නමෝ නමෝ මාතා | Page 2 | සිළුමිණ

නමෝ නමෝ මාතා

 “අපට නිදහස ලැබුණහම අපි ප්‍රථමයෙන් කල්පනා කෙරුවෙ (ඒ පළමුවෙනි ආණ්ඩුවෙත් මම හිටිය ඇමතිවරයෙක් හැටියට) මේ අපේ රටයි: අපි මේ රටේ මනුෂ්‍යයන් හැදීමට උදව් දෙන්න ඕනෑ. අපේ භාෂාව, ආගම ආදි ජාතික උරුම නැතිවෙන තත්ත්වයට ඇවිල්ල; බිඳවැටිල - ඇදවැටිලා - කඩාවැටිලා, තිබුණ සමාජයක් තමයි ඉංග්‍රීසි පාලකයන්ගෙන් උරුමයක් හැටියට ලැබුණේ.“

මේ JRJ දේශපාලන සූත්‍ර අංක 2 සිහි වුණේ 69 වැනි ජාතික නිදහස් සැමරුමට පස්සෙ. මෑත කාලයේ හැම අවුරුද්දකම වගේ ජනවාරි අග වන විට සමුනිගේ මනස හා ආත්මය තුළ කැකෑරෙන චරිත දෙකක් තියෙනව. ඒ, ආනන්ද සමරකෝන් හා JRJ. එයිනුත් JRJ මතක අලුත් වෙන්නෙ, ඔහුගේ හැබෑ ජාති හිතෛෂී බව, එහෙම නැත්නම් ජාතිමාමක හෝ ලාංකික ජාතිය කෙරෙහි ඔහුට තිබූ ඇම්ම හෝ උණ නිසා. ඒ උණ JRJ ට උත්සන්න නොවුණ නම් අද අපට සිංහල හා දෙමළ භාෂාවෙන් ගයන්නවත් ඉංග්‍රීසියට පෙරළන්නවත් මාහැඟි ජාතික ගීයක් ලැබෙන්නේ නෑ.

හොඳ සාහිත්‍යධරයෙක් වගේම ජාතික උරුමයන් ගැන කැක්කුමක් තිබිච්ච කොමියුනිස්ට්වාදී පාසල් ගුරුවරයෙක්, හය - නවය ශ්‍රේණි දක්වා සමුනිගේ සිංහල ගුරුවරයා විදිහට ඉඳල තියෙනව. ඔහු නමින් පියදාස වැලිකන්නගේ. වැලිකන්න සර් පාඩමකට මඟ පාදගන්නේ රටේ සමස්ත සංස්කෘතියෙන් පෙරාගත් කොටසක් එක්ක. අටේ පන්තියේදී පාඩමක් පටන් ගත්තෙ, ලංකාවට ජාතික ගීයක් නොතිබුණු යුගයෙ - පළමු වතාවට ඔලිම්පික් ගිය ලංකා කණ්ඩායමට වූ ඇබැද්දියක් සිහිකරමින්. ඒ ඒ රටවලින් පැමිණි ක්‍රීඩා කණ්ඩායම් තම තමන්ගේ ජාතික ගීය ගයද්දී අපේ අය තක්කු මුක්කු වෙලා. ඇයි? එහෙම එකක් ලංකාවට නෑනේ! ඒ වුණත් මොකක් හරි ගයන්න ඕන. එක පාරටම ඔවුන් ජාතික ගීයක් ගායනය කළා.

“දන්නෝ බුදුන්ගේ... ශ්‍රී ධර්මස්කන්දා...

යැංකි ඩිකී, තම්බි මුදියන්සේ ආදී කී - නොකී අන්දමින් JRJ දේශපාලනික වශයෙන් අවමන් සහගතව පට්ටා ගැසීමේ; වම හා මැද මාවතේ දේශපාලන ව්‍යාපාර උත්සාහය ලේසියෙන් අතැරියෙ නෑ. JRJ ජාතිකාලයක් නැති පරගැති මතවාදවල අනුගාමිකයකු විදිහට ජනතාවට ඒත්තු ගැන්වීමට තමයි ඔවුන් උත්සාහ කළේ. ඒත් බොරුව කණපිට හරවන්න පුළුවන් වුණේ විවෘත මනසක් ඇති පුරවැසියන්ට ජාතික ගීයක අවශ්‍යතාව JRJ ඉස්මතු කිරීමත් එක්ක.

රට, භාෂාව හා සංස්කෘතික උරුමයන් ගැන වඩාත් ගැඹුරින් හා ඉහළින් කල්පනා කළ JRJ ‘දන්නෝ බුදුන්ගේ’ සිද්ධියෙන් කිසියම් ජාතිමාමක කම්පාවකට ලක්වුණා වගෙයි. ඒ විතරක් නෙවෙයි, විකාර ජාතික ගී පෝලිමක්ම මේ සිද්ධියෙන් පස්සෙ තැන් තැන්වල හැදෙන්න පටන් ගැනීම ගැනත් JRJ විමසිලිමත් වුණා. ලාංකික ජාතියේ කඩා වැටීම එසේ තිබියදී අවුරුදු 142 ක් එනම් සියවස් එක හමාරක් විතර ලංකාවේ ජාතික ගීය ලෙස භාවිත කළේ God save the queen (king) යන බ්‍රිතාන්‍ය ජාතික ගීය නිසා එය තවදුරටත් බලවන්ත නොකළ යුතු බවත් JRJ ගේ සිතේ මෝරමින් තිබුණා.

කොහොම නමුත් නිදහස් සටන් ව්‍යාපාරය මෝදු වීමත් එක්ක දේශාභිමානී සාහිත්‍යයේ (පුවත්පත් - සඟරා - පොත්පිංච) වර්ධනාත්මක පිමි දකින්න ලැබෙනව. ඒ අස්සෙ ජාතික ගී හැදෙන ගැයෙන ප්‍රමාණය වැඩි වුණා. ආනන්ද සමරකෝන්ගේ ගීවලටත් ආදරණීය හැඟීමක් JRJ ට ඇති වුණා. ජාතික සටන් අස්සෙ පිපෙන ජාතික ගී බිම්මල් දිහාත් කන් ඇරගෙනයි JRJ හිටියෙ.

ඇස්. මහින්ද හිමියන්, ‘දින දින දිනෙ දිනෙ සිරිලක ජාතික ආලේ’ මැයෙන් නිදහස් සටන තුළ ජාතික ගීයක් ලිව්වා. හැබැයි ඒකෙන් සමාජයට ගිය පණිවුඩය ටිකක් නෙවෙයි ගොඩක්ම අවුල්. මහින්ද ජාතික ගීයේ පහත පද ලාවට වගේ කියවල බලමු.

“ජාතික රුධිරය යුද්ධ බිමේහී - ලූ අප නරවිරු ලාමු මෙනෙහි

ජාතික නිදහස යුද්ධ බිමේහී - පෝරට ඇති දෙය ලේය ඇ‍ඟේහි”

මේ වගේ අසාර්ථක ජාතික ගී රැසක්ම JRJ ට ඇසීමෙන් ඔහු නොසතුටට හා කනගාටුවට පත්වීම ස්වභාවිකයි. මන්ද JRJ ගේ ප්‍රඥාව - මානව දයාව හා දේශපාලන භාවිතයෙන් මේවා බොහෝ ඈත නිසා. ඔහුට අවශ්‍ය වුණේ ලාංකිකයා හා ලංකාව කෙරෙහි පක්ෂපාතිත්වයක්, ආදරයක්, භක්තිමත් බවක් හා රටේ සියලු ජන කොටස්වල කුළුපගතාව වඩවන ජාතික ගීයක්.

සංගීතඥ ඇම්. ජී. පෙරේරා, පුවක්පිටියේ ජේ. පී. වැලිවිට, JRJ සාමාජිකත්වය ඉසිලූ ලංකා ජාතික සංගමයේම ‘ජාතික ගීය’ විතරක් නෙවෙයි, ඉන්දීය ජාතික ගීයේ පසුපස යමින් ආනන්ද සමරකෝනුන් විසින්ම නිර්මාණය කළ ‘ජන සැම මන අධිපතියෙනි’ ගීතයත් JRJට හරිගියෙ නෑ. සමරකෝනුන්ගේ ‘ජන මන සැම’ ජාතික ගීයට එරෙහිව අප කවුරුත් දන්නා නිදහස් අධ්‍යාපනයේ පියා - ඒ කියන්නෙ JRJ ගෙ කැබිනට් සගයෙකු වූ අධ්‍යාපන ඇමැති සී. ඩබ්ලිව්. කන්නන්ගර පවා ලංකා ජාතික ගීයක් රචනා කළා. සමුනිට හැ‍ඟෙන විදිහට මෙතෙක් රචනා වූ ජාතික ගීවලින් ඔල්මොරොන්දම් ගීය විදිහට JRJට හැ‍ඟෙන්න ඇත්තේ මේ ගීතයයි. මේ පද කීපයෙන් පවා JRJට මල පනින්න ඇති.

“දුසිරිත වැඩිවී කොලහල ඇතිවී සමගිය නැතිවී ජාතිය වැනසී

අයියෝ මාතා ඉන් ළත වෙන්නා සෝගින්නෙන් පීඩිතවපෙළෙන්නා

කිත් යස ඉසුරුත් කිරුළුද නෑ දැන් කෙත්වතු ගම්බිම් සන්තක වේ අන්

සිංහල තරුණෝ ඇයි නොල සින්නේ ලංකා මාතාගෙ දුක නොබලන්නේ”

මේ සියලු ජාතික ගී අලකලංචි අස්සෙ එක් එක් පුද්ගලයාගේ මොළේ රෝග අනුව ලියන - ගයන ‘ජාතික ගී’ හා නියම ජාතික ගීයක ගුණාත්මක බවෙහි වෙනස හඳුනා තේරුම් ගත යුතු බව JRJ ගේ අදහස වුණා. මේ 2 වන සූත්‍රයෙ JRJ අපේ රට කියා භාවිත කරන්නේ අපේ රාජ්‍යය කියන අර්ථයෙන්. රජයකට වෙන්වූ භූමියක් තියෙනව. ඒ භූමියෙ ජීවත් වෙන රටවැසියන් ඉන්නව. ඒ වගේම එයට ස්වාධීන අධිපති බලයක් තියෙනව. ආණ්ඩුවකුත් තියෙනව. රාජ්‍ය ලාංඡනයකුත් තියෙනව. හැබැයි රාජ්‍ය කොඩිය හා ගීතය කියල සඳහනක් නෑ. ඒවට කියන්නේ ජාතික කොඩිය හෝ ගීය කියල. මෙයින් පෙනෙන්නෙ රාජ්‍යයටත් වඩා උතුම් දෙයක් ජාතිය තුළ තියෙන බවට JRJ කරන ඇඟවීමක්.

ලංකාවේ ජනවර්ග කිහිපයක් ඉන්නවා. අඩුම තරමින් භාෂා තුනක් ප්‍රමුඛයි. ඒ ඒ ජාතීන්ට ආවේණික මෙන්ම පොදු සාධක බවට පත්වූ ආගම් හා සංස්කෘතීන් ද තියෙනව. JRJ 2 වන සූත්‍රයේදී අපේ භාෂාව, ආගම හා ජාතික උරුමය කියල කියන්නෙ තමන්ගේ ආත්මික බුද්ධි බලය සතු පුළුල් ප්‍රඥ‍ාවෙන්, භෞතික රාජ්‍ය බලයට වඩා ඉහළින් ඇති ආධ්‍යාත්මික වූ උතුම් බලයක් ගැන.

සමුනි මේ 2 වන සූත්‍රය ගලව ගත්තේ, 1977 අගභාගයේදී ඇතිවූ ජාතිවාදී කල කෝලහල සමනය කිරීමත් සමඟින් ‘එකම ලංකාවක්’ මැයෙන් JRJ රත්මලාන හින්දු විද්‍යාලයේ කරපු දේශනයෙන්.

මේ ‘එකම ලංකාව’ කියන අදහස තමා JRJට ලංකාවේ ජාතික ගීයෙනුත් එදා - ඒ කියන්නෙ 1950 අප්‍රේල් තහවුරු කරන්න ඕන වුණේ. මුදල් අමාත්‍ය ජේ. ආර්. ජයවර්ධන විදිහට ඔහු එදා කැබිනට් සංදේශයක් මඟින් යෝජනා කරනව, ආනන්ද සමරකෝනුන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය ජාතික ගීය විදිහට රජය විසින් පිළිගැනීම සුදුසුයි කියල. JRJ ඒ යෝජනාවෙන් විතරක් නතර වුණේ නෑ. ඔහු කැබිනට් මණ්ඩලයට ඊට හේතු පාඨයන් ද පැහැදිලි කරනව.

රාජ්‍ය උත්සව වලදීත් (1949 පැවති දෙවන නිදහස් දින උලෙළේදී ජාතික ගීය ලෙස පාසල් සිසුවියන් ලවා ගායනා කරන ලදී) සෙසු බොහෝ උත්සවවලදීත්, වරින් වර ලංකා ගුවන් විදුලියෙන් (එවකට තිබුණ එකම විද්‍යුත් මාධ්‍ය) කවුරුත් අතර ජනප්‍රියව තිබෙන (HMV සන්නාමය යටතේ ග්‍රැමෆෝන් තැටියක් විදිහට 1946 දී නමෝ නමෝ ගීතය අධි ජනප්‍රියත්වයක් හා අලෙවියක් ලබා තිබිණි) මේ ගීතය ජාතික ගීය විදිහට ඉතාමත් සුදුසුයි. නමෝ නමෝ ගීතය ජාතික ගීය විය යුතුයි කියල කැබිනට් මණ්ඩලයට පිළිගන්න වෙන්නෙ 1951 නොවැම්බර් 22 දා.

ඇත්තටම මේ හේතු පාඨ යටින් ඇත්තේ JRJ ගේ කලා රුචිකත්වය, රාජ්‍ය තාන්ත්‍රික කුසලතාව මෙන්ම මානසිකව ආධ්‍යාත්මික බුද්ධි බලයයි. සමුනිට වැටහෙන අයුරින් ඔහුට මානසිකව බලපෑම් කර ඇත්තේ ඒ පද පෙළ හා ඊට අයත් තනුව සාමූහිකව හඬ නඟා ජවයෙන් යුතුව ගායනා කළ හැකිවීමයි. එය නිකම්ම නිකම් සාමූහිකත්වයක් නෙවෙයි. රටේ ජීවත්වන ඕනෑම ජාතියක පුද්ගලයෙකුට ජාතික ගීය ඇසෙන - ගයන විටකදී සුබවාදී චිත්තවේග පුබුදු කරවීමයි.

JRJ දේශපාලන පොරපිටියේදී පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදී ද ජනහද ගැස්ම හෙවත් ජනප්‍රිය සංස්කෘති පිළිබඳ විශේෂඥයෙක්. ආනන්ද සමරකෝනුන් හට ඒ අවදියේ පැවැති ජනප්‍රියත්වය සැසඳිය හැක්කේ පසුකාලීනව ජෝතිපාලට පමණයි. ප්‍රබුද්ධ සංස්කෘතියක් හා ඊනියා දේශීය චින්තනයක් ගැන කයිය ගහන අහංකාර ස්ත්‍රී පුරුෂයන්ට JRJ ජාතික ගීය රටට හඳුන්වා දෙමින් උත්තර දී ඇත්තේ, රටටම දැනෙන ඵලදායක අයුරින් මිස ‍ඉෂ්ටානිෂ්ට විකාර ගණ පිහිටුවීම් තුට්ටුවකටවත් නොසලකමින්. නමුත් JRJගේ දේශපාලන විරුද්ධ බලවේග විසින් අක්ෂර - ගණ - යෝග ඇදගෙන ඔහුට දුන් ප්‍රහාර නිසා සියදිවි නසාගැනීමට සිදු වූයේ අහිංසක ආනන්ද සමරකෝනුන්ටය. ඒත් සමුනිගෙ පෞද්ගලික විශ්වාසය නම්, ජාතික ගීය නමෝ නමෝ මාතා කියා පටන් ගන්නවාට වඩා ශ්‍රී ලංකා මාතා කියා ඇරැඹීමෙන් එයට ජවයක් මෙන්ම කනට මී පැණි වැක්කිරීමක් ද සිදුවී ඇති බවයි.

 

Comments