සිද්දි ලෙබ්බෙගේ පුතා දිඹුලාගල මහණ වෙයි | සිළුමිණ

සිද්දි ලෙබ්බෙගේ පුතා දිඹුලාගල මහණ වෙයි

ආදි­වාසී, සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ජාතීන් හත­ර­කින් සසු­නට ඇතු­ළත්වූ හිමි­ව­රුන්. පිළි­වෙ­ළින් වමේ සිට රත්න­පුරේ සුද­ර්ශ­නා­ලං­කාර, දිඹු­ලා­ගල ආර­ණ්‍යසේනාස­නා­ධි­පති මිල්ලානේ සිරි­යා­ලං­කාර, සොරි­විල සේඛා­ලං­කාර හා ගොර­ක­ඔය බෝධි­මා­ලං­කාර හිමිවරු.

 

ගොර­ක­ඔය බෝධි­මා­ලං­කාර හිමි බණ දහම් උග­න්ව­මින්

දිඹු­ලා­ගල ආරණ්‍ය සේනා­සා­නා­ධි­පති මිල්ලානේ සිරි­යා­ලං­කාර නාහිමි සමඟ රත්න­පුරේ සුද­ර්ශ­නා­ලං­කාර පොඩි හාමු­දු­රුවෝ.

සමාජයේ සංහිඳියාව ගොඩනඟන්නට බුදු දහමෙන් ලැබෙන පිටුබලය වචනයෙන් විස්තරකළ නොහැකි තරම්ය. තිස් වසරක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටි රටේ ජනතාවට මහා සංඝරත්නය යෝධ ශක්තියක් විය. රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට උන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළහ. ජාතීන් වශයෙන් රටේ ජනතාව භේද කිරීමට ත්‍රස්තවාදීන් දැරූ නොයෙක් උපක්‍රම හා උත්සාහයන් අපේ සංඝ පීතෘවරුන් විසින් නිෂ්්ක්‍රීය කළ අවස්ථා බොහෝය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම සිරි සීලාලංකාර නායක ස්වාමීන් වහන්සේත් එවන් විශිෂ්ට සංඝ පීතෘ නමකි. උන් වහන්සේ බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම් අනුව යමින් සම්බුදු සසුන විවිධ තරාතිරම්වල අයට විවෘත කළහ. ඒ අනුව සිවු දෙසින් එන නිසි සුදුසුකම් ඇති ඕනෑම පුද්ගලයකුට සසුනට ඇතුළු වී පිළිවෙත් පුරන්නට අවස්ථාව හිමිවිය.

උන්වහන්සේගේ මඟ යන වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නායක ස්වාමීන් වහන්සේත් ජාති ආගම් කුල භේදයකින් තොරව විශාල පිරිසකට සසුනට ඇතුළුවී පිළිවෙත් පුරන්නට අවස්ථාව හිමිකරදී ඇත්තාහ.

වත්මන් නා හිමියන් ආදිවාසී, සිංහල, දෙමළ උදවියට පමණක් නොව මුස්ලිම් ජාතික දරුකුටද නිවන් මඟට දොරටු විවර කර දුන්නේ මේ ඉතා මෑතකදීය. පියා සමඟ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණි ස්මයිල් අස්ලාම් නම් වූ ඒ සත් හැවිරිදි කුඩා දරුවාට පැවිදි වීමේ ආසාවක් ඇතිවූයේ සංසාර පුරුද්දට විය හැකිය.

"මං වගේ පුංචි ළමයි ගොඩක් පොඩි සාදුලා වෙලා ඉද්දි ඇයි මට මහණ වෙන්න බැරි. ඇයි මාව මහණ කරන්නේ නැත්තේ. අනේ ලොකු සාදු මාවත් මහණ කරන්නකෝ" යනුවෙන් චතුර ලෙස සිංහල භාෂාව හසුරුවන මේ හුරතල් කොලු පැටියා අනෙකුත් කුඩා හිමිවරුන් සමඟ පන්සල් බිමේ කෙළිදෙළෙන් ඉන්නා අතර තමන් පැවිදි කරන ලෙස ඒ කුඩා හිමිවරුනට ද ඇවිටිලි කරයි. පියා සමඟ නැවත ගමට යෑම ප්‍රතික්ෂේප කරන දරුවාට ඔහු ගේ ආසාව ඉෂ්ට කරගන්නට දරුවාගේ පියා අවස්ථාව ලබා දුන්නේය. විදේශගතව සිටින මවගේ ද ආශිර්වාදය මේ දරුවාට නොමඳව ලැබිණ. පසුගිය පසළොස්වක පොහොය දින සම්බුදු සසුනට ඇතුළුවූ ස්මයිල් අස්ලාම් දරුවා අද සාමණේර හිමි නමක් ලෙස බණ දහම් උගනී. නිවන් මඟට පිළවෙත් පුරයි.

"මගේ ගිහි නම ස්මයිල් අස්ලාම් දැන් රත්නපුරේ සුදර්ශනාලංකාර හාමුදුරුවෝ." උන් වහන්සේ පවසන්නේ සුරතල් බසිනි.

"මම බුදුන් වඳින්න, පොඩි සාදුලත් එක්ක පොත් පාඩම් කරන්න ගොඩක් කැමතියි. හැබැයි වළඳන්නනම් කැමති බිස්කට් තමයි . " අප හා එසේ පැවසූ පොඩි හාමුදුරුවෝ සෙසු සමණේර හිමිවරුන් සමඟ බුද්ධ වන්දනාවට වැඩම කළහ.

මේ කුඩා සාමණේර හිමියන්ගේ පියා සිද්දි ලෙබ්බේ මොහොමඩ් ඉස්මයිල්ය. තිස්අට හැවිරිදිය. මව මැද පෙරදිග රැකියාවකට ගියේ දරුවා කුඩා කලය. මව ජී. එච්. රේණුකා සිංහල බෞද්ධ කාන්තාවකි. මේ පවුලට පන්සල අමුතු තැනක් නොවේ. මේ කුඩා හිමි නම එම පවුලේ එකම දරුවාය. සිය කුඩා පුත්‍රයා ශාසනයට පිදූ ඒ පියා උපතින්ම ඉස්ලාම් දහම අදහන්නකු වුවද දරුවා කුඩා කල සිටම පන්සල ඇසුරේ දිවි ගෙවූ අයෙකි. වෘත්තියෙන් චිත්‍ර ශිල්පියකු වන පියා ද පන්සල් ඇසුරේ දිවි ගෙවූ අයෙකි. එනිසා සිය දරුවා පැවිදි බිමට පිවිසීම ඔහුටත් බිරියටත් සාමාන්‍ය දෙයක් බව ඔහු පවසයි.

"මගේ පදිංචිය රත්නපුරේ දුෂ්කර ගම්මානයක. මං ‍බොහෝ කලක සිට පන්සල් ගණනාවක චිත්‍ර ඇන්දා. ඒ වැඩවලට යද්දී පුතා පුංචි නිසා තියලා යන්න බැරි නිසා පුතාත් අරන් යනවා. එනිසා පුතාට හාමුදුරුවරු හරිම සමීපයි. මගේ බිරිය විදේශ ගත වුණේ මං රත්තපුරේ පොත්ගුල් විහාරයේ චිත්‍ර අදින කාලේයි. එවිට මට දරුවාගේ වැඩ තනියම කරගන්න බැරි නිසා දිඹුලාගල රැඳවුම් මධ්‍යස්ථානයකට බාර දුන්නා. ඊට පස්සේ දරුවත් අරං දවසක් මම වැලිකන්දේ අසේලපුර පන්සලට ආවා. පුතා පැවිදිවෙන්න ආසයි කියලා මට නිතර කරදර කරනවා. මම ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ කාරණය කිව්වා. ලොකු හාමුදුරුවෝ අපි දෙන්නා දිඹුලාගල පන්සලට එව්වා. පුතා ගිය පෝයදා පැවිදි කළා. මගේ බිරියත් මේ ගැන ගොඩක් සතුටු වුණා. ආගම දහමින් කෙරෙන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කිරීම බව මම දන්නවා. මම හාමුදුරුවන් වහන්සේ ඇසුරුකරනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. පොඩිහාමුදුරුවෝ දකිනකොට අද මට ලොකු සතුටක් දැනෙනවා. "

"අපි මුස්ලිම් ජාතිකයන් වුණත් අපේ අසල්වාසීන් ලෙස සෑම ජාතියක්ම ඉන්නවා. අපි හැමෝම ඉතාම සමගියෙන් ජීවත් වෙනවා." යැයි ද කුඩා හිමි නමගේ පියා සිද්ධි ලෙබ්බේ පැවසීය.

දිඹුලාගල කාශ්‍යප මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ගොරකඔය බෝධිමාලංකාර හිමියෝ නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් මෙම කුඩා ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතා සොයාබලමින් දිවා රෑ වෙහෙසෙන හිමි නමකි. උන්වහන්සේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් රටට සිදුවන සේවාවෙන් බිඳක් මෙහිදී අප හා පැහැදිලි කළහ.

"දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අනුරාධපුර යුගයේ සිට වර්තමානය දක්වා දහස් සංඛ්‍යත භික්ෂූන් වහන්සේ පිරිසකට ධර්ම ඥානය ලබා දුන් පින් බිමක්. දිඹුලාගල සංඝ පරපුරට අයත් විහාරස්ථාන අද වන විට සියයකට වඩා තිබෙනවා. මෙම විහාරස්ථානවලින් ජනතාවට අප්‍රමාණවූ සේවයක් සිදුවනවා. ගුණ ධර්මවලින් පිරි සමාජයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ජාති ආගම් කුල භේදයක් අපිට නැහැ. වත්මන් නායක හාමුදුරුවෝ ආදිවාසී පරපුරෙන් සසුනට ඇතුළු වූ කෙනෙක්. සිංහල, දෙමළ, ආදිවාසී විශාල පිරිසක් අද භික්ෂුන් වහන්සේලා ලෙස සාසනික සේවාවේ නිරතවී සිටිනවා. රට තුළ සංහිඳියාවක් ඇති කරන්න, ජාතීන් අතර මිත්‍රත්වය ඇති කරන්න නම් විවිධ ජාති, ආගම් , කුලවලට අයත් අය ශාසනයට ඇතුළත් වී බෞද්ධ දර්ශනය ඉගෙන ගත යුතුයි. ඒ මඟින් රටේ යහපත් අනාගතයක් ගොඩ නඟන්න පුළුවන්. අස්ලාම් දරුවා ශාසනයට ඇතුළු කිරීමෙන් එම දෙමවුපියන් සතර වර්ගයා නිවන් දකින පිංකමක් කරගත්තා. මේ පොඩි හාමුදුරුවෝ අනාගතයේ ජාතීන් අතර මිතුදම ගොඩ නඟන සාම පාලමක් බවට පත්වේවා. උන්වහන්සේගේ අධ්‍යාපනික හා ආධ්‍යාත්මික කටයුතු සියල්ල සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා."

කතා කරන භාෂාව අනුව, අදහන ආගම අනුව වත්පොහොසත්කම් අනුව භේද භින්නවී සිටින සමාජයට මිනිසුන් ලෙස මනුෂ්‍යත්වයෙන් සමගිව ජීවත් වෙන්නට මඟ පෙන්වීමට මතු දිනක සුදර්ශනාලංකාර හිමියන්ට හැකියාව ලැබේවා යැයි අපිදු ප්‍රාර්ථනා කරමු.

 

Comments