සංහිඳියාව ඇති කරන්න යාපනේ සංචාරය කිරීම පමණක් පලක් නෑ | සිළුමිණ

සංහිඳියාව ඇති කරන්න යාපනේ සංචාරය කිරීම පමණක් පලක් නෑ

 1968 පිරිවෙන් සිසුන් හැටියට යාපනේ සංචාරයක නිරත වූ කාලයේදී සියලු දෙනාටම දැනුණේ දුර ප්‍රදේශයක නෑදෑ ගමනක් ගියා සේය. එදින කිසිදු ආකාරයක වෙනසක් දක්නට නොවුණි. එකල ඔස්ටින් වැනි පැරැණි බස් රථ ඉතාම ඉහළ මට්ටමින් නඩත්තු කරගෙන සිටි මේ පිරිස් පෙන්වා දුන්නේ උතුරේ සැබෑ සුන්දරත්වයයි. කීරමලේ වැනි පැරැණි ස්ථානවලට ගිහින් සොබා සෞන්දර්යය විඳින්න අපට හැකියාව ලැබුණා. දෙමළ ජනතාව සමඟ හොඳ සහ සබඳතාවක් ඇති වුණා.

නමුත් අද තත්ත්වය ඉතාම කනගාටුදායකයි. පෞඩ ඉතිහාසයක් තිබුණු උතුරේ අද බොහොමයක් නටඹුන් බවට පත් වෙලා. නගර මධ්‍යයේ මෙන්ම නාගරික ප්‍රදේශවල සංවර්ධනයක් දැක ගැන්මට තිබුණත් නගරයෙන් බැහැර වන්නට ඇත්තේ දුක්ඛිත තත්ත්වයක් බවයි පෙනෙන්නේ. රාත්‍රී 7-8 පමණ වන විට මුළු නගරයම නින්දට වැටෙන තත්ත්වයක් දකින්න පුළුවන්.

අද දකුණේ බොහෝ දෙනෙක් කතා වෙනවා ආවා ගෘප් සංවිධානයක් ගැන. ජනමාධ්‍යවලින් පවා මහ ඉහළින් ප්‍රචාරයක් ලබා දී තිබුණා. නමුත් යාපනය හමුදා ආඥාපතිවරයා පැහැදිලිව පෙන්වා දෙනවා සාමාන්‍ය කොල්ල කල්ලි හැරෙන්නට වෙනත් කිසිවක් දක්නට නැහැ කියලා. කොල්ල කෑම්, පාතාල කල්ලි චණ්ඩි රටේ කොතැනත් ඉන්නවා. අද කොළඹ පාතාල කණ්ඩායම් කොයිතරම් ඉන්නවද? නමුත් යාපනයේ එහෙම තත්ත්වයක් දක්නට නැහැ.

ඒ ආකාරයේ යම් යම් අවි ගත් කණ්ඩායම් ඉන්න පුළුවන්. ඒක තාවකාලික ප්‍රශ්නයක්. නමුත් අප ඒ ප්‍රශ්නය අති විශාල ගැටලුවක් කර ගෙන තිබෙන බවයි පැහැදිලි වන්නේ.

උතුර ගැන දකුණේ පැතිරෙන බොහොමයක් කතා සාවද්‍ය බවයි පැවසිය හැක්කේ. උතුරු පළාතේ බුදු පිළිම තහනමක් ගැන ආරංචි වුණා. ඒ වගේම උතුරු පළාතට වෙනම ජාතික ගීයක් සම්මත කර ගෙන ඇති බවට ආරංචියක් ආවා. මේ සම්බන්ධව සොයා බැලූ විට පැහැදිලි වූයේ උතුරු පළාත් සභාවේ බුදු පිළිම සම්බන්ධව කිසිදු ආකාරයක තහනම් කිරීමක් කර නොමැති බවයි. දැන ගන්නට ඇති ආකාරයට යුද හමුදා අනුඛණ්ඩ පවත්වාගෙන ගිය ස්ථාන යළි පදිංචිකරුවන්ට ලබා දීමෙන් පසුව ඇතැම් විට එම නිවැසියන් තම ගෙවත්තේ එසේත් නැත්නම් තම නිවාසවල තබා තිබූ බුදු පිළිම හමුදාවට බාර දෙන්න ඇති. නැත්නම් ඉවත් කරන්න ඇති. ඒ කාර්යය මහ ඉහළින් ප්‍රසිද්ධියට පත් කර උතුරේ බුදු පිළිම තහනමක් සම්බන්ධව දකුණේ වැරැදි ආරංචි පැතිර ගියා. සෑම ආරක්ෂක හමුදා කඳවුරක වගේම හමුදා අනුඛණ්ඩවල ආගමික කාර්යයන් සඳහා බුදු පිළිම ස්ථාපිත කර තිබුණා. අදටත් තිබෙනවා. ඒ වගේම උතුරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක් සම්මත කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පැහැදිලිවම පෙන්වා දුන්නා. උතුරු පළාත් සභාවට පළාත් සභා ගීතයක් සඳහා ඔවුන් විසින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා. එහි වරදක් නැහැ. අපේ රටේ අතීතයේ සිට පළාත්වලට වෙනම ධජයන් පවා තිබුණා. බොහෝ විට මේ වගේ කතා කියන්නේ කතා පතුරවා හරින්නේ අනුරාධපුරයෙන් එහාට නොගිය අය බවයි අපට මෙයින් පැහැදිලිව තේරුම් ගත හැක්කේ.

උතුරේ ජනතාව විදින දුක ඒ අයගේ ඉවසීම ගැන ඇත්තෙන්ම බොහොම කරුණාබර විදිහටයි අවධානය යොමු කළ යුත්තේ. චුණ්ණාකම් සභාපතිපිල්ලෙයි සුබසාධක සමිති කඳවුරේ අවුරුදු 28ක් ජීවත් වෙන අවතැන් ජනතාව ඉන්නවා. දැන් ඒවායේ ඉන්නෙ තුන්වැනි පරම්පරාව.

ඒ අය හමුවෙන්න යාම ඇත්තෙන්ම ටිකක් බය හිතෙන කාර්යයක් වුණත් ඒ අයගේ සංයමය ඉවසීම පුදුම සහිතයි. අපේ රටේ ස්වභාවික ව්‍යසනයක් වෙලා මාස දෙකක් තුනක් කඳවුරක ඉන්න ජනතාවගේ සුවදුක් සොයන්න ගියහම ඒ අය ආවේ කවුද කියල බලන්නේ නැතිව කෑගහගෙන එනවා. ඒත් අවුරුදු 28ක් කඳවුරුවල ඉන්න මේ ජනතාවට පවුල් 9කට තියෙන්නේ එක වැසිකිළියයි. ඒ අය බලන්න ගිහින් හිටපු පැය එකහමාරක කාලය තුළ ඔවුන් සංයමයෙන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරා. කිසි කෙනෙක් කෑහහන්න දොස් කියන්න ගියේ නෑ.

යුද්ධය ඉවර වෙලා අවුරුදු 7ක් ගිහිල්ලත් ඒ අය තාම කඳවුරුවල මේ තත්ත්වය ඉක්මනින්ම දුරු කරන්න වෙනවා. කඩිනමින් මේ ජනතාවට නිවාස ඉඳි කර දෙන්න ඕන. ඒ ජනතාවගේ සියලුම ජීවිත කඩා වැටිලා. සමහරු බොහොම හොඳට වාහන පවා තිබුණු අය අද කඳවුරුවල ඉන්නේ.

යාපනේ ජනතාවට තට්ටු නිවාස සංකල්පය අලුත් දෙයක් වන්න පුළුවන්. නමුත් අද විදේශ ගතව ඉන්න උතුරේ ජනතාවත් වැල්ලවත්ත වැනි කොළඹ ප්‍රදේශවල ඉන්න අයත් තට්ටු නිවාස වලට හුරුවෙලා ඉන්නේ. ඒ නිසා නිවාස යේජනා ක්‍රමයක් කඩිනමින් ඉඳි කළ යුතුයි. යුද හමුදාවේ මූලිකත්වයෙන් කීරමලේ නිවාස 150කට ආසන්න සංඛ්‍යාවක් ඉඳි වුණා. ඒ වගේ තවත් ව්‍යාපෘති රැසක්ම සකස් කළ යුතුයි.

යුද හමුදාව මේ වන විට යාපනයේ ජනතාවගේ ජිවිතය නංවන්න විශාල කාර්යයන් රැසක් කරනවා. ජනතාව වගේම රජයේ කාර්යාල නිලධාරීන් කැමැතියි හමුදාවත් සමඟ එකට ජීවත් වෙන්න. ඇතැම් දේශපාලඥයන් තමයි ඒකට අකුල් හෙළන්නෙ.

හමුදාව ආරක්ෂක අවශ්‍යතා උදෙසා ලබා ගෙන ඇති ඉඩම් යළි ලබා දෙන්න බැරිනම් ඒ අයට සාධාරණ වන්දියක් එහෙමත් නැත්නම් සුදුසු ඉඩමක් ලබා දෙන්න ඕන.

කවුද කැමැති තමන්ගේ ඉඩකඩම් දීල කඳවුරුවලට වෙලා ඉන්න. මේ තත්ත්වය ගැන රජයත් ඒ වගේම නිලධාරීන් යන මේ දෙගොල්ලම කඩිනමින් පියවර ගත යුතු වනවා.

ඒ වගේම මේ කඳවුරුවල අවුරුදු 28ක් තිස්සේ ඉන්න නිසා බොහෝ තරුණ පිරිස් ඒකරාශී වෙන්න පුරුදු වෙලා තිබෙනවා. එය ඒ තරම් හොඳ දෙයක් යැයි කියන්න බැහැ. ඒ තරුණයන්ට නිසි අධ්‍යාපනයක් නැහැ. වෘත්තීය දැනුමක් අධ්‍යාපනයක් නැහැ. අතීතයේ වෙච්ච සිදුවීම් පමණයි ඒ අය දන්නේ. මේ නිසා තරුණයන් ඒකරාශී වීමෙන් සිදු වන්න පුළුවන් වැරැදි තීරණ ලබා ගැනීමේ ක්‍රමය වළක්වන්න ඒ තරුණ පිරිසට කඩිනමින් වෘත්තීය පුහුණුවක් ලබා දී රැකියා අවස්ථා සැලැසීම අවශ්‍යයි.

ඒ සමඟම දකුණේ ජනතාවට දෙමළ අධ්‍යාපනය ලබා දෙනවා මෙන්ම උතුරේ ජනතාවට සිංහල අධ්‍යාපනය ලබා දිය යුතු වනවා. බොහෝ විට ඒ තත්ත්වය දකින්න නැහැ. එය විශාල අඩුපාඩුවක්. උතුරේ බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවා දෙමළ භාෂාවෙන් පමණයි රාජකාරි කටයුතු කිරීමට හැකියාව තිබෙන්නේ. ඔවුන් එතැනින් ඔබ්බට යාමට එතරම් උනන්දුවක්ද නැහැ. එය ඒතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි.

නමුත් යාපනය දිසාපතිවරයාත් අනෙක් නිලධාරීන් සියලු දෙනාම කාර්යාල වලින් හවසට යන්නේ තමන්ගේ කාර්යයන් අවසන් වූ විටයි. ඒ ආදර්ශය අප ලබා ගත යුතු වනවා. රාජ්‍ය සේවයේ ගරුත්වය රාජ්‍ය සේවය ඉහළින්ම සිදු කරන්න ඒ අය කටයුතු කර තිබෙනවා. හවස 4 -5 වෙනකොට ගෙදර දුවන මානසිකත්වය නෙමෙයි ඒ අය තුළ තිබෙන්නේ. නමුත් යාපනයට පත්වීම් ලැබෙන බොහෝ සිංහල නිලධාරීන් ඉක්මනින්ම මාරුවීම් හදාගෙන දකුණට යාම අද සිරිතක් වෙලා තිබෙන්නේ.

මේ තත්ත්වයට විසැඳුමක් ලෙස වැඩිපුර දීමනාවක් ලබා දී හෝ සිංහල නිලධාරීන් උතුරේ සේවයට යෙදවිය යුතුමයි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 1700ක් විතර ඉන්නවා. ඒ අයටත් කලින් වගේ පළමු වසර විශ්වවිද්‍යාල නේවාසිකාර ලබා දී පසුව වෙනත් නවාතැන් සොයා ගැනීමට ඉඩ සැලැස්වුවහොත් මේ සංහිඳියාව ඇති කරන්න පහසුයි. සිංහල දෙමළ සම්මිශ්‍රණය වසර ගණනාවක් ඉතා හොඳින් පැවතුණා. යුද්ධයෙන් නැතිවී ගිය මේ සංහිඳියාව යළි ඇති කළ යුතුමයි. දෙමළ බෞද්ධයන් සිටින බවත් අප අමතක නොකළ යුතුයි. අප නොපිළි ගන්නා දෙයන් තමයි දෙමළ බෞද්ධ සාහිත්‍යයක් ඇති බව. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකම ජාතියක් ලෙස සැලකිය යුතුයි කියා පවසමින් අප ඒ පිරිස් දෙවන පෙළ පුරවැසියන් සේ සලකනවා නම් එතැන සමඟියක් ඇති වන්නේ නැහැ.

ඒ වගේම බහුතරයක් හින්දු භක්තිකයන් සිටින ස්ථානවල ආගමික සහජීවනය අප ඇති කළ යුතුයි. නාගදීපයේ උස බුදුපිළිමයක් හදන්න යාම එක්තරා ආකාරයක ගැටලුවක් විදිහටයි දකින්න පුළුවන් වෙන්නේ. එම බුදු පිළිමය විහාරස්ථානයෙන් බාහිර ප්‍රදේශයක හින්දු කෝවිලකටත් වඩා උස් තත්ත්වයකින් හදන්න යෝජනා වුණේ. බහුතරයක් හින්දු භක්තිකයන් සිටින ප්‍රදේශයක විහාරස්ථානයෙන් පවා බාහිරව එසේ උස බුදු පිළිමයක් ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාවගේ ආගමික නිදහස ඇහැරී යන තත්ත්වයක් ඔවුන්ට හැඟී යාමට පුළුවන්.

දළදා මාලිගාවට වඩා ඉහළින් පල්ලියක් තනන්නට යාමේ සිදුවීමක් සම්බන්ධව පසුගිය වකවානුවේ ගැටලු මතු වුණා. එවන් ආගමික ගැටලු අනුමත කරන්න බැහැ. මේ නිසා කළ යුතු හොඳම සහ එකම දෙය වන්නේ ආගමික සහජීවනය උදෙසා අන් අයගේ ආගම දහම සංස්කෘතිය ගැන හැඟීමක් දැනීමක් ඇති කර ගැනීමයි. අනෙක් අයගේ සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ඇති කර ගත යුතුමයි.

සිංහල දෙමළ සංස්කෘතිය එකම ජනතාවගේ සංස්කෘතියක් ලෙසින් තබා ගැනීම අපට හැම අතින්ම වැදගත් වෙනවා. නල්ලූර් කෝවිලට ගිය අවස්ථාවේදී පිරිමි පිරිස් සියලු දෙනාම උඩු කය නිරාවණය කරමින් යන්නේ. පන්සලකට ගිය විට පාවහන් හිස්වැසුම් ගලවා යන්නේ. ඒ ආකාරයෙන් ආගමික සහජීවනය ඇති කර ගැන්මට අප සියලු දෙනාම කඩිනමින් කටයුතු කළ යුතුමයි.

 

Comments