
ජුවන් බාස් ඉංග්‍රීසි පාස්
දැනට දශක කිහිපයකට පෙර පාසල් වාර විභාග පැවැත්වීම සිදු වූයේ කොට්ඨාස කාර්යාල මඟින් නිකුත් කළ ප්‍රශ්න පත්‍ර මඟිනි. එසේ එවන ලද ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රයක් හා මේ කථාව සැබඳේ.
ප්‍රශ්න 50කින් හෝ වැඩි ගණනකින් යුත් ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කෙළවර වරහන් තුළ උත්තර 3 බැගින් තිබේ. සිසුවා නිවැරැදි උත්තර සොයා ඊට යටින් ඉරක් ගැසිය යුතුය. ඇතැම් සිසුන් මෙම ක්‍රමය විහිළුවට ලක් කෙළේ ‘ඉරිගේෂන්’ නමිනි. ඇතමෙක් නිවැරදි උත්තරය සොයා ගැනීමට විවිධ ක්‍රම යොදා ගනු දැකිය හැකිය. ඉන් එක් ක්‍රමයක් ඔවුන් නම් කෙළේ ‘ආවා හෝ ගියා හෝ සූත්‍රය’ නමිනි. ඒ අතර දක්ෂයෝ නිහඬව හිස් නමා පිළිතුරු සපයති.
මෙසේ ඉරිගසා උත්තර සැපයීමේ ක්‍රමවේදය ඇතැම් ගුරුභවතුන්ගේ විවේචනයට ලක් වූයේ දක්ෂයන්ට වඩා අදක්ෂයන් වැඩි ලකුණු ලබාගන්නා අවස්ථා දැකිය හැකි නිසාය. මේ වන විට මෙම පාසලේ ඉංග්‍රීසි විෂයය බාර එක් ගුරුවරයකු වූ මම මේ පිළිබඳ අත්හදා බැලීමට මුල්ගුරුතුමා හමුවීමි. බන්ඩිරිප්පුව රජයේ විදුහලේ ප්‍රධාන ආචාර්යවරයා වූ එතුමා පීටර් ප්‍රනාන්දු නම් වූ ඉතාමත් සුහදශීලී හා ගුරුවරුන්ගේ ගෞරවයට පාත්‍ර වූ නිහතමානී මහත්මයෙකි.
“ලොකු මහත්තය මට පරණ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙක තුනක් හොයා ගන්න පුළුවන්ද?”
“ඇයි ඒ?”
“පොඩි අත්හදා බැලීමක් කරල බලන්න.” මම එතුමාට කෙටියෙන් කරුණු පැහැදිලි කෙළෙමි.
‘‘ඔය කබඩ් එකේ ඇති හොයා ගන්න’’ එතුමා සිනාසෙමින් පැවසීය. එහි තිබී භාවිතා නොකළ අටවැනි ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සොයා ගත හැකි විය.
ඒ වන විට පාසල ඉදිරිපිට, පාරෙන් එපිට වඩුමඩුවක් දමාගෙන සිටි ජුවන් පීරිස් බාස්උන්නැහේ පාසලේ අබලන් වූ ඩෙස් බංකු අලුත් වැඩියා කිරීමට තම ගෝලයා සමඟ පැමිණ වැඩෙහි නියුක්තව සිටියේය.
“බාස් උන්නැහේ වැඩ වාගෙ?”
“ආ... ඔව් මහත්තය... මගෙත් කොල්ලො දෙන්නෙක් ඉගෙන ගන්නවනෙ.”
“බාස් උන්නැහැ සුළු උදව්වක් ගන්නයි මං ආවෙ?”
ඔහු උපැස් යුවළ යටින් මා දෙස බලා”, කියන්න මහත්තය මම ඔහුටත් ගෝලයටත් ප්‍රශ්න පත්‍ර දෙක පෙන්වා කළ යුතු දේ පැහැදිලි කර දුන්නෙමි.
“ඇයි මහත්තය මං ඉංගිරිසි මළපොතේ අකුරක් දන්නෙ නෑනෙ.” බාස් උන්නැහැ පවසද්දී ගෝලයා “අනේ සර් මට නං බෑ” කියමින් පස්සට ගියේය.
“ඉරි ගහන්ඩ, අකුරු දැනගන්ඩම ඕනෙ නෑ... අපිට වඩා බාස් උන්නැහැලට ඉරි ගහල පුරුදුයිනෙ, දැන් මං තේරුම් කළ විධියට වැඩේ පටන් ගන්න.”
බාස් උන්නැහේ මඳක් ධෛර්යවත් වී කනේ ගසාගෙන සිටි පැන්සල අතට ගෙන, දිගහැර තිබුණු කෝදුව ගණනට නවා ගත්තේය. ඒ අනුව ගෝලයා ද සූදානම් විය. දැන් දෙදෙනාම ඉරි ගසමින් විභාගයට උත්තර සපයති. බාස් උන්නැහේට ඉරි ගැසීමට ගත වූයේ මිනිත්තු පහකට අඩු කාලයකි. ඔහු ‘නීට්’ එකට ඉරි ගසා තිබුණේය. ගෝලයාට මිනිත්තු පහක් පමණ ගතවිය. දෙදෙනා ම සිනාසෙමින් ප්‍රශ්න පත්‍ර දෙක ආපසු මට බාර දුන්නෝය.
මම ඔවුන් දෙදෙනාට ස්තුතිකර, උත්තර සහිත ප්‍රශ්න පත්‍ර දෙක ලොකු මහත්තයාට ද පෙන්වා කාර්යාලය තුළදීම හරි වැරදි බැලුවෙමි. බාස් උන්නැහේට ලකුණු 54ක් තිබූ අතර ගෝලයට 32ක් විය. ප්‍රතිඵල සටහන් දෙස ඕනෑකමින් බැලූ අපේ ලොකු මහත්මයා “එහෙනං බොලේ ජුවන් බාස් ඉංග්‍රීසි පාස්” කියමින් හඬ නඟා සිනාසී මේසයට තට්ටුකර නැගී සිටියේය.
සරත් විජයරත්න විශ්‍රාමික ගුරු
නොගැයූ ගීතය
එය ප්‍රධාන නගරයෙන් එපිට පිහිටි මහා විද්‍යාලයකි. ගුරු මණ්ඩලයේ වූයේ විසි දෙනෙකි. එහි නියෝජ්‍ය විදුහල්පතිවරු දෙදෙනෙක් වූහ. ඉන් ලියනආරච්චි මහතා කඩිසර, කටසැර තැනැත්තෙක් විය. හැමවිටම කැපී පෙනෙන්නට උත්සාහ දැරූ හෙතෙම, ඇතැම්විට ගුරුමණ්ඩලයට හාස්‍යය හා විනෝදය සැපයීය. විදුහල්පතිතුමා ඊළඟ අවුරුද්දේ විශ්‍රාම යන බැවින් ඔහු නිතරම ‘මුල්පුටුවට’ ඇහැ ගහගෙන සිටියේය. පාසලේ දෙවැනි වාරය අවසානයේ විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට ගුරු මණ්ඩලය තීරණය කර, අදාළ දිනය හා වෙලාවද ස්ථිර කර ගන්නා ලදි. විදුහලේ සංගීත හා නැටුම් ගුරු මහත්මීන් මෙහිදී බොහෝ කැපවීමෙන් කටයුතු කළ අතර, පාසල් වේලාවෙන් පසුවද, සිසුන්ට නැටුම්, ගැයුම් පුහුණු කළාය. ලියනආරච්චි මහතාට ද ගීත ගායනා කිරීමේ යම් හැකියාවක් තිබුණද එතුමාගේ කටහඬ මිහිරි නොවීය. එතුමාටද විවිධ ප්‍රසංගයේ ගීතයක් ගැයීමට අවශ්‍ය විය. ඒ සඳහා එතුමා තෝරා ගත්තේ “කවාලා විළඳ ජාති” නම් වූ පැරැණි ගීතයයි. සංගීත ගුරුතුමියගේ කාමරයට ගිය එතුමා ගීතය පුහුණු වන්නට පටන් ගත්තේය. ලියනආරච්චි මහතා ගීතයේ මුල් කොටස තාලයට ගැයුවත් අතුරු වාදනයෙන් පසුව ගායනා කළේ රිද්මයකට හෝ ශ්‍රැතියකට අනුව නොවේ. සංගීත ගුරුතුමිය බොහෝ වෙහෙස වී, එම ගීතය ගායනා කරන නිවැරදි ක්‍රමය පෙන්වා දුන්නත්, ලියනආරච්චි මහතා ගායනා කළේම ශ්‍රැතියෙන් පිට පනිමිනි. නියෝජ්‍ය විදුහල්පතිතුමා අමනාප කර ගැනීමට නොහැකි නිසා, සංගීත ගුරුතුමිය මෙම අපහසුතාව විඳ දරා ගත්තාය.
විවිධ ප්‍රසංගය පැවැත්වෙන දිනය උදා විය. ළමයින්ගේ ගැයුම්, වැයුම් කීපයකට පසු ලියනආරච්චි මහතාගේ වාරය පැමිණියේය.
වේදිකාවට නැගුණු එතුමා කෙටි දේශනයක් ද පවත්වා, ගීතය ගැයීමට සූදානම් විය. ආරම්භක වාදනය අවසන් වූ සැණින් එතුමා “කවාලා විළඳ ජාති” යැයි ගයද්දී එක්වරම විදුලිය විසන්ධි විය. විනාඩි 25ක් පමණ ගෙවුණත්, විදුලිය නොලැබුණි. අපහසුවෙන් හා කෝපයෙන් වේදිකාවේ රැඳී සිටි ලියනආරච්චි මහතා මුහුණ කළු කරගෙන වේදිකාවෙන් බැස කැන්ටිම දෙසට ගියේය. සිදුවී තිබුණේ මෙයයි.
ලියනආරච්චි මහතා ගීතය ආරම්භ කරන විටම, සංගීත ගුරුතුමියගේ උපදෙස් මත ප්‍රධාන ස්විචය අක්‍රිය කර ඇත්තේ තරුණ ගුරු මහතෙක් විසිනි. යළි විදුලිය ලැබුණත් ගීතය ගයන්නට වේදිකාවට නැංගේ ලියනආරච්චි මහතා නම් නොවේ.
ආනන්ද සරත් ගුණසේන කන්දෙගෙදර