තොරතුරු නොදුන්නොත් නඩු | සිළුමිණ

තොරතුරු නොදුන්නොත් නඩු

 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත දැන් බලාත්මක බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මේ කෙටුම්පත පසුගිය මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ජූනි මාසයේ දී පැවැත්විණ.

තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කර මාස හයක් තුළ එය ක්‍රියාවට නැංවිය යුතු අතර ඒ අනුව පසුගිය 03 දාසිට මෙම පනත බලාත්මක වේ. මෙම පනත ක්‍රියාවට නැංවීමත් සමඟ මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබාදීමට රජය බැදී සිටියි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු, පෞද්ගලික වෛද්‍ය වාර්තා ඇතුළු කරුණු ගණනාවක් යටතේ ඇති තොරතුරු ලබානොදෙන බවද ඇමතිවරයා පැවසීය.

මේ පනතට අනුව පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇත. ඒ සඳහා තොරතුරු නිලධාරීන් පත්කර අවසන් බවද ඇමතිවරයා කීය. තොරතුරු ලබාගැනීම සඳහා ලිඛිතව, විද්යුත් තැපැල් මඟින්, වාචිකව ආදි ක්‍රමවේදවලින් තොරතුරු ඉල්ලා සිටිය හැකි අතර අදාළ තොරතුරු දින 14 ක් තුළ ලබාදිය යුතුවේ.

එමෙන්ම යම් අයෙකු ඉල්ලා සිටින තොරතුරු නොදී සිටීමට, වසන් කිරීමට යම් නිලධාරියෙකු උත්සාහ කරන්නේ නම් එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

පුරවැසියෙකු ඉල්ලා සිටින ‍තොරතුරු සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවන අවස්ථාවක අභියාචනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් අභියාචනා නිලධාරීන්ද පත් කර ඇති අතර එයින්ද සෑහිමට පත්නොවන්නේ නම් අභියාචනාධිකරණයට පවා යා හැකි බවත් ඇමතිවරයා කීය.

යම් පුරවැසියෙකු ඉල්ලා සිටින තොරතුරු සැපයීමේදී ඒවා ලබාදිමට අයකරන ගාස්තු ක්‍රමවේදයක් සකස් කර ඇති අතර පළමු කොළ දෙක (පිටු හතර) නොමිලේ ලබාදිමට තීරණය කර ඇත.

Comments