
අප රටට ආවේණික සත්ත්ව හා ශාක ප්‍රජාවගෙන් සමන්විත විල්පත්තු වනෝද්‍යානය සොබා දහම් දිනිතිය ගේ අනගිතම දායාදයකි. පුත්තලම, අනුරාධපුරය හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුනට මායිම්ව පිහිටි විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙක්ටයාර 131,000 ක වපසරියකින් යුක්තය.
පසුගිය සති කිහිපය පුරා මාධ්‍ය හරහා හෙළි වූයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු දෙසින් මහා වන විනාශයක් සිදුවන බවකි. විශේෂයෙන් ම අන්තර් ජාලයෙන් හා මුහුණු පොතේ මේ ගැන දැඩි අවධානයක් යොමු වී තිබුණි. එම පුවත්වලින් කියවුණේ විල්පත්තු රක්ෂිතය තුළ ජනාවාස ඉදිකරන බවකි. නව ගම්මාන පිහිටුවීම හේතුවෙන් විල්පත්තුවේ වන විනාශයක් සිදුවී ඇති බවකි. මේ පිළිබඳ තොරතුරු සොයා බැලීමට පසුගියදා විල්පත්තුවට උතුරු කෙළවරින් පිහිටි ප්‍රදේශයේ අපි සංචාරයක නිරත වීමු.
එහිදී විශේෂයෙන් මරිච්චිකට්ටුව, කොන්ඩච්චිය ආදී ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව හමුවිය. මෙම ප්‍රදේශවල විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් නව ජනාවාස ඇති කරන බවට ගෙන යන ප්‍රචාරයේ සත්‍යතාවක් නොමැති බව එහිදී අපට පැහැදිලි විය. මන්නාරමේ සිට සිලාවතුර හරහා විල්පත්තුව මැදින් දිවයන මාර්ගයේ ඉදිරියට ගමන් කළ අපි විල්පත්තුව උතුරු මායිමේ පිහිටි වනජීවී කාර්යාලයේදී එම නිලධාරීන් සමඟ ද කතාබහක නිරත වීමු. එහිදී රාජකාරි හේතුන් මත නම් ගම් හෙළි කිරීමට අකමැති වූ නිලධාරියෙක් අප සමඟ පැවසුවේ අලුතින් නිවාස තනන ප්‍රදේශය විල්පත්තුවට අයිති නැති ප්‍රදේශයක් බවයි. විල්පත්තුව බටහිර වෙරළ තීරයේ පමණක් කලක පටන් සාම්ප්‍රදායික ධීවර වාඩි ඇති බවද එහිදී අනාවරණය විය.
1973 වර්ෂයේදී විල්පත්තුව පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී උතුරු දෙසින් මෝදරගම් ආරු මායිම දක්වාත් නැගෙනහිරින් මහා විලච්චිය දක්වාත් ඉඩම් පවරාගෙන ඇත. එහෙත් විල්පත්තුවට උතුර දෙසින් පිහිටි මරිච්චිකට්ටුව හා තදාසන්න පාරම්පරික ගම්මාන මෙම පවරා ගැනීමට ද අයත් වී නැත. එවකට ද මරිච්චිකට්ටුව, මොල්ලිකුලට, කරඩිකුලි, කල්ලාරු, පාලකුලි, තොණ්ඩච්චි හා කොක්කු පඩායන් යන ප්‍රදේශවල ජනාවාස තිබී ඇත.
1991 දී එල්.ටී.ටී.ඊ. තර්ජන හේතුවෙන් විල්පත්තු උතුරු මායිමේ පිහිටි මෙම ගම්මානවල පවුල් 800ක් පමණ පැය 24ක් තුළ තම ගම්බිම් හැරදා ගොස් ඇත. එහිදී තම ජීවනෝපය වූ කුඹුරු වගාව හා ගෘහාශ්‍රිතව කෙරුණු සත්ත්ව පාලනය ද අතහැරීමට ඔවුන්ට සිදුවිය. එහිදී ප්‍රදේශයේ ජීවත් වූ බහුතර මුස්ලිම් ජනතාව පුත්තලම, කල්පිටිය ආදී ප්‍රදේශ වලට පැමිණියහ. සිංහල ජනතාව නොච්චියාගම, විලච්චිය ආදී ගම්මානවලට පැමිණියහ. පුරා වසර විස්සකට වැඩි කාලයක් මෙම ජනතාව දැඩි අසීරුතා මැද දිවි ගෙවූ බව මෙහිදී අපට හෙළිවිය. යුද්ධය නිමා වීමෙන් පසු නැවත තම ගම්බිම් සොයා පැමිණි ඔවුන්ට දැක ගත හැකිවුණේ තම ගම්මාන හා තමන් සතු වූ නිවාස රූස්ස කැලයකින් වැසී ගරාවැටී ඇති ආකාරයයි. මෙහිදී මොල්ලිකුලම ගම්මානයේ කොටසක නාවික හමුදා කඳවුරක් ඉදිකර තිබූ අතර ගමේ වැවද නාවික හමුදාව විසින් අත්පත් කරගෙන තිබුණි. එවක බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු යුද්ධයෙන් අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ කමිටුව මඟින් මෙම ප්‍රදේශයේ පවුල් 1219ක් පමණ නැවත පදිංචි කර ඇත. යුද්ධය පැවැති සමයේ සිලාවතුර සිට විල්පත්තුව දක්වා දිවෙන මාර්ගයේ දෙපසට මීටර් 250ක් පමණ කැලය ආරක්ෂක හමුදාව විසින් හෙළි පෙහෙලි කර ඇත. මෙම ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමේදී ප්‍රධාන මාර්ගයෙන් දෙපස මීටර් 250ක් පමණ බිම් තීරයේදී ජනතාව පදිංචි කර ඇත. විශේෂයෙන් මොල්ලිකුලම් ගම්මානයේ සිටි පිරිස් එලෙස පදිංචි කළ බවද එහිදී අපට දැනගන්නට ලැබුණි.
යුද්ධය නිමා වීමෙන් පසු විලච්චි කුලම්, කල්ලාරු හා මරිච්චිකට්ටු යන ප්‍රදේශ රක්ෂිත ලෙස නම් කිරීමක් ද සිදුව ඇත. මෙම රක්ෂිත ප්‍රදේශවල සීමා මායිම් සලකුණු කිරීම G.P.R.S තාක්ෂණය මඟින් කොළඹ සිට සිදුකර සිතියම් ගත කර ඇති බවත් එහිදී මෙම පාරම්පරික ගම්මාන ද එයට ඇතුළත්ව ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගෙන ඇත. මෙම කරුණු ද මෙම වන සංහාරයක් සිදුකර නිවාස ඉදිකරනවා යන ප්‍රවෘත්තිය හේතු සාධක වී ඇත.
අප රටේ අතීතයේත් සේම මේ මොහොතේත් කොහේ හෝ වන විනාශ්‍යක් සිදු නොවෙතැයි අපට කිව නොහැක. එහිදී එම විනාශය සිදුකරන අයගේ ජාතිය, ආගම හෝ තරාතිරම වැදගත් නැත. සිදුවිය යුත්තේ නීතිය ක්‍රියාත්මක වීමයි. එම විනාශයන් පිළිබඳ සත්‍ය කරුණු මත පදනම්ව තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය සතු කාර්යයකි. විල්පත්තුවට උතුරු දෙසින් මේ ප්‍රදේශවල යුද්ධයට පෙර ජනාවාස තිබූ බවට අපේ නෙත ගැටුණු නිහඬ සාක්ෂි රාශියකි. ඒ අතර අතීතයේ පැවැති ඉස්ලාම් දේවස්ථානයේ ගොඩනැඟිලි මැදින් රූස්ස ගස් ඉහළ නැඟ ඇත. එමෙන්ම එවකට පැවැති ගම් උදා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතියක නටඹුන් ද අපට දැකගන්නට ලැබුණි. කොණ්ඩච්චි මුස්ලිම් ගම්මානයේදී අපට හමුවූ මොහොමඩ් අලි මහතා අප සමඟ පැවසුවේ තමන්ගේ පිය පාර්ශ්වයේ පරම්පරා තුනකට වඩා මෙම ප්‍රදේශයේ ජීවත් වූ බවයි. එමෙන් ම වී වගාව සාර්ථකව කළ බවත් එම ඉඩම් සඳහා ඔවුන්ට ඔප්පු ලබාදී ඇත්තේ ඉංග්‍රිසි ආණ්ඩුවෙන් බවත් ඔහු වැඩිදුරටත් අප සමඟ පැවැසුෙව්ය.
සිහල විජය ගමේදී හමුවූ ජයසේකර විතානගේ චිත්‍රා මහත්මිය අප සමඟ පැවසුවේ තම මවගේ පාර්ශ්වයේ නිජ බිම මේ කොණ්ඩච්චි ගම්මානය බවයි. ධීවර කර්මාන්තය හා කුඹුරු වගාව ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ බවත් කොටි සංවිධානයේ තර්ජන හේතුවනේ 1991 ජුනි මාසයේදී අතට හසුවන දේ පමණක් රැගෙන මෙම ප්‍රදේශයෙන් පලා ගිය බවත් ඇය වැඩිදුරටත් පැවැසීය.
මේ කරුණු අනුව මෙම ප්‍රදේශවල යුද්ධයට පෙර මිනිසුන් ජීවත් නොවූ බව කිසිවෙකුටත් කිව නොහැකිය. එසේම යුද්ධයෙන් තම ගම්බිම් අහිමි වූ මේ ජනතාවගේ උරුමයක් වූ ඔවුන්ගේ උපන් ගම්බිම් අහිමි කිරීම කිසි විටකත් අනුමත කළ නොහැකිය. ඔවුන්ගේ ගම්බිම් රක්ෂිතයකට පවරා ගැනීමක් කරනු ලබන්නේ නම් එම ඉඩම් හිමිකරුවන්ට ඒ බ දැනුම් දී ඔවුන්ට සාධාරණයක් ඉටුකළ යුතුය. රටේ වෙනත් ප්‍රදේශවල ඉඩම් රජයට පවරා ගැනීමේදී ඉටුකරනු ලබන සිවිල් ක්‍රියා පටිපාටිය මෙහිදී ද අනුගමනය කළ යුතුය. යුද්ධයෙන් අවතැන් වී සිටියද, කුමන ජාතියකට අයත් වුවද කුමන ආගමක් විශ්වාස කළ ද ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බව අප කිසිවිටකත් අමතක නොකළ යුතුය.
ඡායාරූපය - චින්තන විජේසිංහ