
ඉඩෝරය දිගට ම පවතින්නේ වුව; සමාජයේ සෙසු කටයුතු ස්වභාවික ආකාරයෙන් ම සිදු වෙයි. ගමේ ඇත්තකුට ගහ - කොළ අමතක කළ නොහැකි ය. කුඹුර, වැව, අමුණ අමතක කළ නොහැකි ය. මිනිස් සත්වයාගේ අධ්‍යාත්මය පෝෂණය වන්නේ ද, සිරිත්විරිත් පවතින්නේ ද ඔහු ජීවත්වන පරිසරයට අනුව යැයි සිතන්නට පුළුවන. එසේ ම පුද්ගලයාගේ විශ්වාස ඇදහීම් හා වින්දන රටා ද ජීවිතයේ හැඩතල වෙනස් කරන බව පෙනී යයි.
අද අපගේ අවධානයට ලක්වන්නේ උගත් තරුණ ජෝඩුවක් තම සංස්කෘතිය වැලඳගෙන හෙළ සිරිතට අනුව චාම් උත්සවයකින් තමන්ගේ දිගුකාලීන ජීවිතය ආරම්භ කළ ආකාරය ගැන ය.
විටෙක එහි විස්මයක් තිබේ. තව විටෙක එහි සුන්දරත්වයක් තිබේ. තවත් විටෙක එහි නූතනත්වයක් ද තිබේ.
දිනය 2017, ජනවාරි, 23 දා ය. ස්ථානය ගම්පහ මිනුවන්ගොඩ, යකහටුව ගම්මානයේ අති සුන්දර වෙල්යායකි. එහි අපූරු මංගල උත්සවයක් පැවැත්වෙයි.
මනමාලයා කඩවසම් සිරුරකට හා ප්‍රියමනාප මුහුණකට හා අහිංසක සිනහවකට උරුමකම් කියන අපූරු තරුණයෙකි. ඔහු යසන්ත නම් වේ. ඇය ඕෂී නම් වේ. ඕෂී උසට සරිලන මහතින් යුතු සුන්දර යුවතියකි.
දෙදෙනා ම රටට ආදරය කරන්නට ඇත. සංස්කෘතියට ගෞරව කරන්නට ඇත. චාම් බවට ඊටත් වඩා ආදරය කරන්නට ඇත. එහි ප්‍රතිඵලය වෙල් එළියේ මංගල උත්සවයක් පැවැත්වීම ය.
ඉපනැල්ල යාන්තමට තිබුණ ද එය පයට අවහිරයක් වී තිබුණේ නැත. තල්අතු, ගොක්කොළ හා තවත් පරිසර හිතකාමී ද්‍රව්‍යවලින් සැකැසුනු අපූරු පෝරුවක් වෙල මැද්දේ ඉදිකර තිබිණි. හරියට ම පෙ.ව. 6.50 ට පෝරුවේ චාරිත්‍ර ආරම්භ විය. ඕෂී ඔසරියකින් සැරසී උඩරට මනාලියක් ලෙස පෝරුවට නැංගා ය. යසන්ත සරමකින් හා සුදු බුෂ් කෝට් එකකින් සැරසී පෝරුවට නැංගේ ය. ඔහුගේ දිගු කොණ්ඩය “පෝනි ටේල්” එකක් ලෙස බැඳ තිබිණි. අෂ්ඨක කියැවිණි. චාරිත්‍ර අකුරට ම සිදු විය. පෝරුවේ කටයුතු හරියට ම පෙ.ව. 7.20ට අවසන් ය.
ඥාතියෝ හා මිත්‍රයෝ සියයකට වැඩි පිරිසක් රැස්ව සිටියෝ ය. මත්පැන් සාද නැත. කන් පැලෙන ශබ්ද පූජා නැත. බෙර හඬක්, සක් හඬක්, තාලම්පට ගැටෙන හඬක් පමණක් ඇසිණි. ඒ අතර හිමින් සැරේ අපේ තානමක් අල්ලනු දක්නට ලැබේ.
තාන තාන තඳේ
නා තඳනා.....
අලුත් ජෝඩුව තාලයට නටන්නට පටන් ගත්තා.
එතැන වූ තවත් විශේෂත්වයක් වන්නේ සංග්‍රහය සඳහා මුළුමනින් ම පාහේ දේශීය රසකැවිලි යොදාගෙන තිබීම ය. කැවුම් - කොකිස් - මුංකැවුම් - අළුවා - වැලිතලප - ආස් මී, කෙසෙල් ගෙඩි ඇතුළු සියලු දේශීය රසකැවිලි එහි තිබිණි. සියලු දෙනාට සිත් සේ සප්පායම් විය හැකි ය.
මංගල ගමනට සූදානම් කර තිබුණේ පරණ ගොං කරත්තයකි. හෙවත් බරබාගයකි. එය ඇදගෙන යෑම සඳහා සුදු පැහැති ජවසම්පන්න ගොනකු යොදාගෙන තිබිණි. ඒ කරත්තය ජය සංකේතයක් ලෙස ද සලකන්නට පුළුවන.
ජීවිතය කෙතරම් සුන්දර ද? සරල ද?
තරු පහේ හෝටල්වල මංගල උත්සව සඳහා රුපියල් ලක්ෂ ගණන් වැය කරන අය අපට හමුවෙති. ඔවුහු ණය වෙමින් ද, කන - කර උකසට තබමින් ද මහා ආටෝප - සාටෝප උත්සව පවත්වති. විශාල ශබ්දයක් හා විශාල වියදමක් සහිතව අවසන් වන මේ උත්සව ඇතැම් කෙනකුට මහා කරදරයකි. මේ උත්සවය අතිශය චාම් ය. වියදම ඉතා අඩු ය. එහෙත් තෘප්තිය උපරිමයෙන් පවතී.
මම කැම්පස් එකෙත් නාට්‍ය කරන කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම මට ආසාවක් තිබුණා අපේ සම්ප්‍රදායට ගැළපෙන කුඹුර මුල් කරගෙන දෙයක් කරන්න. ඉතින් ඒ විදියට තමයි කුඹුරු අස්වද්දලා තියෙන නිසා කමත තේමාව කරගෙන මම විවාහය කළේ. මගේ හිතේ තිබුණු විදියට යාළුවොත් එකතු කරගෙන මට ඒක කරන්න පුළුවන් වුණා. ලොකේෂන් හදන්න සති 2ක 3ක වගේ කාලයක් ගියා. විවාහ උත්සවයට දෙපැත්තේ නෑදෑයෝයි යාළුවොයි 100කට විතර තමයි ආරාධනා කළේ. මෙම අවස්ථාවට ආපු පිරිමි පාර්ශ්වය සරමකින් සහ කමිසයකිනුත් කාන්තා පාර්ශ්වය ඔසරියකින් සැරසිලා තමයි ආවේ. කිසිම මත්ද්‍රව්‍ය සංග්‍රහයක් මේකට තිබුණෙත් නැහැ. උදේ 6.50ට පෝරුවේ චාරිත්‍ර පටන් අරගෙන 7.20 විතර වෙනකොට ඉවර වුණා.
කැලණිය විශ්වවිද්‍යාලයේ යසන්තගෙත් ඒ විශ්වවිද්‍යාලයේම බාහිර උපාධිය හදාරන ඔෂීගේත් සුන්දර ආදර කතාව ගැන නැවතත් සිහිපත් කරන්නේ මෙසේ ය.
“මම කැලණියේ බාහිර උපාධියේ දේශකයකු ලෙස සහභාගී වෙනකොට උපාධිය ගන්න ආපු දැරිවියක් එක්ක තමයි මේ ආදර පළහිලව්ව පටන් ගන්නේ. අපි අවුරුද්දක් විතර කාලයක් ආදරේ කරලා තමයි මේ විදිහට එකතු වුණේ. හැමදේකටම වඩා ඉක්මනින් මට එයාව මගේ ළඟට ගන්න ඕන වුණා. ඒ නිසා ගිය අවුරුද්දේ දෙසැම්බර් 25 විවාහ ගිවිස ගත්තු අපි මේ විදිහට විවාහ වෙන්න ඕනෑ කියලා හිතුවා.”
අතිනත ගත් යුවළ ඉතා නිදහසේ පහසුවෙන් ඇවිද යනු දක්නට ලැබිණි. ඔවුන්ගේ ජීවිත කෙතරම් සරල ද? යසන්ත හා ඕෂී ගොන් කරත්තය ළඟ නැවතී සිය පළමු රාත්‍රිය ගැන කල්පනා කරන්නට වූහ.