බලු සුර­ත­ලුන් අලෙ­වි­යෙන් යළි ජීවය ලැබු ලෝරා-ලීග් | සිළුමිණ

බලු සුර­ත­ලුන් අලෙ­වි­යෙන් යළි ජීවය ලැබු ලෝරා-ලීග්

 

ජීවිතයට නව අරුතක් ගෙන සුරතල් බලු පැටවුන් ඇතිදැඩි කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ලෝරා-ලීග් ඩිජියෝවන්නිගේ ජීවිතය පාලනය කරගත නොහැකි වක ගැසුණ එකක් විය.

“මම එතකොට නිවාසයක් නැති අසරණයන්ගේ පැල්පතට වී සිටියේ එක් මිනිසෙකුගෙන් ඈත්වෙලා ඉන්නයි. අපි දෙන්නම අත්අඩංගුවට පත්වෙයි කියල බයෙනුයි හිටියේ. අපි දෙන්නාම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරලයි තිබුණේ.” 47 හැවිරිදි මෙම කාන්තාව කීවාය.

“මම ලිස්සන ගහේ පහළටම ඇද වැටෙමෙනුයි සිටියේ.”

චිත්තාපර ආබාධයෙන් හා අවපාතයෙන් පීඩා විඳිමින් සිටින කැනඩාවේ ටොරොන්ටෝ නගරවාසී මෙම කාන්තාව එම කාලයේදී තමාට මිනිසුන්ගේ මුහුණු බැලීමට පවා නොහැකිව සිටි බව කීවාය.

“අවුරුදු දෙකක්ම බයක් නැතිව ගෙදරින් පිටවන්න මට බැරි වුණා. මා දකින මිනිස්සු බියවෙලා ඈතට දුව ගියා.”

ලෝරා වැටී සිටි මෙම ආගාධයෙන් ඇය ගලවා ගන්නා ලද්දේ ඇය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා විසිනි. ඔහු ඇය කැනේඩියානු මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ අධිකරණයට යොමු කළේය.

මෙම අධිකරණය, මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සුවසෙත සලසනු සඳහා විශේෂයෙන් සකස් කරන ලද අධිකරණයකි. මෙබඳු අධිකරණයන්හි සිටින විනිසුරුවන්ගේ අරමුණු වන්නේ විත්තිකරුවන්ට දඬුවම් දීම වෙනුවට ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගැනීමට ආධාර වන පියවර ගැනීමය.

අධිකරණයෙන් ඇය, එරටේ පුණ්‍ය ආයතනයක් වන කැනේඩියානු මානසික සෞඛ්‍ය සංගමයේ රැකවරණය සඳහා යොමුකරන ලදී. ඇයට එම සංගමයේ නිවස්නක නේවාසික පහසුකම් ලැබුණේය. එහිදී ලැබුණ පුනරුත්ථාපන වැඩසටහන් මඟින් ඇය කෙමෙන් පියවි ලොවට පිවිසියාය. සම්පූර්ණයෙන්ම පාහේ සුවය ලැබීමෙන් පසුව වෙනත් පුණ්‍ය ආයතනයකට ඇය හඳුන්වා දෙනු ලැබිණ. රයිස් දේපළ සංවර්ධන සංගමය නම් මෙම පුණ්‍ය ආයතනය මඟින් ඇගේ ජීවිතයට නව ආලෝකයක් ලැබිණි.

මෙබඳු අසරණභාවයට පත්වූ මිනිසුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ක්‍රියා කරන රයිස් ආයතනය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම දායකත්වය ඇතිව, බිහිකරන ලද අරමුදලක් මඟින් මානසික රෝග හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීමේ ගැටලු ඇති පුද්ගලයන්ට ව්‍යාපාර ඇරැඹීම සඳහා ණය මුදල් ලබා දී ආධාර කිරීමේ වැඩපිළිවෙළක් සකස්කර තිබේ.

මෙම හේතුන් නිසා ලෝරාට කරන්නට තිබුණේ ව්‍යාපාරික අදහසක් සොයා ගැනීම පමණි. අසහනයෙන් පිරුණ ඇගේ ජීවිත කාලය තුළදීම ඇයට සැනසීමක් ලබා දී ඇත්තේ ඇගේ සුරතල් බල්ලා වූ මෝලි සමඟ ගත කළ කාලය පමණකි. තනිවී සිටින මිනිසුනට සුරතල් බලු පැටියෙකුගෙන් ලැබෙන සහනය මතකයට නඟා ගත් ඇය එය තම ජීවිතය ගොඩනඟා ගන්නා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට ඉටා ගත්තාය. එම අදහස් අනුව යමින් සුරතල් බලු පැටවුන් බෝ කිරීමේ ව්‍යාපාරයක් ඇය 2012 දී ආරම්භ කළාය.

රයිස් ආයතනයේ ආධාරයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරික ගමනේදී ඇය කිසි විටෙක පසුපස නොබැලුවාය. දැන් ඇයට අතිවිශාල ගනුදෙනුකාර පදනමක් ඇත්තේය. මෙම ගනුදෙනුකරුවන්ගේ ජාලය කොතරම් විශාල ද කිවහොත් ඇය මුණගැසීම සඳහා අවස්ථාවක් ලබාගැනීමට කෙනෙකුට සති හයක් පමණ වන දිගු කාලයක් බලා සිටිමට සිදු වනු ඇත. සැබැවින්ම ඇය දැන් තනි වී නැත.

මැදි වයසට එළඹෙන විට බොහෝ කාන්තාවන් තනි වන ප්‍රවණතාවයක් බටහිර ලෝකයේ ඇතිවී තිබේ. මෙනිසා විවිධ උවදුරුවලට ගොදුරු වන මෙම කාන්තාවන්ගෙන් සෑහෙන පිරිසක් මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වෙති. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා එම රටවල් විවිධ පියවර ගෙන ඇත්තේය. මෙම පිළිවෙත අනුගමනය කරමින් කැනේඩියානු රජය මඟින් ආරම්භ කරන ලද සුබසාධන වැඩසටහනකින් පිහිට ලැබු පිරිසගෙන් එක් කාන්තාවක් වන්නේ ලෝරාය.

කැනේඩියානු රජයේ මෙම වැඩපිළිවෙළ යටතේ ව්‍යසනයට පත්වූ මෙබඳු කාන්තාවන් රාශියකට සහන සැලසී ඇත්තේය. ද්වීද්‍රව ආබාධයෙන් පෙලුන ග්‍රීන්ලන්ඩ්හි නිවැසියෙකු වන 40 හැවිරිදි නිකොලී ලිවින්ගුඩ් දැන් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වී සිටින්නීය. “මගේ රෝගය දුර්වලකමක් ලෙස නොසිතා එය මගේ ජීවිතයට ශක්තියක් කරගන්තා” යැයි ඇය කියන්නීය.

මෙබඳු අහිතකර මානසික තත්ත්වයක් තිබියදී එහි දුර්විපාක පරදා ජීවිතය ජයගෙන සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වූ තවත් කාන්තාවක් නම් 56 හැවිරිදි සුසාන් ජෙමීසන්ය.

කැනඩාවේ එඩ්වඩ් කුමරුගේ දූපතේ උපත ලද ඇය වයස අවුරුදු 6 සිට මානසික ආබාධයකින් පෙලුණාය. එම රෝගය පරදා ව්‍යාපාර ලෝකයට පිවිසි ඇය විවිධ ක්ෂේත්‍රවල නිරත වන්නීය.

මෙවැනි කාන්තාවන්ට ආධාර දීමට රයිස් අරමුදල 2010 දී ආරම්භ කරන ලද අතර ඩොලර් 600,000ක වත්කමක් ඇති එමඟින් ණය මුදල් 190කට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබේ. 

 

Comments