ගිනි ගෙන වියරුව නළියන වැලි කතරේ... සූර්ය පැනලයෙන් බලය | Page 2 | සිළුමිණ

ගිනි ගෙන වියරුව නළියන වැලි කතරේ... සූර්ය පැනලයෙන් බලය

වර්ග කිලෝමීටර 9,200,000කින් සමන්විත සහරා කාන්තාරය ලොව විශාලතම උණුසුම් කාන්තාරය ලෙස සැලකේ. ලෝක ජනගහනය වැඩි වෙමින් පවත්නා මෙවැනි අවධියක සහරාව මානව සංහතියේ පැවැත්මට සහ උන්නතියට දායක කරගැනෙන්නේ නැති තරම්ය. ඇත්තටම කිව හොත් සහරාව වැදගත් වැඩකට ප්‍රශස්ත මට්ටමෙන් යොදාගත නොහැකි තත්ත්වයක පවතී. සහරාවේ වර්තමානය එවැනි ඛේදනීය තැනෙක පැවතියත්, වසර 6000කට පළමුව එය නිවර්තන කාලගුණයක් සහිතව පැවති පෙදෙසක් බව ඔබ දන්නවාද? එවකට පෙර සහරාව සරුසාර වනාන්තරවලින් වැසී තිබුණු බව සමහරවිට ඔබ විශ්වාස නොකරන්නටත් පුළුවන. එහෙත් සහරාවේ අතීත කතාව එයයි.

සහරාවේ යටගියාව ගැන කෙරෙන මේ අනාවරණය පසුගියදා මාධ්‍යය මඟින් එළිදැක්විණි. සහරාව පිළිබඳ එකී හෙළිදරවුව සිදු වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලයේ විද්වතුන් පිරිසක් කළ පර්යේෂණයක් හේතුවෙනි. පර්යේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට සහරාවට අයත් ප්‍රදේශ ශාක වැස්මකින් සමන්විත වුණු ඒ කාලයේ, සහරාවට අයත් ප්‍රදේශවලට හොඳ වර්ෂාපතනයක්ද ලැබී ඇත. පර්යේෂකයන් මේ බව ප්‍රකාශ කරන්නේ හොලොසිනේ අවධියේ හෙවත් වත්මන් අවධියේ වර්ෂා රටාව වෙනස් වන රටාව අවධානයට ගනිමිනි. හොලොසිනේ අවධිය ආරම්භ වන්නේ මෙයට වසර 12,000ත් 11,500ත් අතර කලකට ඉහතදීය. එකී අවධිය ඇරඹෙන්නේ පෘථිවිය මත පැලියෝලිතික් අයිස් යුගය නිමාවට පත් වීමත් සමඟ බව විද්‍යාඥයෝ පවසති. ලෝකය උණුසුම් වීම ආරම්භ වී ඇත්තේ ඒ කාලයේදීය. මේ කියන වකවනුවේදී ලෝකයේ කාලගුණය කුමන ආකාරයෙන් පවතින්නට ඇත්ද යන්න ගැන ඉසියුම් විග්‍රහයක යෙදෙන්නත් පර්යේෂකයෝ සමත් වූහ. කාලගුණ දත්ත පදනම් කරගෙන පරිගණක භාවිතයෙන් මොඩල සකසාගන්නත් මෙහිදී ඔවුන්ට සිදු විය. මේ පර්යේෂණයවල නිරත වූ මහාචාර්ය රොබර්ට් කෝර්ටි සහ විලියම් බූස් පවසන ආකාරයට එවක නිවර්තන වැසි කලාප සහරාව ආශ්‍රිත ප්‍රදේශවල තිබී ඇත. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා එසේ පැවති වැසි කලාප සහරාව ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්ව ගොස් තිබේ.

“... අද අප සහරාව වශයෙන් හඳුන්වන ප්‍රදේශ මෙයට වසර 6000කට පෙර වැසි සහිත ප්‍රදේශයක්. එහි පැවති නිවර්තන වැසි කලාප සමකයෙන් උතුරෙහි ඈත ප්‍රදේශවලට චලනය වුණු බව පැහැදිලියි. එවැන්නක් සිදු වූයේ කෙසේද යන්න අදටත් අපට අවබෝධ කරගන්නට බැරි වුණු කාරණයක්. ...” යැයි පවසන්නේ මහාචාර්ය රොබර්ට් කෝර්ටිය.

වසර 6000කට පෙර සහරාවට ඒ ආකාරයේ වර්ෂාපතනයක් තිබුණද අද සහරාවේ ඇතැම් ප්‍රදේශවලට ලැබෙන්නේ අඟලකටත් අඩු වාර්ෂික වර්ෂාපතනයකි. සහරාවේ තවත් කොටසකට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය අඟල් 4ක් හෙවත් සෙන්ටිමීටර 10ක් පමණ වේ. කෙසේ වුවද සහරාවට ලැබෙන වර්ෂාපතනය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව විද්‍යාඥයෝ පවසති. වැස්ස එවැනි අඩු මට්ටමක පවතිනවා සේම සහරාවට වසරේ ඉතා දිගු කාලයක් හොඳින් සූර්යාලෝකයද පතිත වේ. දැනට ගණන් බලා ඇති අන්දමට වසරෙන් 82%කට වැඩි කාලයක් පුරා සහරාවට දීප්තිමත්ව හිරු පායයි. එමෙන්ම වායුගෝලයේ ආර්ද්‍රතාවද ඉතා පහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. ඒ සමඟම සහරාවේ උෂ්ණත්වයත්ද ඉහළ අගයක ඇත. එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්මවන බව වාර්තාවල දැක්වේ. මෙවැනි කාලගුණ තත්ත්වයක් යටතේ එහි ගස්-වැල් සරුසාරව වැඩෙනු ඇතැයි සිතීමත් උගහටය. එහෙත් සහරාවේ උතුරු, මධ්‍යම සහ දකුණු කලාපවල ඇතැම් ස්ථානවල ශාක වැඩෙනු දැකිය හැකිය. එකී කලාපවල ශාක වැඩෙන්නේ අන් කරුණක් නිසා නොව, සහරාවේ සෙසු කලාපවලට සාපේක්ෂව එහි වර්ෂාපතනය මඳක් වැඩි බැවිනි. ඒ අනුව වසර 6000කට පළමුව තිබුණේයැයි කියන සහරාවට වඩා අද අප දකින සහරාව කොතරම් වෙනස්දැයි ඔබට සිතෙනු ඇත.

සහරා කාන්තාරයේ ප්‍රදේශ අප්‍රිකා රාජ්‍ය ගණනාවකට ඇතුළත්ය. ඇල්ජීරියාව, චැඩ්, ඊජිප්තුව, ලිබියාව, මාලි, මොරිටානියාව, මොරොක්කෝව, නයිජර්, සුඩානය, ටියුනීසියාව සහ බටහිර සහරා යන රාජ්‍ය ඒ අතර ඇත. මේ පිහිටීම නිසා එකී රාජ්‍ය සෑම එකකටම සහරාවේ දේශගුණික සහ අනෙකුත් සියලු ආකාරයේ බලපෑම් එල්ල වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලොව විශාලතම උණුසුම් කාන්තාරයෙන් කොටසක් තම රට තුළ පිහිටීම කිසිදු රටකට ආශීර්වාදයකැයි කියා කියන්නට බැරිය. විශේෂයෙන්ම ලොව දිළිඳුම රාජ්‍ය අතර ඇති මාලි, නයිජර් වැනි රටවල් සලකා බලන කල සහරාවෙන් කොටසක් ඒ රටවලට ඇතුළත්ව තිබීම දේව ශාපයක් මිස අන් කවරක්ද?

යථාර්ථය එය වුවත් තම රට තුළ පිහිටි කාන්තාර බිම් වාසියට හරවාගත් අප්‍රිකා රාජ්‍යයත් නැතිවාම නොවේ. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ මොරොක්කෝ දේශයයි. එරටට අයත්ව ඇති කාන්තාර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන දැනට එහි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපනය කෙරෙමින් තිබේ.

ලෝක සංවිධානවල සහභාගිත්වයද ඇතිව මොරොක්කෝ රජයේ දැනට ඉදි කරමින් තිබෙන මේ සූර්යශක්ති බලාගාරය හෙවත් 'නූර් සංකීර්ණය' ලොව විශාලතම සූර්යශක්ති බලාගාරය බව වාර්තා වේ. අදියර තුනකින් සමන්විත මේ බලාගාරයේ ප්‍රථම අදියර පසුගිය පෙබරවාරියේ විවෘත කෙරිණි. ඉතිරි අදියරයන්හි වැඩ 2018 වසර වන විට නිම කිරීමට එරට බලධාරීහු අපේක්ෂා කරති. බලාගාරය මුළුමනින්ම සදා නිම කර ක්‍රියාත්මක වන තත්ත්වයට පැමිණවූ විට නිවාස මිලියනයකට අවශ්‍ය විදුලිය සැපයිය හැකි බව පැවසේ. මොරොක්කෝව එරටට අවශ්‍ය බලශක්තියෙන් 97%ක්ම දැනට නිෂ්පාදනය කරගන්නේ පොසිල ඉන්ධන දහනයෙනි. පොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය වසරකට ටොන් 760,000ක් පමණ වේ. නව බලාගාරය ස්ථාපනය කිරීමත් සමඟ එකී කාබන් විමෝචනයද කපා හරින්නට පුළුවන් වනු ඇත.

සහරා කාන්තාරයේ කොටසක් තම රටට අයත් වූ සෑම අප්‍රිකා රාජ්‍යකටම මේ අන්දමේ ව්‍යාපෘති කරවන්නට පුළුවන්කමක් නැත. එහෙත් ලෝක බලධාරීන් මඳක් කල්පනා කළ හොත් සහරාවේ දැනට දේශගුණික සහ පාරිසරික තත්ත්ව මිනිසාගේ හිත සුව පිණිස යොදාගන්නට බැරිකමක් නැත. නූර් සංකීර්ණය වැනි ව්‍යාපෘති අද ඉදි වී සහරාව මිනිසාට ප්‍රයෝජනවත් තැනක් බවට පත් කෙරුණ හොත් තවත් වසර කිහිපයක් ඇතුළත එපෙදෙස මුළුමනින්ම වෙනස් වී යා හැකිය. එදාට අපේ අනාගත පරම්පරා සහරාව ගැන කෙලෙස කතා කරනු ඇත්ද? එයත් හරියටම සමාන වනු ඇත්තේ වසර 6000කට පළමුව සහරාව නිවර්තන දේශගුණයක් සහිත වනාන්තරයක් වීයැයි කියා අද අප මවිතයෙන් යුතුව කියන කියමනටම විය හැකිය.

Comments