නරඹන්න RINGS දින හතකින් මිය යන්න | Page 2 | සිළුමිණ

නරඹන්න RINGS දින හතකින් මිය යන්න

‘ද රිංග්’ නමැති චිත්‍රපටය පළමුව තිරගත වූයේ 2002 වසරේදීය. මහත් ජනප්‍රියත්වයක් ලැබූ අද්භූත ගනයේ සිනමාපටයක් වූ එහි දෙවැන්න 2005 වසරේදී තිරගත වූයේ ‘ද රිංග් ටූ’ යන නමිනි. වසර දොළහකට පසු එම චිත්‍රපට පෙළේ තෙවැන්න ‘රිංග්ස්’ යන නමින් දැන් හොලිවුඩ් ප්‍රේක්ෂකයන් වෙත පැමිණ තිබේ.

අමෙරිකාවේ සියැට්ල් බලා පියාසර කරන ගුවන් යානයකි. මඟීන් දෙදෙනකු වටහා ගන්නේ තවත් මඟියකු සමාරා මෝගන්ගේ ශාපය සහිත වීඩියෝ පටය නරඹා ඇති බවය. එම වීඩියෝ පටය නැරැඹු අය දින සතක් ඇතුළත මරණයට පත්වීම නියත යැයි විශ්වාස කෙරෙයි. මඟීන් දෙදෙන වීඩියෝ පටය නරඹා ගතවන සත්වැනි දිනය එය වන අතර තවෙකකු එය නරඹා ඇති හෙයින් තමන් දෙදෙනාට එල්ල වී තිබූ ශාපය අවසන් යැයි ඔවුහු සිතති. එහෙත් යානය අතරමඟදී අනතුරට පත්වන්නේ එම තිදෙනාටම මරු කැඳවමිනි.

දෙවසරකට පසු මහාචාර්ය ගේබ්‍රියල් එම මියගිය මඟියකු සතුව තිබූ වීඩියෝ පටයක් මිලට ගනියි. එම මහාචාර්යවරයා උගන්වන සරසවියේ සිසුවකු වූ හෝල්ට්ගේ පෙම්වතිය ජුලියාය. ඇය මෙන්ම තවත් සෙල්ලක්කාර යුවතියක වූ ස්කයි ද ඉගෙන ගන්නේ එම සරසවියේමය. මහාචාර්යවරයා තමන් මිලට ගත් වීඩියෝ පටය සිසුන්ට නරඹන්නට සලසන්නේ එහි අන්තර්ගත යැයි සැලකෙන සමාරාගේ ශාපය සත්‍යයක්දැයි පිරික්සනු පිණිසය.

හෝල්ට් තම පෙම්වතිය ජූලියාට අනතුරු අඟවන්නේ එම වීඩියෝ පටය නරඹන්නට එපා කියාය. එය නැරැඹූ ස්කයි මරුමුවට පත්වන අතර තම පෙම්වතා එය දකිනු වළකන්නට වීඩියෝ පටය නරඹන්නට ජූලියාට සිදු වෙයි. ජූලියාගේ ඉරණම කුමක් වනු ඇත් ද? සත් දිනක් ඇතුළත ඇයට ද මරණය වෙත ගමන් කිරීමට සිදු වේවි ද?

ඊට පෙර ඇය සහ හෝල්ට් යොමු වන්නේ සමාරාගේ ශාපයේ සුලමුල සොයන්නටය. දින සතක් ඇතුළත එය සෙවීමේ අභියෝගයට ඔවුහු මුහුණ දෙති. පිටිසරබද නගරයකට යන ඔවුහු එහි සුසාන භූමියට ගොස් සමාරාගේ මළසිරුර වළ දැමු තැන සාරා බලති. එය හිස්ය.

සමාරාගේ මව එව්ලින්ගේ අවතාරය ද ඔවුනට බලපෑම් එල්ල කරයි. එව්ලින් මාස නවයක් තිස්සේ පළාතේ දේවස්ථානයේ ඝණ්ඨා කුලුන යට වූ රහස් කුටියකදී දූෂණයට ලක්ව ඇති බව ඔවුහු වටහා ගනිති. එහි අදහස සමාරාගේ පියා දේවස්ථානයේ සිටි පූජකවරයා යන්නයි. එම පූජකයා කොහි ද? සමාරාගේ ශාපය වළකන්නට අවශ්‍ය වන සමාරාගේ ඇටසැකිල්ල සොයා ගන්නේ කොතැනකින් ද? දින සතක් ඇතුළත සියලු රහස් අනාවරණය කරගන්නට හෝල්ට් - ජූලියා යුවළට හැකි වේවි ද?

ඩේවිඩ් ලෞකා, ජේකබ් ආරොන් එස්ටෙස්, හා අකිවා ගෝල්ඩ්ස්මන් එක්ව ලියූ තිර රචනයට අනුව ‘රිංග්ස්’ සිනමා පටය නිර්මාණය කර ඇත්තේ එෆ්. ජාවියර් ගුටිරෙස්ය. මැටිල්ඩා ලුට්ස්, ඇලේක්ස් රෝ, ජොනී ගැලෙකි, අයිමී ටීගාඩ්න්, බොනී මෝගන් සහ වින්සන්ට් ඩි’ඔනොෆ්‍රියෝ ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙම චිත්‍රපටය පසුගිය පෙබරවාරි 3 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.

අමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි රූගත වී ඇති ‘රිංග්ස්’ විචාරකයන්ගේ ප්‍රශංසාවට නම් ලක්වී නැත. එහෙත් අද්භූත ඝනයේ චිත්‍රපටයේ නැරැඹීමට කැමැති ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය එයට ලැබී ඇති බව එම සති අන්තයේ ආදායම් වාර්තාවලින් පැහැදිලි විය.

Comments