
සිංහල පුවත්පතේ උප කර්තෘවරුන්ගේ මේස පුටුවලට ඉදිරිපසින් තිබුණේ ඉංග්‍රීසි පුවත්පතේ උප කර්තෘවරුන්ගේ මේස පුටුය. දෙපිරිස ගජමිතුරෝ වූහ. වරෙක රස ගුලාවකි. වරෙක කෙස් පැෙළන තර්ක විතර්කවලින් පිරුණු දේශපාලන, සාහිත්‍යය සංවාදයකි.
ජනවාරි 1 දාට එළිවුණේ ඉංග්‍රීසි පුවත්පතේ සහෘදයකුගේ නිවෙසේ දී පැවැත්වූ මධුපැන් සාදයකිනි.
වසරක් පාසා එයට ඇරියුම් ලැබූ අය අතර ඔහුටත් කන්ඩ බොන්න ඇරියුම් ලැබිණි. ඉංග්‍රීසි පුවත්පතේ මිතුරා වේලාසනින් ම සූර් වී නින්දට යන අතර සෙසු මිතුරන්ට මුළු නිෙවස ම අයිති වෙන්නේත් මිතුරාගේ නැඟණියත් එක්ක හිතේ හැටියට නටන්න ලැබෙන්නෙත් එවිටය. ‘ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා’ ‘මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න’ වැනි ගීත රැව්පිළිරැව් දෙද්දී එළිවන තුරු මී විත උතුරා ගිහින් පසුදින එළිවෙද්දී ඔහු නිදා සිටියේ කොස් ගහ යට බව දැනුණත් වගේ වගක් නැතිව සිටියේ රසවත් සැඳෑවක මතකය ඉතිරි කරමිනි.
එක් ඉරිදාවක ඔහු පිටු 8ක වාර්තාවක් පත අට එකට සිඳවා ශීර්ෂ පාඨයක් දාගන්න තතනද්දී සගයකු ඔලොක්කුව කීවේ ‘මෙයා පෑන අල්ලන්නේ ධනපාල මහත්තයා වගේ කියලා හිතාගෙන... ඒත් මෙයා දාන්නේ පාර අබලන්, පාරේ වළවල් බුදුසසුන බැබළේවා; දරුවන්ට ඉගැන්වීම ගුරුවරුන්ගේ යුතුකමයි වගේ ඒවා කියලයි.
තමන්ගේ ම වචනවලින් ‘ක්‍රියේටිව්’ හෙඩිමක් දානවකෝ...’ කියලයි. වැඩකාරයන්ට ගරු කරමින් බොරුකාරයන්ට අභියෝග කළ ඔහු වැඩකාරයන්ගේ වැඩකිඩ පැත්තකට වී බලාගෙන හිඳ වැඩ පෙන්නුවේය.
කර්තෘ මණ්ඩලයේ ප්‍රවෘත්ති අංශයේ අවුරුද්දක් පමණ ප්‍රවෘත්ති ලියන්නටත් පුහුණු වූ නිසා පුවතක වැල්වටාරම් ඉවත් කරමින් වියරණ දොස් අකා මකා සමහර පුවත් නැවත ලියමින් ඇසිල්ලකින් ශීර්ෂ දැමීමට හුරුපුරුදු වීමට සෑහෙන කලක් ගත වුණත් ඔහු වැඩේ අත හැරියේ නැත්තේ පත්‍ර කලාවේ දැවැන්තයන්ගේත් ප්‍රාණ සමාන මිතුරු මිතුරියන්ගේත් ඇසුර ලැබූ නිසාත් ‘මං පොර’ න්‍යාය අනුගමනය නොකළ නිසාත්ය.
රෑ වැඩ කරද්දි මුල් පිටුවෙන් ඇතුළට ගත යුතු පුවත් ප්‍රධාන කර්තෘ විසින් සලකුණු කරනු ලැබ දුන් පසු ඒවා එකක් නෑර ඇතුළු පිටුවලට ගෙන ඇත්දැයි පසුදින බලන බව දැන දැනත් සමහර ඒවා මඟ හැරෙන වේලාවල් ද නැත්තේ ම නැත. එසේ වුවත් දැන් කාලයේ වගේ ලියුම් ගැහිලි, පඩි කැපිලි කේලම් ඇහිලි, ශ්‍රේණි මාරු කිරිලි, පත්තරෙන් පත්තරේට මාරු කෙරිලි නැති වුණත් එළිපිට බෙලි කැපිලි නම් අඩුවක් නැතිව තිබිණි.
තමන් අතින් සිදුවූ අඩුපාඩු මඟ හරවා ගෙන ආකර්ෂණීය සිරස්තලවලින් පිරුණු හොඳ පිටුවක් සකස් කිරීමට ඇවැසි නිදහස නම් එකල ඕනෑවටත් වඩා තිබිණි.