ඒ හින්දා මේක මේ හින්දා ඒක | Page 441 | සිළුමිණ

ඒ හින්දා මේක මේ හින්දා ඒක

“හැබෑට මහත්තයා උදේට ඇවිදින්ඩ යනකොට ඔය‍ පොලු කෑල්ලකුත් අරගෙන යන්නෙ මොකද?” හිමිදිරියේ පටන් ඉරනැඟී හෝරාවක් පමණ ගතවන තෙක් කැලණි ගඟ අයිනේ කොළ කැඳ වෙළෙඳාමේ යෙදෙන කුසුමා, ගඟ අයිනේ ගල්බැම්ම මත ඉඳගෙන සිටි චන්ද්‍රසිරි වෙත කැඳ වීදුරුවක් පිරිනමමින් ඇසුවේ ඔහුගේ පසෙකින් තබා තිබූ රූල් පොල්ල දෙස කුතුහලයෙන් බලමිනි.

“පාර දිගේ ඇවිදගෙන යනකොට බල්ලෝ බුරා ගෙන පනින හින්දනෙ.” කැඳ උගුරක් ‍රස බැලූ චන්ද්‍රසිරි කීවේ හකුරු කෑල්ලෙන් බිඳක් දතින් කඩා ගනිමිනි.

“ඉතින් ‍මහත්තයා ඔය බල්ලෝ බුරාගෙන පනින්නෙ මොකද?” කුසුමා තවත් ප්‍රශ්නයක් නැඟුවා ය.

“ඒ ඉතින් මම පොලු කෑල්ලක් අරගෙන යන හින්දනෙ.” චන්ද්‍රසිරි කීවේ ය.

වැදගත් වෙන්නෙ එහෙමයි

“හැම අවුරුද්දක ම පෙබරවාරි 4 දා අපිට බොහොම වැදගත් දවසක්. ඒ දිනය අපිට වැදගත් වෙන්නෙ මොකක් හින්දා ද කියල ඔය ළමයා කියනවා බලන්ඩ.” චමරි ටීචර් තම පන්තියේ පසුපෙළක වාඩිවී සිටි දඟකාර සිසුවකු වූ ලකී දෙස බලා කීවේ ය.

“මං හිතන්නෙ ටීචර්ට පොඩ්ඩක් වැරැදුණා. ඔය කියන දිනේ පෙබරවාරි 4 නෙමෙයි 14. පෙබරවාරි 14 දා වැලන්ටයින් දිනය. පෙම්වතුන්ගෙ දිනය කියලා බොහොම ඉහළින් සමරන්නෙ ඒ දිනය තමයි.” ලකී කීවේ තමාට ඉදිරි පෙළේ සිටි රජිතා වෙත ප්‍රේමවන්ත බැල්මක් හෙළමිනි.

හිතුණේ නං එහෙමයි

‘සාහිත්‍ය දේශනයට කලින් තේ පැන් සංග්‍රහය පවත්වන්න අපි තීරණය කළේ කාලා බීලා එහෙම‍ හොඳ මනසකින් හැමෝට ම දේශනය විඳ ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය හින්දා. ඉතින් එදා සාහිත්‍ය උත්සවය දවසෙ තේ පැන් සංග්‍රහයෙන් පස්සෙ මහාචාර්යතුමා කරපු දේශනය ඇහැව්වා ම ඇත්තට ම මොනවද හිතුණෙ චන්ද්‍රසිරි මහත්තයා?’ සඳමාලි විමසුවේ සාහිත්‍ය උලෙළට දෙසතියකට පමණ පසු තම කාර්යාලයට ගොඩවූ චන්ද්‍රසිරි ගෙනි.

‘ඒ දේශනය ඇහැව්වයින් පස්සෙ අර තේ බොන කොට කාපුවා ඔක්කොම වමාරන්ඩ හිතුණා, සඳමාලි.’ චන්ද්‍රසිරි කීවේ තම කෝපය යටපත් කර ගනිමිනි.

එයාට රිදුණේ මොකද?

“අර සංස්කෘතික මධ්‍යස්ථානය තියෙන ඉඩම පිටරට සමාගමකට බදු දෙන්ඩ යනවයි කියන ආරංචියට ඒකට සම්බන්ධ කලාකාරයෝ පිකටිං කරන එක හරියි කියමුකො. ඒත් අර මොකද බං හන්දියේ විල්ෆ්‍රඩ් මුදලාලිත් ලොකු බෝඩ් එකකුත් උත්සාගෙන එතැන බෙරිහන් දෙන්නෙ?” උද්ඝෝෂණය වාර්තා කිරීමට පැමිණි ප්‍රසාද් එතැන සිටි කලාකරුවකුගෙන් විමසීය.

“ඇයි ප්‍රසාද්, ඔය අවුරුද්දකට වතාවක් බොහොම ජයට පොත් සල්පිල පවත්වන දවස් ටිකේ ම ඔතන අභ්‍යාස පොත් සේල් එකක් තියන්නෙ ඔය විල්ෆ්‍රඩ් මුදලාලිනෙ.” කලාකරුවා කීවේය.

ඒ හින්දාමත් නෙමෙයි

“මේ පළාතේ ඔය කොළ කැඳ විකුණන තැන් කීපයක් ම තියෙද්දි, මොකද චන්ද්‍රසිරි මහත්තයා උදේට ඇවිදින්ඩ ගියා ම, කොළ කැද බොන්ඩ එක ම තැනකට විතරක් යන්නෙ? එතැන කැඳ ඒ තරමට රහ ද?” ව්‍යායාම පිණිස ඇවිදීමට ගොස් නැවත තම නිවෙස බලා යමින් සිටි චන්ද්‍රසිරිව අතරමඟදී මුණගැසුණු දැදිගම ඇසුවේ සිනහවක් පාමිනි.

“නෑ දැදිගම, කැඳවල රහටමත් නෙමෙයි, එතැනට යන්නෙ. එතැන කැඳ විකුණන අම්මන්ඩිගෙ පෙනුමෙයි, කතාබහෙයි රහට.” චන්ද්‍රසිරි කීවේ ඉඟිමරමිනි. 

Comments

Hello Editor, We expect the jokes to be more sophisticated and better quality ones. Most of your jokes do not have a proper humour value at all. Thanks

පිටු