
සිරිසේන හෙට්ටිගේ උඩනිරිඇල්ල
දැනට දශක තුනකට පමණ ඉහත රත්නපුරයට නුදුරු ග්‍රාමීය පාසලක සිදුවූවකි. පාසලේ ගොඩනැඟිලි තිබුණේ දෙකකි. ඉන් තරමක් ලොකු ගොඩනැඟිල්ල විදුහල ආරම්භයේදී ගොඩනැඟුණකි. එම ගොඩනැඟිල්ලේ බාල්කවල පැරැණි සිංහල ආප්තෝපදේශයක් ලියා තිබුණි. ඒවා ශිෂ්‍ය ඉගෙනුමට විශාල පිටිවහලකි.
‘උඩ පැන්නොත් බිම වැටේ’, ‘පිරුණු කළේ දිය නොසැලේ’, ‘පනින්ට පෙර සිතා බලනු’ එවැනි ආප්තෝපදේශ කීපයකි.
විදුහලේ අටවැනි පන්තිය පිහිටා තිබුණේ මෙම ගොඩනැඟිල්ලේය. එම පන්තියේ ඉගෙනුම ලැබූ සෝමසිරි ශිෂයයා තරමක් මුරණ්ඩු අකීකරු ශිෂ්‍යයෙකි.
දිනක් එම පන්තියට සිංහල භාෂා විෂය ඉගැන්වීමට පැමිණි අප්පුහාමි ගුරු මහතා ඉහත කී සෝමසිරි ශිෂ්‍යයාගේ නොහික්මුණු කාර්යක් දැක, “නැගිටපන්, සෝමසිරි. උඹ කිසිම සුවච බවක් නෑ. අනෙක් ළමයින්ටවත් ඉගෙනගන්ට බෑ උඹේ වැඩ හින්ද.” යැයි කියමින් අතේ තිබූ කෝටුවෙන් සෝමසිරිට පහරක් ගැසුවේය.
“බලපන් අර බාල්කෙ මොකක්ද ලියල තියෙන්නෙ. උඹ වගෙ අයට දැනගන්න.” නැවත වතාවක් උස් හඬින් අප්පුහාමි මහතා කීවේය.
“අණට කකුරුවනු” සෝමසිරි නොපැකිළිව පැවසුෙව්ය.
“අණට කකරුවනු - එහෙමද?” යැයි කියමින් අප්පුහාමි මහතා ද ඒ දෙස බැලුවේය. කීකරු යන වචනයේ දීර්ඝ ඉස්පිල්ල යාන්තමින් දක්නට ලැබුණි. “අණට කකරුවනු” නොවෙයි ළමයො “අණට කීකරු වනු” යැයි පහදා දුන් අප්පුහාමි මහතා නැවත පාඩමට අවධානය යොමු කළේය.
රාජකාරිය ගුරු නිවාසෙද?
පියතිස්ස සෙනෙවිරත්න
කුරුණෑගල
දිවා විවේක කාලය අවසන් බව සංඥා කරමින් විදුහලේ සීනුව නාද විය. ළමයි පන්ති කාමර වෙත දිව ගියහ. ගුරු මහත්ම මහත්මීහුද, විදුහලේ ගුරු කාමරයෙන් පිටව පන්ති වෙත ගියහ. තේ එක බී, බුලත් විටක් සපමින් ගුරු නිවාසයෙන් එළියට පැමිණි ගුණපාල මහතාද පාසල වටේ රවුමක් යෑමට මිදුලට බැස්සා පමණි.
පාසලේ ගේට්ටුව අසල වාහනයක් නතර කෙරිණ. එයින් බැස ගත් කිහිප දෙනෙක් ගුරු නිවාසය දෙසට එමින් සිටියහ. ප්‍රධාන ගේට්ටුවේ සිට ක්‍රීඩා පිට්ටනිය හරහා ගුරු නිවාසයට පැමිණීමට විනාඩි පහකට වැඩි කාලයක් ගතවේ. මේ එන්නේ අධ්‍යාපන කන්තෝරුවේ නිලධාරි පිරිසක් බව ගුණපාල මහතාට තේරුම් ගියේය. ඔහුද ගුරු නිෙවසින් මිදුලට බැස්ස තැනට ම වී ඔවුන් එන දෙස බලා සිටියේය.
ගුණපාල මහතා අසලටම පැමිණි කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි නිලධාරියා, ආරූඪ කර ගත්, තේජසකින්
“කියද දැන් වෙලාව”
“එකොළහයි හතළිස් පහයි” ගුණපාල මහතා ද ඔර්ලෝසුව දෙස බලා පිළිතුරු දුන්නේය.
“ඉන්ටර්වල් ඉවර වුණේ කීයටද?”
“එකොළහයි හතළිහට”
“ඉතින් තවම ගුරු නිවාසෙට වෙලා ඉන්නෙ... තමුන්ගෙ රාජකාරිය ගුරු නිවාසෙද?” නිලධාරියාගේ හඬ ක්‍රමයෙන් වැඩිවෙයි.
“ඉන්ටවල් එක ඉවරවෙන කොට මම මගේ ඔෆිස් එකට යන්ට තමයි එළියට බැස්සෙ. එතකොට තමයි මම දැක්කෙ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ වාහනයක් නතර කරල. කට්ටියක් ඒකෙන් බැහැල මේ පැත්තට එනව. ඊට පස්සෙ තමයි මම නතර වෙලා බලාගෙන හිටියෙ කවුද එන්නෙ කියල. ළමයෙක් පැහැර ගෙන යන්ට මැර කණ්ඩායමක් එනවද? නැත්නම් වෙන කවුරු හරි හොරු කණ්ඩායමක් මංකොල්ලකන්ට එනවද? මොකද අද ගුරු වැටුප් ගෙවන දවසනෙ. ඒකයි මම නතර වෙලා බලාගෙන හිටියෙ. එන දේකට මුහුණ දෙන්ට ලෑස්ති වෙලා.” ගුණපාල මහතා කියාගෙන ගියේය.
“දැන් ඔය මහත්තුරු වාහනේ ළඟ ඉඳ මෙතෙන්ට එන්ට ගිය වෙලාව තමයි, මට කාර්යාලයට යන්ට ප්‍රමාද වුණේ. එහෙම නැත්නම් සීනුව ගහනෙකාට ම මමත් ඔෆිස් එකේ.”
නිලධාරියාගේ සැර බාල විය.
“හරි හරි, අපිට බඩගිනියි මොනවද කන්ට තියෙන්නෙ.”
“දැන් නම් කන්ට මොකුත් නෑ. එහෙම නම් උයල තමයි දෙන්ට වෙන්නෙ. උයන්ටත් කෙනෙක් නෑ. නෝන මහත්තයත් පන්තියෙ වැඩ. එයාට පන්තියෙ වැඩ නතර කරල එන්ට වෙනව.”
“හරි හරි නෝන මහත්තයට එන්ට කියන්ට. අපි එතකන් ඉස්කෝලෙ ටිකක් ඇවිදල බලන්නම්.”
ගුණපාල මහතා සහ බිරිය විසින් හදිසියේ සකස් කර දුන් කෑම වේල මහත් සතුටින් භුක්ති වින්ද නිලධාරි පිරිස ගුණපාල යුවළගෙන් සමුගෙන ගියේ ඉමහත් ප්‍රීතියෙනි.
මුල්ගුරුතුමාගේ අටේ හෙනහුරා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි මහකනදරා නෙකටුනුවැව ගම්මානය එකල අතිදුෂ්කර, ඉතාමත් පිටිසරබද, ගැමි පරිසරයකින් යුත් ගම්මානයකි.
එක්දහස් නවසිය හතළිස් දෙකේ වර්ෂයේ එම පාසලේ අටවැනි පංතිය දක්වා පංති පැවැත්විණි. පාසලේ ප්‍රධානාචාර්යවරයා වූයේ ගම්පහ ප්‍රදේශයෙන් මෙම පාසලට පත්ව ආ ගුණසේකර මුල්ගුරුන්නාන්සේය.
ඔහු පාසලේ මුල් ගුරුකමට වඩා ජ්‍යොතිෂය පිළිබඳව දැඩි ඇල්මක් දැක්වීය. ප්‍රදේශයේ ජනතාවද දිනපතා නිතරම පාසල් වේලාවේදී පවා මුල්ගුරුතුමා හමුවීමට පැමිණියේ හඳහන්, කේන්දර, නැකැත් වේලාවන් බලා ගැනීම සඳහාය. මේ අතර පාසලේ ළමයි ද ඉගෙනීමට වඩා ගොවිතැන් කටයුතු සඳහා දැඩි උනන්දුවක් හා උද්‍යෝගයක් දැක්වූහ.
පාසල් වත්තේ කෘෂිකාර්මික වැඩවල ළමයින් යොදවන ගුණසේකර මුල්ගුරුන්නාන්සේ ඒ මුවාවෙන් සිය ගුරුනිවාසයට වී ජ්‍යොතිෂය කටයුතුවල නිරත වූයේ එයින් අමතර ආදායමක් උපයා ගැනීමේ අදහසිනි.
මේ අතර දිනක් මුල්ගුරුන්නාන්සේ තම ගුරු නිවාසය තුළට වී ජ්‍යොතිෂ කටයුතුවල නියැළෙමින් සිටින අතරතුර හදිසියේ ම පාසල් පරීක්ෂකවරයෙක් මෙම පාසලට පැමිණියේය. පන්ති කිහිපයක් සමීක්ෂණය කළ පරීක්ෂකවරයාට පෙනී ගියේ අටවැනි පන්තියේ ගැහැනු ළමයින් හැර පිරිමි ළමයින් නොමැති අතර කිසිදු ගුරුවරයෙකු ද එහි නොමැති බවය.
මේ වනවිට පාසල් පරීක්ෂකවරයා ආ බව නොදත් මුල්ගුරුන්නාන්සේ තම ගුරුනිවාසයේ ජ්‍යොතිෂය පිළිබඳ වැඩක නිරතව සිටි අතර මුල්ගුරුතුමා සොයාගිය පරීක්ෂකවරයාට ඔහු ගුරුනිවාසයේ වැඩක යෙදී සිටිනු දැක “අටේ මේ වෙලාවෙ කවුද ඉන්නෙ” යැයි ඇසුවේ මුල්ගුරුවරයා තම වැඩෙහි යෙදී සිටින අතරතුරය.
ජ්‍යොතිෂයට අදාළ කරුණු කාරණා ලියමින් ෙක්න්දරයක ග්‍රහයින් සිටිනතැන් බලමින් සිටි මුල් ගුරුන්නාන්සේ “අටේ මේ වේලාවෙ ඉන්නෙ හෙනහුරා” යැයි උස් හඬින් පැවසූ අතර ඒ සමඟම පරීක්ෂකවරයා නෙත ගැටුණු මුල්ගුරුන්නාන්සේ හනික නැගිට ආවේ “අටේ පන්තියේ ළමයි මේ වෙලාවේ ගෙවතු වැඩ” යැයි පවසමිනි.
පාසල් වත්තද පරීක්ෂා කර බැලූ පරීක්ෂකවරයා අල, බතල, මයියොක්කා, එළවළු හා පලතුරු වර්ග වගා කරවා තිබෙනු දැක සෑහීමකට පත්වූ අතර ඉගැන්වීම් කටයුතු ද මැනවින් ඉටුකර ඇති බැව් ලොග් සටහන් පොතේ සටහන් කළේය.