
ප්‍රදීප්ට උපරිම වන්දියක් දෙනවා!
- සාමාන්‍යාධිකාරී
ජීවිතයට කරදර දුක් තැවුල් පැමිණෙන්නේ කලින් දන්වා නොවේ. හෙට ගැන දහසක් පැතුම් පිරූව ද ඒ පැතුම් කීයෙන් කීයක් සඵල වේදැයි කීමට නොහැක්කේ ද ඒ නිසාමය. මේ කියන්නට යන්නේද එවැනි අනපේක්ෂිත ඛේදවාචකයකට මුහුණ දුන් අයෙකු පිළිබඳ කතාවකි. පී.ඒ ප්‍රදීප් කුමාර නම් වූ ඔහු කලක් තිස්සේ බෝගල පතලේ කම්කරුවෙකු වශයෙන් සේවය කරන්නෙකි. ප්‍රදීප්ගේ බිරිය ඩී. නිලුකා ගුණතිලකය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. තම දරුවන් පිළිබඳ අපමණ සිහින මැවූ ප්‍රදීප් පතලේ රස්සා කිරීම අවදානම් සහිත වුවද ඒ අවදානම අභියෝගයක් කරගෙන දිවි ගෙව්වේය. ඒ සිය දරුවන්ගේ හා බිරියගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහාය. නමුත් ඒ සියලු පැතුම් බිඳී යන්නට මහ වෙලාවක් ගත වුයේ නැත. ඉකුත් විසි අට වැනිදා සවස ප්‍රදීප් සුපුරුදු ලෙස පතලට ගියේ සවස සේවා මුරය සඳහාය . ඒ තම ජීවිතයේ ඉරණම් දවස යැයි ඔහු කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
සුපුරුදු සේවයට ගිය ප්‍රදීප් එදින තමන්ට අයත් කාර්යයේ නියැළුණේය. ඒ වනවිට ඔහු සිටියේ මතුපිට සිට බඹ 275ක් පොළව යටය. එදින ඔහුගේ මිතුරන් වූ සමන් කුමාර සහ රංජිත් කුමාර ද සේවයේ නිරතව සිටියහ.
“ බෝගල පතලේ අවුරුදු දාහතරක් තිස්සේ සේවය කරනවා. ප්‍රදිප් සේවය පැමිණි දා සිට මා එක්ක හරි යාළුයි. එදා හවස සේවා මුරයට ආව ප්‍රදීප් මටත් රංජිත්ටත් පහළ තට්ටුවල මිනිරන් අහුලන්න කියලා ඔහු ඉහළ තට්ටුවට ගියා . ටික වෙලාවකින් දඩස් ගාලා ශබ්දයක් ආවා. මම ප්‍රදීප් වැඩ කරමින් හිටපු දිහාට දිව්වා . මම දැක්ක ඉහළින් කඩා වැටුණු මිනිරන් කුට්ටියකට ප්‍රදීප් ගේ සිරුරේ ඉණෙන් පහළ යට වී තිබෙනවා. මම අනිත් අයට ඇහෙන්න කෑ ගැහුවා. ඒ වෙලාවෙම ගිලන් රථයෙන් ප්‍රදීප් කරවනැල්ල රෝහලට ගෙන ගියා. ප්‍රදීප් කියන්නේ හොඳ කෙනෙක් . ඔහුට මේ වුණ දේ ගැන අපට හරිම කනගාටුයි. සාමාන්‍යයෙන් අපි වැඩ කරන විට ඉහළින් ආවරණයක් තියෙනවා. නමුත් ඒ වැඩවල මූලික දේවල් කරලා ඉවර වුණාට පස්සේ තමයි ආවරණ යොදන්නේ. එහෙම ආවරණ යොදන්න කලින් තමයි පුදීප්ට මේ අනතුර වුණේ.“ සිද්ධිය සියැසින් දුටු සමන්කුමාර ප්‍රදිප්ට අත් වූ ඉරණම ගැන පවසන්නේ කනගාටුවෙනි.
කෙසේ වෙතත් අවසානයේ බිරියකට සැමියා අකාලයේ අහිමි වූයේය. දරුවන්ට ඔවුන්ගේ පියා අහිමි වූයේය.
“එයා පුරුදු විදි්හට එදත් රස්සාවට ගියා. අපි ඉස්සර පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ . එ්ත් ගිය අවුරුද්දේ ආව ගං වතුර නිසා අපිට අපේ ගෙවල් අහිමි වුණා. ඊට පස්සේ තමයි අපිට පතලෙන් මේ නිල නිවාසය ලැබුණේ. වෙනදා පුරුද්දට එදත් මම ප්‍රදීප් වැඩට යද්දි එයා යන දිහා බලාගෙන හිටියා. එත් මම හිතුවේ නැහැ එයා ඒ යන්නේ ආයේ නොඑන්නම කියලා. හවස පහට විතර ගිලන්රථයේ නළා හඬ ඇහුණා . අපි හිතුවා කාට හරි අනතුරක් කියලා . මොකක් ද වුණේ කියලා බලන්න පතල පැත්තට යද්දී දැන ගන්න ලැබුණා මගෙ මහත්තයට අනතුරක් කියලා. මම දරුවෝ තුන්දෙනාවත් අරගෙන කරවනැල්ල රෝහල ගියා. එතැනින් මහත්තයාව කොළඹ මහ රෝහලට යැව්වා. පහුවදා දැන ගන්න ලැබුණා එයා මැරුණා කියලා. මොන දේ තිබුණත් මොකටද දෙයියනේ මගෙ දරුවන්ට තාත්තා කෙනෙක් නැතිව. මගේ ලොකු දුවට දැන් අවුරුදු දොළහයි. එයා හත වසරේ ඉගෙනුම ලබනවා. දෙවැනි පුතාට වයස අවුරුදු හතයි. එයා දෙක වසරේ ඉගෙනුම ලබනවා. බාල පුතාට අවුරුදු දෙක හමාරයි. මම කොහොම ද දෙයියනේ මේ දරවන් තනියම හදා ගන්නේ. මහත්තයා දරුවන්ටයි මටයි හරි ආදරෙන් සැලකුවා. මේක අපේ කරුමෙට වෙච්ච දෙයක්...“ ප්‍රදීප් ගේ බිරීය නිලුකා පවසන්නේ හැඩු කඳුළෙනි. ප්‍රදීප්ගේ අභාවය පිළිබඳ ශෝක වෙමින් ඔහුගෙන් යැපෙන්නන් වෙනුවෙන් ලබාදෙන ප්‍රතිලාභ ගැන කොටියාකුඹුර ,බෝගල ග්‍රැපයිට් සමාගමේ සාමාන්‍යාධිකාරි අමිල ජයසිංහ මහතා පැවැසුවේ මෙවැන්නකි.
“ප්‍රදීප් අපේ ආයතනයට බොහෝම ළැදිව කටයුතු කළ සේවකයෙක්. ඔහු අකාලයේ මියයෑම පිළිබඳව අපට බොහොම කනගාටුයි. ඔහුගේ බිරිය හා දරුවන් වෙනුවෙන් ආයතනය විසින් උපරිම ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ අනුව මීට පෙර සිදු වු අනතුරු වලදීත් ඊට මුහුණ දුන් අයට , ඔවුන්ගේ පවුල් වල අයට අපි උපරිම ප්‍රතිලාභ දී තිබෙනවා. මෙහිදී අපේ ආයතනය මියගිය ප්‍රදීප්ගේ මුලික වැටුප රුපියල් හතළිස් දාහ ලෙස සලකා ඔහුගේ පවුලේ අයට රුපියල් මිලියන 3ක වන්දි මුදක් ලබාදීමට කටයුතු කරනු ලබනවා.“
තම තමන්ගේ ආදරණියන්ගේ ජීවිත රැක දීමට ඕනෑම අවදානමක් කරපින්නා ගන්නා මිනිසුන් අතර තවත් මිනිසෙකුගේ අකාල නික්ම යෑම ඉකුත් දා සිදුවූයේ බෝගල පතලේ සේවකයන්ගේ සෝ සුසුම් මැද්දේය. මෙය සිදු වන අවස්ථාවේ පතලේ කණ්ඩායම් පරීක්ෂක ලෙස කට යුතු කළ ගනේගොඩ මහතා මෙසේ පවසයි.
“ සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ බඹ 240 ක විතර මට්ටමේ. මම මේ පතලේ සේවයට ඇවිල්ලා අවුරුදු 24ක් වෙනවා. ඒ කාලය තුළ අනතුරු හතරක් පමණ සිදුවී තිබෙනවා. නමුත් මේ වගේ මිනිරන් කුට්ටියක් කඩා වැටිලා අනතුරක් සිදු වූ පළමු වතාව මේකයි. මේ සිදු වූ දේ පිළිබඳව අපට හරිම කනගාටුයි.“
කොහොම වුවත් දැන් සියල්ල සිදු වී හමාරය. ප්‍රදීප් නැති අඩුව දැනෙන්නේ ඔහුගේ පවුලේ අයටය. පතලේ දී ප්‍රදීප් ගේ අඩුව පුරවන්නට නව සේවකයෙකු යොදනු ඇත. නමුත් ජීවිත පරදුවට තබා මෙවන් රැකියාවල නිරත වන්නන්ගේ පුර්ණ ආරක්ෂාව සලසා දීමට එම ආයතන මීට පසුව වත් වඩාත් අවධානය යොමු කළ යුතුය.