩෙන කැලෑව සහ කෑලිවලට කැඩෙන ගස් ළමයින් සිටගෙන සිටින ස්ථානයේ තිබූ ගැඹුරු අගල දක්වාම ළඟා විය.

"තාත්තේ මට කැලෑව ඇතුළට යන්න ඕනේ" වීනා පැවසුවාය.

"මටත් යන්න ඕනේ"සන්ඩ්‍රෝද ඊට එක් විය.

"නැහැ මම බයයි" ඕසා පාපෝච්චාරණය කළාය.

"අපි එහාට යන්න අවශ්‍ය නැහැ" පියා පැවසුවේය. "අපි ඇත්තටම මේ ගැන දන්නේ නැහැ. අනික ඒකේ ඇතුළේ ගොඩක් රස්නේ වෙන්න පුළුවන්" වේගයෙන් පාවෙන දෙයින් කොටසක් අල්ලාගත් පියා පැවසුවේය. "ඒක හරිම උණුසුම්. අනික එතන ඒ වගේ ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා.. ඒක අපට දරාගන්න බැරි තරම් උණුසුමක් වෙන්න පුළුවන්"

"ඒත් අපි අභ්‍යවකාශ ඇඳුම් ඇඳගෙනනේ ඉන්නේ"

"මේ අභ්‍යවකාශ ඇඳුම් ඝනකමින් අඩුයි. මේ අමුතු ගස්වල කෑලිවල උෂ්ණත්වය දැනටමත් දැනෙනවනේ. එහෙම නේද?"

"මේ දිගටි බීජ කොහේ ඉඳලද එන්නේ" වීනා ඇසුවාය.

"අර පැත්තෙන්" සන්ඩ්‍රෝ අත දිගු කර පෙන්වූවේය.

"ඇහුවේ නැතුවත් මට ඒ බව පේනවා. මම කියන්නේ ඒවා මෝරන්නේ කොහේදීද? මේවා හැදෙන්නේ ගස්වලද? එහෙම නැත්නම්......"

"ඔව් අපි ගිහින් බලමු" පියා පැවසුවේය. එම ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමේ දැඩි ආශාවක් ඔහු තුළ ඇති විය. "ජෙට් ක්‍රියාත්මක කරවන්න. අපි ඉහළට ගිහින් බටහිර පැත්තට යමු."

ඔවුහු ඉහළට නැගුණහ. ඉහළ සිට බලනවිට පෙනෙන දර්ශනය අත්‍යලංකාර විය. අමුතු කැලෑව පසුකරමින් ඔවුහු තවත් ඉදිරියට ගියහ.

"ඔය ළමයි දන්නවද ඔවුන්ගේ සෙලවීමේ ක්‍රමයක් තියෙනවා" පියා පැවසුවේය. "ඔවුන් අහම්බෙන් පියාසර කරන්නේ නැහැ. ඔබ මොන නමකින් ඇමතුවත්. බාගවිට වර්ෂා කාලයට ඒවා ජලයෙන් පිරිලා උත්පාදනයට සුදුසු පරිසරයත් සකස් වෙනවා ඇති."

බටහිර දෙසට කිලෝමීටර් දහයක් පමණ ගමන් කළ පසු ඔවුන් ඉදිරියේ දක්නට ලැබුණේ පේළියට සිටුවා ඇති ගස් කඳන් පේළියකි.

"උන් පියාසර කරන්නේ මෙතන ඉඳල කියලා මම ඔට්ටුවක් අල්ලන්න සූදානම්" සන්ඩ්‍රෝ කීවේය.

"ඒකට ඔට්ටු අල්ලන්නේ මොකටද?" වීනා අවඥාවෙන් ඔහු දෙස බැලුවාය. "ඒක ඕනෑ කෙනෙකුට දවල් වගේ පේනවනේ."

"මම ඒවට කැමති නැහැ" ඕසා කීවාය.

"ඔයාට ගෙදර ඉන්නයි තිබුණේ බයගුල්ලි" සන්ඩ්‍රෝ කඩා පැන්නේය.

"ඔහොම කතා කරන්න හොඳ නෑ සන්ඩ්‍රෝ" පියා ඔහුව නිහඬ කළේය.

ගස්වල කඳවල් මෘදු වූ අතර, අතු හෝ ගැටිති දක්නට නොවීය. එම ගස් අංශක 30ක් පමණ කෝණයකින් පහතට නැමී තිබුණු අතර මියගොස් ඇති බව පෙනිණ. ඒවා නොපැද්දුණ අතර තරමක් බිමට නැඹුරුව ඇත. ඒ මොහොතේ බීජ ගස්වලින් වෙන් විය.

"මේවායේ බලන් ඉන්න තරම් දෙයක් නැහැ" සන්ඩ්‍රෝ කීවේය. "අනික් කැලෑව නම් වඩා සිත්ගන්නා සුලුයි"

"බලන්න ඒ බීජ මේ පැත්තටත් එනවා" ඕසා මවිතය පළකළාය.

"අපි යනඑන අතරේ අර තරුණ ගස් තනිවම බීජ නිපදවන්න ඉගෙන ගන්න ඇති. අපි ආපහු ගිහින් බලමු" සන්ඩ්‍රෝ ආයාචනා කළේය.

"අපි යමු" වීනා එක්වරම ඔහුට එක්වූවාය.

"නැහැ මට ආපහු අභ්‍යවකාශ යානයට යන්න ඕනෑ" ඕසා කීවාය‍.

"අපි ආපහු යමු" පියා ආය සමග එකඟ වූයේය. අපි අපේ කැලෑව දිහා බලමු. මොනවද වෙන්නේ කියලා. ඉන්පස්සේ ආපහු අභ්‍යවකාශ යානාවට යමු. කොහොමවුණත් දවල් කෑමට දැන් වෙලාව හරි"

ඔවුනට තරමක් වෙහෙස දැනුණ බැවින් ඔවුහු කැමැත්තෙන්ම ඊට එකඟ වූහ.

අමුතු ගස් ඇති කැලෑව වෙත ළංවී ගස් මුදුන්වලට වඩා මීටර් දුසිම් ගණනක් උසට වන්නට පහතට බැස්සාහ. පෙර පරිදිම ගස් සජීවීව පවතින බව පෙනිණ. එහෙත් සෑම දෙයක්ම සෙලවීමක් නැති ජීවමාන ගතියකින් තොරව පැවතිණ. දිග පටු අගල දෙස බැලූ ඔවුන්ට කොන් පහකින් යුත් යමක් දක්නට ලැබිණ. එයින් එක් කොනක් අනික් හතරට වඩ කොට විය. කැඩී යන ගසක කොටසක්, තරුවක් වැනි මේ උපකරණයේ තැන්පත් වූ විට මේ අමුතු ගස් එහි වැඩීම ආරම්භ කළේය. මේ ගස්වලට විශිෂ්ට ජීවන ශක්තික් තිබීම පොදු ලක්ෂණයක් විය. මේවා එක සමාන වේගයකින්මැටි, පස්, ගල් සහ මේ අක්‍රමවත් තරු වැනි ඒවායේ වර්ධනය විය. ජංගම කැලෑව දැනටමත් පියා සහ ළමයින් මිනිත්තු කිහිපයකට පෙර සිටගෙන සිටි තැනට ළඟා වූ අතර තරවදුරටත් ගමන් කරන්නට විය.

“අභ්‍යවකාශ යානයට යමු“ පියා නියෝග කළේය. “අපි දවල් කෑම කාලා කෙටි විවේකයක් ගනිමු. ඊට පස්සේ අපේ විනෝද චාරිකාව දිගටම කරමු“

ඔවුන් අභ්‍යවකාශ යානය බලා යන ගමනේදී පහතින් දුටුවේ එකිනෙකට සමාන්තරව තවත් පේළි ‍දෙකක් ඇති බවයි. ඒවා හරියටම ඇල පාරවල් වැනිය.

ඔවුන් අභ්‍යවකාශ යානයට ළඟා වූ විගසම පාලක මැදිරියට ගිය පියා ග්‍රහලෝකයේ මතුපිට සිට හරි කෙලින් කිලෝමීටර් පහකට නොඅඩු උසකට යානය ගෙන ගියේය.

කෑම කාමරයේ ආහාර සූදානම්ව ඇත. තමන් මීට පෙර දුටු දෙයින් විමතියට පත්ව සිටි ළමයි උනන්දුවෙන් අදහස් හුවමාරු කර ගත්හ.

“මම හිතනවා කොන් පහකින් යුත් තරු වගේ තිබුණ ඒවා හරියට මිනිසුන් වගෙයි කියලා“

“මොකක්?...“ පියාගේ හඬ බිය ගන්වන සුලු විය. “මොකක්ද ඔයා කිව්වේ?“

“ඒව හරියට මිනිස්සු වගෙයි පෙනුණේ

“ඔව් ඔව් එහෙම තමයි“ සන්ඩ්‍රෝ සහ ඕසා ද එකඟ වූහ.

“ඒක අමුතුයි“ පියා කල්පනාකාරී ලෙස පැවසුවේය. “හොඳයි කමක් නැහැ සැන් ගිහින් කෙටි විවේකයක් ගන්න. ඒ අතරේ මම සිතියම් කාමරයට යනවා වැඩක් කරන්න

“හුඟක් වෙලා යන්නේ නෑ නේද තාත්තේ වීනා විමසුවාය.

“නැහැ. ඇත්තටම නැහැ. සමහරවිට මම යානය ටිකක් පහළට ගන්නවා. ඒත් ඔය ළමයි ඒ ගැන කරදර වෙන්න එපා“

ඒ මොහොතේම ඔහුට තම හිසින් ගෙරවීම් ශබ්දය නැවත වරක් ඇසිණ.

වික්ටර් කොලුපායෙව් නමැති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් රචිත අමුතු ගස් විද්‍යා ප්‍රබන්ධයේ සිංහල අනුවාදය - 3 කොටස

1936 වසරේ උපත ලද වික්ටර් කොලුපායෙව් ටොම්ස්ක් බහු තාක්ෂණික ආයතනයේ උපාධිය ලැබුවේය. 1965දී ඔහු සිය ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළ අතර 1969 ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ කළේය. 1972 සිට ඔහු දිගටම විද්‍යා ප්‍රබන්ධ පළ කළේය. ඔහුගේ බොහෝ විද්‍යා ප්‍රබන්ධ විදේශ භාෂාවලට පරිවර්තනය කොට ඇත. ඔහු රුසියාවේ ටොම්ස්ක් නගරයේ වාසය කරයි.

Comments