ගබ්සාව සහ ගල් | Page 2 | සිළුමිණ

ගබ්සාව සහ ගල්

 ගබ්සාවක් කී පමණින් අපේ මිනිසුන් තුළ මතුවන්නේ මිනීමැරීමක් කළා වැනි හැඟීමකි. ගබ්සාව ද එක්තරා ආකාරයක මිනිස් ඝාතනයකැයි තර්ක කළ හැකිය. මන්ද තාර්කිකව බලන කල ගැබ තුළ පවතින්නේ කලලයක් බැවිනි. එය ද ජීවියෙකි. තම කුස තුළ ඇති කලලය විනාශ කිරීමට හෝ එවැනි තීරණයක් ගැනීමට ගැබිනියකට, කාන්තාවකට වුව අවසර නැත. නීතියට අනුව සියදිවි නසා ගැනීම තහනම් වූ රටක ගබ්සාව තහනම් වීම අරුමයක් නොවේ.

ගබ්සාව තහනම් කිරීම තුළ ප්‍රජනනය සම්බන්ධයෙන් ගැහැනියක සතු අයිතිය උදුරා ගැනීමක් සිදුවන බව බටහිර මතයයි. ඔවුන්ට අනුව ගබ්සාව නීති විරෝධී කොට සැලකීම තුළින් සිදුවන්නේ ජීවත්වන ගැහැනියකගේ අයිතිය පැහැරගෙන මෙලොව ජනිත නොවූ දරුවකුගේ අයිතීන් ආරක්ෂා කිරීමකි.

ගබ්සාව මෙරට සමාජ මාතෘකාවක් වන්නේ මේ වාතාවරණය මැදය. ඒ නොබෝදා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව හේතුවෙනි. මෙම කැබිනට් පත්‍රිකාවෙන් අවසර පතන්නේ ස්ත්‍රී දූෂණයකට ලක්ව ගැබ් ගැනීමක් සිදු වූ වින්දිත පාර්ශ්වයට , අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් අගතියට පත් වූ විට,ලේ ඥාතීන් අතර ඇති වූ ලිංගික සබඳතා හේතුවෙන් (ව්‍යභිචාරය) ගර්භනීයත්වයට පත් වූවන් වෙනුවෙන් හා වෛද්‍ය උපදෙස් මත සිදුකරන ගබ්සාවන්ට නීතීමය පිළිගැනීමක් ලබා දීම සම්බන්ධවයි.

එය වැරදිද? සදාචාර විරෝධී ද? මහ මඟ දමා යන දරුවන්, වීථි දරුවන් මෙන්ම අනාථ එසේත් නැතිනම් අවජාතක දරුවන් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින වටපිටාවක අපට සරල තර්ක විතර්කවල මත හිඳිමින් තවදුරටත් වාද විවාද පවත්වමින් සිටිනු බැරිය.

ශ්‍රී ලංකාව සමඟ සසඳන කල ලෝකයේ අන් රටවල තත්ත්වය බෙහෙවින්ම වෙනස්ය. ඇමෙරිකාවේ ගබ්සාව නීති විරෝධී වන අතර එහි නීති විරෝධී ගබ්සාව නිසා මිය යන මව්වරුන් ගණන දළ වශයෙන් වසරකට මිලියන 4ක් බව ගණන් බලා තිබේ.

ඕලන්දය ගබ්සාව නීතිගතකොට තිබේ. ඔවුනට අනුව සති 22-24 ත් ඇතුළත කලලයට පුද්ගලභාවයක් නොමැත. ලොව අඩුම ගබ්සා ප්‍රතිශතය පවතින රට ලෙස ද ඕලන්දය සැලකේ. ඕලන්දයේ වසරකට ගබ්සාවන් සිදු කරන්නේ 1000කට 6ක් පමණි. නීති විරෝධී ගබ්සාව හේතුවෙන් මියයන පිරිස ලක්ෂයකට 330ක් වන අතර නීත්‍යනුකූලව ගබ්සාවන් හරහා මියයන ප්‍රමාණය ලක්ෂයකට 0.7 ප්‍රතිශතයකි.

පෝලන්ත රජය ගබ්සාව නීතිගත කර නොමැති අතර පෝලන්ත කාන්තාවෝ ගබ්සාව නීතිවිරෝධී කිරීම තුළ අභිජනනය සතු කාන්තා අයිතිය පැහැර ගැනීමක් ලෙස දක්වමින් තම අයිතීන් වෙනුවෙන් සටන් වදිති.

ඉන්දියාවේ ගබ්සාව නීතිගත කර ඇති අතර දරු ගැබට සති 20කට පෙර ගබ්සාවක් කළ යුතුය. බංග්ලාදේශය ගබ්සාවන් අනුමත කරන්නේ කලලයට සති 10ක් ඉක්මවීමට පෙර පමණි. තායිලන්තයේ ගබ්සාවන් සිදු කිරීමට අවසර ඇත්තේ ව්‍යභිචාර, දූෂණය හෝ මවගේ ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයේ පවතින ගැබ් ගැනීමක දී පමණි.

ශ්‍රී ලංකාවේ ගබ්සාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මෙරට ගබ්සාවක් සිදුකළ හැක්කේ වෛද්‍ය නිර්දේශ මත මවගේ ජීවිතයට තර්ජනයක් ඇතිනම් පමණකි. එබැවින් ලංකාවේ නීත්‍යනුකූල රැකවරණයක් නොමැතිව රහසිගතව සිදු කරනු ලබන ගබ්සා හේතුවෙන් ශාරීරික, මානසික මෙන්ම ලිංගික වශයෙන්ද කාන්තාව අනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටින්නීය.

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාවන් 650ක් සිදු කෙරේ. සියල්ලන්ටම නොව නීතිය තුළ මවගේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන ගැබ් ගැනීම්වලට පමණක් නොව ව්‍යභිචාර, දූෂණය වැනි සාධාරණ හේතූන්ට මේ තත්ත්වයේ නීතිය ලිහිල් කිරීමක් සිදු කිරීම වරදක් සේ ගැනීම සාධාරණ නොවේ. එහෙත් මෙරට පවතින සංස්කෘතික කාරණා අමතක කළ නොහැකිය. ඒවා බිඳ දැමීම ද එතරම් පහසු නොවේ. යම් හෙයකින් ගබ්සාව නීතිගත වුව ද ප්‍රසිද්ධියේ ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා දුර්ලභ වනු ඇත. එය ලාංකේය සංස්කෘතියට බලපාන කාරණයකි. නමුත් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය, පොලීසිය, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ඇතු පාර්ශ්ව කිහිපයක් එක්ව ගනු ලැබූ උක්ත තීන්දුවට ගල් වදිනු නැතැයි සිතිය නොහැකිය. එසේ වුව ද අපට තව දුරටත් ගල් ගුහාවලම සිර වී සිටිනු බැරිය.

Comments