‘ලව් ඇන්ඩ් ලයිෆ්, වේදිකාවට අලුත්ම ආකෘතියක් | සිළුමිණ

‘ලව් ඇන්ඩ් ලයිෆ්, වේදිකාවට අලුත්ම ආකෘතියක්

එස්.අයි සමරක්කොඩි

‘පුතා ඉදිරියට එන්න, ඇවිත් ලස්සන සිංදුවක් කියන්න. මොන්ටිසෝරි ගුරුතුමිය පන්තිය ඉදිරියේ සිටුවා ගීතයක් ගායනා කරවූ දිනය අදටත් ඔහු මතකයේ ඇත. එතැන් පටන් කිසිදු දිනෙක ගීතයක් කතන්දරයක් පන්තිය ඉදිරියේ ගයන්නට කියන්නට ඔහු අමතක නොකළේය. එදා ඇරැඹුණු ඒ ගමන් මඟ අද ඔහු වේදිකාවේත්, පුංචිතිරයේ මෙන්ම සිනමාවේ ද ජනප්‍රිය, කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක් බවට පත් කර ඇත. ඔහු එස්.අයි සමරක්කොඩි. විවිධත්වයෙන් යුතු කලා හැකියාවන් රැසකින් පොහොසත් ඔහු ගැන මේ දිනවල ප්‍රේක්ෂක අවධානය යොමු වී ඇත්තේ කුළුදුල් වේදිකා නිර්මාණය වන ‘ලව් ඇන්ඩ් ලයිෆ්, හේතුවෙනි. ශ්‍රී ලංකාවේ පළමුවරට වෙස් මුහුණු භාවිතා කරමින් දෙබස් රහිත වේදිකා නාට්‍යයක් ලෙස දිග හැරෙන ‘ලව් ඇන්ඩ් ලයිෆ්, වේදිකා නාට්‍යය මේ වන විට රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ සම්මාන කිහිපයක්ම දිනා ගන්නට සමත් වී ඇති අතර භාරතීය හා යුරෝපීය නාට්‍ය තරඟාවලිය සඳහා ද නිර්දේශ වී ඇත. එස් .අයි සමරක්කොඩි සමඟ යෙදෙන මේ කතාබහ හේතුවනුයේ ද ඒ නිමිත්තෙනි.

‘ලව් ඇන්ඩ් ලයිෆ්, වෙනස්ම ආකෘතියකට නිර්මාණය වූ වේදිකා නාට්‍යයක්?

ඔව්. මේ අකෘතියට නමක් නැහැ. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු භාවිතා කරමින් ප්‍රථම වතාවට තමයි මෙවැනි දෙයක් නිර්මාණය වෙන්නේ. 2010 වසරේ දී සහ 2011 වසරේදී චාමික හත්ලහවත්තගේ ‘හරි අපූරු දවසක්, වේදිකා නාට්‍යයත් සමඟ ‘ඊජිප්තුවේ, - ‘කයිරෝ ෆෙස්ටිවල්, එකට සහ ‘නේපාලයට, මටත් යන්න අවස්ථාව උදා වුණා. ඒ ‍නාට්‍ය උළෙලවලදී මම ලද අත්දැකීම් අනූව මට අවශ්‍ය වුණා මුළු ලෝකෙටම රසවිඳින්න පුළුවන් වූ නාට්‍යයක් කරන්න. ඒ අනූව තමයි ‘ලව් ඇන්ඩ් ලයිෆ්, නිර්මාණය වුණේ.

මේ නාට්‍යයේ කතා තේමාව මොන වගේද?

යුගතුනක පිය පුතු සම්බන්ධතාවය තමයි මේ ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ. ලෝකයේ ඇස් පෙනෙන ඕනම කෙනකුට කුමන ජාතියක, කුමන භාෂාවක් කතා කළත් මේ නාට්‍යය නරඹලා රස විඳින්න පුළුවන්. මෙයින් කතා බහට ලක්වෙන්නේ විශ්වයටම පොදු මාතෘකාවක්.

මෙයට ලංකාවේ නාට්‍ය සම්ප්‍රදායන්හි අභාශයත් ලැබී තිබෙනවා?

ඒ වෙනුවෙන් මම ලංකාවේ නාට්‍ය සම්ප්‍රදායන් වගේම මිනිසුන්ගේ හැසිරීම් රටාවල් , එදිනෙදා දේවල් ද උපයෝගී කර ගත්තා. ඒ ඔස්සේ මුළු විශ්වයේම මාතෘකාවක් වෙන පිය පුතු සම්බන්ධතාවය උපයෝගී කර ගෙන මේ නාට්‍යය නිර්මාණය කළා. ඒ වගේම මම ලංකාවේ කෝලම් නාට්‍ය සම්ප්‍රදායේ තිබෙන විවිධ ලක්ෂණත් අභිනයන්වල ලක්ෂණත් මේ නාට්‍යයට ඉවහල් කොට ගත්තා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් විදිහට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ ලබා දුන් න්‍යායික හා ප්‍රායෝගික දැනුම මේ නාට්‍ය නිර්මාණයට එක් කොට ගත්තා. මේ නාට්‍යයේ භාවිතාවන වෙස් මුහුණු නිර්මාණ සියල්ලම නිර්මාණය කළේ මමමයි.

මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

පළමු වතාවට 2015 වසරේ දී කැම්පස් එකේ ඇකඩමික් තියටර් ෆෙස්ටිවල් එකේ දී මේ නාට්‍යය පෙන්වනවා. අද වන විට දර්ශනවාර දහයකට වැඩි ප්‍රමාණයක් පෙන්වා තිබෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමතැනකදීම ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය අති විශිෂ්ටයි. නැවුම් අත්දැකීමක් වින්දා කියලා ප්‍රේක්ෂකයන් පවසනවා. මේ වනවිට ‘ලව් ඇන්ඩ් ලයිෆ්, නාට­්‍යය 19 වන භාරතීය රංග මහෝත්සවය නියෝජනය කරන්න සුදුසුකම් ලබා තිබෙනවා. මේ මසෙ එය පැවැත්වෙනවා. ඒ වගේම ලෝකෙ රටවල් 71 ක් අතරින් නට්‍ය 30ක් මෙයට තෝරාගෙන තිබෙනවා. එයට මගේ නාට­්‍යයත් ඇතුළත් විම සතුටක්. ෆැට්නාවල සහ දිල්ලිවලින් මේ සඳහා මට ආරාධනා ලැබිලා තිබෙනවා. ඉන්දියාවේ ඉහළම පෙලේ රංග ශාලාවක් මේ නාට­්‍යය පෙන්විමට මට ඉඩ ලැබි තිබෙනවා.

මෙයට දායක වන ශිල්පීන් කවුරුන්ද?

මෙහි චරිත රංගනයෙන් කේෂිකා කෝරාල, තිළිණ හෙයියන්තුඩුව, චතුරංග දයාරත්න,දායක වෙනවා. මෙහි පිටපත, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය මගේ. රංගවස්ත්‍ර නිර්මාණය කසුන් උත්පලා රංගල්ල, රංගභාණ්ඩ හා මුහුණු කළමණාකරණය නයනතාරා ද සිල්වා, පසුතල නිර්මාණය චතුර දසනායක, ආලෝක නිර්මාණය අනුරාධ මල්ලවාරච්චි, වේදිකා පරිපාලනය සමන් ලියනාරච්චි, කුමුදිකා වෛද්‍යරත්න, නදීෂා, චානකී කෞෂල්‍යා, නාට්‍ය කළමනාකරණය ඉන්දික ලක්මාල් සිදුකරනවා. ඔවුන් සියලු දෙනාම සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්.

කලාවට එක්වන විට ඔබ පාසල් ශිෂ්‍යයෙක්?

මම ඉගෙනුම ලැබුවේ හොරණ ශ්‍රීපාලියෙන්. උසස්පෙළ කරන අවධියේ මම ලාල් කුලරත්න මහතාගේ නාට්‍යවලට දායක වෙනවා. ඒ වගේම සංගීත කණ්ඩායමකත් වැඩ කළා. මේ අතර රත්මල්ගොඩ ඉංගිරිය සංස්කෘතික මධ්‍යස්ථානයට එකතුවෙලා ප්‍රේමකුමාර කරුණාරත්න සර් යටතේ නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒත් එක්කම වගේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පූර්ණකාලීනව නාට්‍ය හා රංගකලාව පිළිබඳ හදාරන්න යොමු වුණා. එතැනදී ප්‍රසන්නජිත් අබේසුන්දර, වේහැල්ලේ පියතිලක, බන්දුල විතානගේ, හෙන්රි ජයසේන වැනි ප්‍රවීණ කලාකරුවන් මට හඳුනාගන්නට ලැබෙනවා. ඉන්පසුව මට හුණුවටයේ කතාවේ ‘ජොසප්පුවා,, යුවරජු, ගිලන් මිනිසා ඇතුළු විවිධ චරිත රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ චරිත මට වාසනාව ගෙනාවා කිව්වොත් හරි එතැන් පටන් ජනප්‍රිය වේදිකා නාට්‍ය 20කට වැඩි ප්‍රමාණයක රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් ‘හරි අපූරු දවසක්, , ‘මකරට,, ‘බෙකට්,, ‘ස්වයංක්‍රීය වංශ කතාව,, ‘ගොළු බිරිඳ,, ‘චෙරි වත්ත,, ‘මාරක ලිදේ සවාරියක්,, ‘සකිසඳමඬල, වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. මේ අත්දැකීම් ලබමින් මම කෙටි නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කළා. 2010 වසරේ දී ‘කොන්ක්‍රීට් අන්දරේ, කෙටි නාට්‍යයට ජූරියේ විශේෂ සම්මානය හිමි වුණා.

ඔබ ටෙලි නාට්‍ය නළුවෙක් ලෙස තමයි ජනප්‍රිය?

සිහිනපුරයේ ‘පුෂ්පේ, තවමත් ප්‍රේක්ෂකයන්ට මතකයි. එය සෙල්ලක්කාර චරිතයක්. ඒ වගේම ‘අමා, ටෙලිනාටයයේ ‘සෙල්වම්, ‘ඉඳුවරී, නාට්‍යයේ ‘නිමල්, ‘පාරමී, හි බඹරා, වගේ චරිතත් ජනප්‍රිය වුණා. ඒ වගේම චිත්‍රපට ‘සිකුරු හතේ,, ‘සුහුද කොකා,, ‘කිං හන්තර්,, ‘සදළුතලෙන් එහා,, ‘බඹර වලල්ල,, ‘ප්‍රේමය නම්, වගේ චිත්‍රපට ගණනාවකත් මම රඟපෑවා. ඉදිරියේදිත් මම දායක වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයක් විකාශය හා තිරගත වෙන්නත් තිබෙනවා.

Comments