
පේරාදෙණි විශ්ව විද්‍යාල භූමියේ ඇති ‘වළ’ නාට්‍යකරුවන් අතර ප්‍රකට රංග භූමියක්. ස්වාභාවිකව පිහිටි මෙම ස්ථානය රඟමඩලකට සුදුසු යැයි මුලින්ම හඳුනාගත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. මේ බව ඔහු එවක පේරාදෙණි සරසවියේ උපකුලපතිව සිටි නිකලස් ආටිගලට පැවසු විට ආටිගල මහතා තම නිලධාරීන්ට නියෝග කර රංග භූමිය නිර්මාණය කරන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. වල් කප්පවා, පොළොව තළවා සිමෙන්තියෙන් වටකුරු රඟබිමක් තනවා, මඩුවක් බන්දා මෙය නිමකර තිබෙනවා.
පේරාදෙණි වළේ මුලින්ම රඟ දක්වා ඇත්තේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමෙ’ නාටකයයි. මෙම මංගල රැඟුම ඒ වන විට රොකර්පෙලර් මූල්‍යායතනයෙන් මෙරටට පැමිණ සිටි ගිල් පැට්රික්, විශ්වවිද්‍යාල උපකුලපති ආටිගල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා නුදුරු ගම්වලින් පැමිණි රසිකයන් ද ඉදිරියේ පවත්වා තිබෙනවා. මං හිතන විදියට ‘මනමෙ’ කොළඹට ගෙන ආවේ ඉන් පස්සෙ.
‘වළ’ දැක්කම ඕනෑම කෙනකුට පැරැණි ග්‍රීසියේ පැවැති එළිමහන් රංග භූමි සිහිපත්වීම වළක්වන්න බැහැ. මේ මෑතදී ප්‍රවීණ නාට්‍යකරු රන්ජිත් ධර්මකීර්ති ග්‍රීසියේ කළ සංචාරයකදී ඔහුගේ කැමරාවෙන්ම ගත් එපිඩෝරස් රඟහලේ ඡායාරූපයක් මට දකින්න ලැබුණා. මේ රංග පීඨයේ ප්‍රේක්ෂකයන් 14 දහසකට පමණ නාට්‍ය නරඹන්න අවකාශ තියෙනවා. එයින් පෙනී යන්නේ එකල ග්‍රීසියේ පැවැති අසීමිත නාට්‍ය ප්‍රබෝධයයි. කොහොම වුණත් පේරාදෙණි වළෙත් ප්‍රේක්ෂකයන් හත්සීය පනහක් දාහක් අතර ප්‍රමාණයකට නාට්‍යයක් නරඹන්න පුළුවන්.
ඕනෑම නාට්‍යයක සාර්ථක අසාර්ථකත්වය ‘වළේ’ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් දැනගන්ට පුළුවන්. සද්දයක් බද්දයක් නැතිව නාට්‍යය බලනවානම් ඒක හොඳ, සාර්ථක නාට්‍යයක්. ‘හු’ කියමින් කෑකෝ ගසමින් (කොටින්ම නාට්‍යය පවත්වගෙන යන්ට ඉඩ නොදෙන මට්ටමටම) ශිෂ්‍යයන් හැසිරෙනවානම් ඒක අනිවාර්යයෙන්ම අසාර්ථක නාට්‍යයක්.
ප්‍රේක්ෂකයන්ගේ අත්පොළසන් යනු නාට්‍යකරුවකුට වොඩ්කා බඳුනක් බඳු යැයි රුසියානු කියමනක් තිබෙනවා. එසේනම් ‘හු’ කියමින් කෑගහන එකට දිය හැකි උපමාව මොකද්ද? මං හිතන්නේ ඒක හරියට සොක්‍රටීස්ගේ වස බඳුන වගේ වෙන්න පුළුවන්.
අපේ නාට්‍යකරුවන් පේරාදෙණි ‘වළේ’ මේ අත්දැකීම් දෙකකටම අඩුවැඩි වශයෙන් මුහුණ දී තිබෙනවා. කිසියම් නාට්‍යයක සාර්ථක අසාර්ථකත්වය තීන්දු කරන ඉතා වැදගත් සාධකයක් තමයි වලේ නාට්‍ය දැක්මකට ලැබෙන ප්‍රතිචාර හෙන්රි ජයසේනගේ ‘සරණ සියොත් සේ පුතුනි හඹා යන’ නාට්‍යය වළේ රඟ දක්වද්දි ප්‍රේක්ෂකයන් ඒ නාට්‍යය පෙන්වන්නම ඉඩ දුන්නේ නැහැ. මෙයින් තම නාට්‍යයේ අසාර්ථකත්වය සාක්ෂාත් කරගත් හෙන්රි ඒ දර්ශනයෙන්ම ඉතිරි දර්ශන අවලංගු කර නාට්‍යය නවතා දමා තිබෙනවා.
ප්‍රේමරන්ජිත් තිලකරත්නගේ ‘කෝන්තරේ’ නාට්‍යය වළේ පෙන්වද්දි ඒකටත් සිසුන් ‘හූ’ කියා තිබෙනවා. එකල සරසවියේ විනය පාලකව සිටි මහාචාර්ය ඈෂ්ලි හල්පෙ වේදිකාවට පැමිණ මෙසේ කියා තිබෙනවා.
“නෝනාවරුනි, මහත්වරුනි, මං එහෙම කිව්වේ ඒ වර්ගයේ කීප දෙනෙක් හරි මෙතැන ඉන්න නිසයි. කාටහරි මේ නාට්‍යය බලන් ඉන්න බැරිනම් කරුණාකරලා නැඟිටලා යන්න පුළුවන්. “උඩ ගේට්ටුවේ කෙනෙක් ඉන්නවා. එයා රුපියල ගෙවයි” (එකල මෙහි නාට්‍ය ප්‍රවේශපත්‍රයක මිල රුපියලකි)
ඊට පස්සෙ ශිෂ්‍යයෝ ටික සද්ද නැතිව නාට්‍යය නරඹන්ට පටන්ගත්තා. ඔන්න ටික වේලාවක් ගියා. ප්‍රේක්ෂකයන් අතරින් කවුදෝ කෙනෙක් කෑගහලා මෙහෙම කියනු කාටත් ඇසුණා.
“මචං පොඩි කෑල්ල වුණත් හල්පෙකාරයා නියමෙට රඟපෑවානේ.”
ඒත් එක්කම ආයෙත් ‘හූ’ හඬ නොනවත්වාම ඇසෙන්ට පටන්ගත්තා. ප්‍රේමරන්ජිත්ට නාට්‍යය අතරමඟ නවත්තලා නළු නිළියනුත් එක්ක කොළඹ එන්න සිද්ධ වුණා.
ශේක්ෂ්පියර් ඇවිල්ලා ‘වළට’ ඇවිත් නාට්‍යයක් කරනවයි කිව්වත් ඒ නාට්‍ය නොබලන සිසුහුත් පේරාදෙණියෙ ඉන්නවා. මහාචාර්ය සරච්චන්ද්‍ර ඒ අයට කිව්වේ ‘කොට කලිසම් ඕඩියන්ස්’ කියලා. ඔවුන් තවමත් මනසින් සාමාන්‍ය පෙළ පන්තිවල ඉන්න අය ලෙසයි ඔහු සැලකුවේ.
අසූ ගණන්වලදී ‘වළ’ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය ලෙස නම් කෙරුණා. මොන වුණත් පනහ, හැට ගණන්වල පේරාදෙණියේ හිටියේ උගත්, බුද්ධිමත්, පැසුණු රසඥතාවයක් තිබූ සිසුන්. එහෙත් අද ඉන්නේ මැටි මෝල්ලු ටිකක් බව මෑතදී කෞශල්‍යා ප්‍රනාන්දුගේ නාට්‍යයකට හා ‘බේකරියේ අපේ කට්ටියේ’ අයගේ සංගීත ප්‍රසංගයකට දක්වපු මුග්ධ ප්‍රතිචාරවලින් තහවුරු කෙරෙනවා.