සැත­පෙන විට විඳ නිදි සුවේ දරු­වකු බිහි විය නිදහසේ | සිළුමිණ

සැත­පෙන විට විඳ නිදි සුවේ දරු­වකු බිහි විය නිදහසේ

කාන්තාවකට අත් විඳින්නට සිදු වන දරුණුතම වේදනාව “විලිරුදාව” යන්න ලොව පිළිගත් මතයක්. එහෙත් සුවදායී නින්දක් ලබමින් ම දරුවකු බිහි කළ වාසනාවන්ත අම්මා කෙනෙකු පිළිබඳ පුවතක් බ්‍රිතාන්‍යයේ ඩර්බිශයර් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

එංගලන්තයේ ඩර්බිශයර් ප්‍රාන්තයේ වෙසෙන 23 හැවිරිදි ඇලිස් පේන් වෘත්තියෙන් පෞද්ගලික පන්තියක ගුරුවරියක්. කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්ව සිටි ඇය ඒ සඳහා පසුගියදා ඩර්බි රාජකීය රෝහලට ඇතුළත් වුණා. සති 38න් පසුව කලලයේ වර්ධනය නතර වූ හෙයින් හදිසියේ ම වෛද්‍ය උපදෙස් අනුව ප්‍රසූතිය සඳහා ඇය සූදානම් කෙරුණා. සූතිකාගාරයේ සයනයට බර වුණු වෙනත් අම්මලා කෑ මොර දෙමින් විලිරුදා දරන අතරවාරයේ ඇලිස් සුව පහසු නින්දකට වැටුණේ ඇයට කලින් ලබා දුන් නිදි පෙති මාත්‍රාව නිසයි. නින්දේදී ම කිසිදු අපහසුවකින් තොරව ඇගේ කුලුඳුල් දරුවා මෙලොවට බිහි වන ආකාරය දුටු වෛද්‍යවරුන් මවිතයට පත් වුණා.

අම්මාට කිසිදු වේදනාවක් නොදෙමින් මෙලොව එළිය දුට ඒ කුලුඳුල් දරුවා පුතෙක්. රාත්තල් 6 1/2ක් බරින් යුතු ඉතා නිරෝගී බිලිදකු වූ ඔහුට ඇලිස් හා ඇයගේ සැමියා ජෝන්, ෆිලිප් යන නම දී තිබෙනවා. අම්මා සිය සුවදායී නින්දෙන් පිබිදෙන විට බිලිඳු ෆිලිප් මෙලොවට බිහි වී අවසන්.

සනාතන සත්‍යයක් වූ ‘විලි රුදාවට’ අභියෝග කරමින් ඇලිස් මේ හපන්කම කළේ ඇ‍ගේ සුවිශේෂ හැකියාවක් නිසා ම නොවෙයි. අතිනවීන තාක්ෂණික නිර්මාණයක් වූ ප්‍රසූත දත්ත කියවන යන්ත්‍රයට සුළු අත්වැරදීමක් සිදු වූ නිසයි.

ඇලිස්ට විලිරුදා ඇති වන වෙලාව පැය දෙකකට වඩා කලින් යන්ත්‍රය විසින් ගණනය කරනු ලැබුවා. එහෙයින් වේදනාව අඩු කරන අදහසින් වෛද්‍යවරුන් ඇයට නිදි බෙහෙත් මාත්‍රාවක් ලබා දුන්නේ වැඩි හොඳටයි.

සොබා දහමට එරෙහි වන්නට සමත් කිසිවක් නැති බව සනාථ කරමින් ඇලිස් නියමිත වෙලාවට සිය දරුවා බිහි කිරීම ඇරඹුවා. වෛද්‍යවරුන් හා සාත්තු සේවිකාවන් මවිතයට පත් කරමින් ඈ නින්දෙන් ම දරුවා බිහි කළා.

“හොඳ නින්දක ගිලී සිටි මට එය දැනුණේවත් නැතැයි” ඇලිස් සිය ‘නිදි ප්‍රසූතිය’ ගැන සඳහන් කරනවා. ඇලිස්ගේ දරුගැබට සති 38ක් පිරුණු පසු ගර්භාශය තුළ ඇගේ දරුවාගේ වර්ධනය නතර වුණා. එහෙයින් දෙසැම්බර් 16දා රෝහලට ඇතුළත් වූ ඇලිස්ට කෘත්‍රිමව විලිරුදා ඇති කර ප්‍රසූතිය සිදු කරවීමට වෛද්‍යවරුන් කළා. ඇලිස්ට ස්වාභාවිකව ප්‍රසව වේදනා ඇති නොවෙතැයි වෛද්‍යවරුන් සැක කළ හෙයින් ඖෂධ මඟින් ප්‍රසව වේදනා ඇති කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණා.

එහෙත් ඊට පෙර පැය දෙකක් පමණ ඇයට විවේකයක් ලබා දීමේ අරමුණෙන් ඇයට නිදි පෙති මාත්‍රාවක් දෙනු ලැබුවා. අනපේක්ෂිත මොහොතක දරුවා මෙලොව එළිය දකින්නට සැරසෙනු දුටු වෛද්‍යවරුන් බියපත්ව සිතුවේ ඇලිස් දරුවා බිහි කරන්නට වීරිය නොයෙදෙවුවහොත්, ඇයට සිසේරියන් සැත්කමක් කරන්නට සිදු වනු ඇතැයි කියායි.

දරු උපත පිළිබඳ සිහින මවමින් සූතිකාගාරයේ රැඳී සිටි ඇලිස්ගේ සැමියා ජෝන් ඇලිස් දරුවාට උපත ලබන්නට සහාය නොදෙතැයි බිය වුණා. “තල්ලු කරන්න, තල්ලු කරන්න” කියමින් ජෝන් ඇගේ කනට කොඳුරමින් දිරිමත් කළා.

පුදුමයකට මෙන් ජෝන් ගේ සුපුරුදු කට හඬ සවන් වැකුණු ඇලිස් නින්දෙන් ම දරුවා පිටතට තල්ලු කර එව්වා. ඒ දුටු වෛද්‍යවරුන් හෙදියන් මෙන් ම ජෝන් ද විස්මයටත් ප්‍රීතියටත් පත් වුණේ එක්වරමයි. මෙවැනි දරු උපතක් අප දුටු මුල් වතාව මේ යැයි වෛද්‍ය - හෙද කණ්ඩායම මවිතයට පත්ව සිටියා.

ප්‍රසවයෙන් විනාඩි දහයකට පසු නින්දෙන් අවදි වූ ඇලිස් යළිත් දෙනුවන් පියා ගෙන සුවදායී නින්දකට වැටුණා. ඒ නින්දෙන් ඈ අවදි වූයේ හරියට ම පැය දෙකකට පසුවයි. “මගේ පුතා මා තුරුලෙහි තබන්නට හෙදිය උත්සාහ කරනු මට හීනෙන් වගේ දැනුණා. ඒත් නිදිමත නිසා මට කිසිවක් හැඟුණේ නෑ.

මගේ රන්කැටියාගේ මුහුණ මා හොඳින් බලා ගත්තේ ඔහු ඉපදී පැය දෙකක් ගත වූ පසුවයි” පුතු උපත ගැන සිහිපත් කරමින් ඇලිස් පවසනවා. වෛද්‍යවරුන්ගේ මෙන්ම නවීණ යන්ත්‍රසූත්‍රවල සැලසුම් සියල්ල අභියෝගයට ලක් කරමින් නින්දේදීම දරුවකු බිහි කළ ප්‍රථම කාන්තාව ලෙස ඇලිස් ලෝ පතළ වුණා.

(අන්තර්ජාලයෙනි.)

 

Comments