රොෂාන් මහානාම කනිටු විදුහලට අලුත් ළමයින් පැමිණි දා | සිළුමිණ

රොෂාන් මහානාම කනිටු විදුහලට අලුත් ළමයින් පැමිණි දා

 

වවුනියාව නගරයේ සිට කිලෝමීටර් 68ක් දුරින් පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ මේ පාසල ගැන කතාන්දරය එය ජනතා අයිතියට පත්කළ සමයේ වෙහෙරතැන්නට අලුත් පාසලක් රොෂාන් මහානාම ප්‍රමුඛ පිරිස‍ෙගන් ශීර්ෂයෙන් 2016. 06. 12 වැනි දින සිළුමිණ පුවත්පත මඟින් රටට හෙළි කළේය.

සුපිරි ක්‍රිකට් තරුවක් වූ රොෂාන් මහානාම මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් හා ‍හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මියගේ මැදිහත් වීමෙන් ඉදිවූ මේ පාසල ගොඩනැඟීමේ සියලු ශ්‍රම දායකත්වය යුද හමුදා රණවිරුවන්ගේ ශක්තියයි.

උතුරු නැ‍ඟෙනහිර ත්‍රස්තවාදි අරගලය නිමාවත් සමඟ සාමය, සංහිඳියාව ගොඩ නංවන්නට වෙහෙසෙන මොහොතක ඉදිවූ පාසලක් හැටියට රොෂාන් මහානාම කනිටු විදුහල නම් කළ හැක.

වෙහෙරතැන්න ගම ඇතුළු කම්බිලිවැව, කෝන්වැව, වෙහෙරවැව, කොහොඹගස්වැව යන ත්‍රස්තවාදයෙන් බැට කෑ ගම්මානවල පුංචි පැටවුන් අකුරු කරන්නට කි. මී. 15ක පමණ වන අලි ගහන දුෂ්කර මාර්ගයක යෙදෙමින් බුද්ධංගල හෝ පරාක්‍රමපුර ප්‍රාථමිකයන්ට යෑමට සිදුවිය.

එම දුෂ්කර ගමනට ‘තිත’ තබමින් මෙවර නව පාසල් වාරයට සිසුන් ඇතුළත් කිරීමට රොෂාන් මහානාම කනිටු විදුහල් භූමියට දෙමවුපියන් පිරිවරා පුංචි පැටවුන් පැමිණියේ කිරිකොක් රෑනක් විලසිනි.

එම දර්ශනය දැකීමෙන් රොෂාන් ඇතුළු මේ වෙනුවෙන් දහඩිය මහන්සිය වැගිරූ සියලු දෙනාගේ සිත්සතන් සතුටින් පිරී ඉතිරී යද්දී වෙහෙරතැන්න ඇතුළු අවට ගම්වාසීහු “අපේ දරුවෝ ඉගෙන ගන්න පුදුම දුකක් විඳින්නේ. මේ පාසල ඉදිවීම නිසා අද සිට පුංචි පැටවු සතුටින් පාසල් යාවි. දරුවන්ව දුෂ්කර අධ්‍යාපනයෙන් මුදාගත් රොෂාන් මහත්තය ඇතුළු සියලු හමුදා මහත්තුරුන්ට පින් අත්වේවා”යැයි පැවසූහ.

රොෂාන් මහානාම, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග හා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ඇතුළු උතුරු පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ළමයින් ඇතුළත් කිරීමේ උත්සවය ඉතා අලංකාරවත් ලෙස පැවැතිණි.

1 ශ්‍රේණිය 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මේ පාසල තුළ පුස්තකාලයක් ඇතුළුව පාසලකට අවැසි මූලික අංගෝපාංග සියල්ල ඇතුළත් වේ.

උතුරු පළාත් අධ්‍යාපන කාර්යාලය සහ 62 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පවත්වාගෙන යන මේ පාසල තුළින් අනාගතයේ රට, ලොව ජයගන්නා බුද්ධිමතුන් බිහිවනු දැකීම රොෂාන් ඇතුළු මේ වෙනුවෙන් දහඩිය මහන්සිය වැගිරූ සියලු රණවිරුවන්ගේ ඒකායන බලාපොරොත්තුව වේ. 

 

 

Comments