රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.
ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.
සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
ගල්කිස්සෙ සුජීවා
ප්‍රශ්නය :-
අමා අක්කේ, මම නගරයේ උසස් බාලිකාවක ඉගෙන ගෙන දැනට රජයේ ආයතනයක සේවය කරනවා. මම සේවය කරන්නේ කළමනාකාර සහකාරවරියක් වශයෙන්. මා සේවය කරන අංශයේම තවත් 12 දෙනෙක් ඉන්නවා. ඒ අයගේ සේවා කාලය මට වඩා වසර 10 - 15 වැඩි අය. හැමෝම වගේ ඈත ගම්වලින් ඇවිත් කොළඹ ගෙවල් හදාගෙන තැන්පත් වුණු අය. මම ඉතා නිවැරැදිව සහ පිළිවෙළට වැඩ කරන නිසා මගේ අංශයේ ප්‍රධානියා මට දරුවෙකුට වගේ සලකනවා. නිතරම මගේ වැඩ අගය කරනවා. ඒත් මේ පරණ අය එයට අකමැති බව පෙනෙනවා. පරණ අවිවාහක අයෙක් නිතරම මට ඇනුම්පද කියනවා. ඇය කියන සමහර දේවල් මට දරාගන්නත් අමාරුයි. “අපි ලොක්කන්ට පන්දම් අල්ලන්නෙ නැහැනෙ”, “අපි ඔය කැපිලා පේන්න වැඩ කරන්නෙ නැහැනෙ” වගේ දේවල් මුලදි කිව්වත් දැන් කියන ඒවනං ඊටත් වඩා දරුණුයි. ගොඩක් වෙලාවට මම තනියම වැළපෙනවා. මගේ හිත හරියට රිදෙනවා. ඒ අය දවස පුරාම තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නවා. ඒ වුණාට වැඩ කරන අපිට දොස් කියනවා. “අපිනං අනුන්ගේ දේවල් හොයන්නෙ නැහැ, කිව්වට නිතරම කාගෙ හරි ඇද හොයන එකම තමයි කරන්නෙ. මට දැන් රස්සාව කරන එකත් එපා වෙලා තියෙන්නෙ. මට හිත හදාගන්න ක්‍රමයක් කියලා දෙන්න.
පිළිතුර :-
සුජීවා, මේ රටේ ඉන්න සමහර අය කුණු ලොරි වගෙයි. තමන්ගේ වැරැදි ඔක්කොටම හරියන්න අනිත් අයගෙ වැරැදි හොයන එක තමයි කරන්නෙ. ඒ වගේම හැම තැනම කුණු හල හල යනවා. හැම තැනම තමන්ගෙ ගඳ පතුරවනවා. හොඳ, උසස් හදවත් තියෙන අය අදහස් ගැන කතා කරනවා. සාමාන්‍ය හදවත් තියෙන අය සිද්ධි ගැන කතා කරනවා. දුර්වල සහ නරක හදවත් තියෙන අය තමයි අනුන් ගැන කථා කරන්නෙ. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. කෙනෙක්, තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ එක්කෝ තමන්ට බැරි නිසා. නැත්නම් තමන්ට නැති නිසා. ඒත් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කළාට එයාට කවදාවත් ඇඟේ හෝ ඔහුගේ දක්ෂකම් සොරා ගන්නට බැහැ. ඒ අයම පිරිහෙනවා මිසක කවදාවත් ඔවුන් දිනන්නෙ නැහැ. ඔය කියන අය හැම කාර්යාලයකම ඉන්නවා. අනිත් අයට වැඩ කරන්න දෙන්නෙත් නැහැ. ඒ අය වැඩ කරන්නෙත් නැහැ. බොහෝ වෙලාවට මේ වගේ අය උදේට ආපු වෙලේ ඉඳන්ම තම තමන්ගේ තියන පෞද්ගලික වැඩ කරගන්නට පස්සෙ කාර්යාලෙ තියන අංශ වටා ඇවිදිනවා. පිටතට පෙනී ඉන්නෙ නම් ගොඩක් රටට ආදරය කරන සුචරිතවාදීන් විදිහට. ඒත් තමන්ගෙ වැඩක් කරගන්න කාර්යාල සම්පත්, රාජ්‍ය සම්පත් සේරම පාවිච්චි කරනවා. තමන්ගෙ ගෙදර අල්ලපු වැටේ මළ ගෙදරටවත් යන්නෙ කාර්යාලයට ඇවිත් අත්සන ගැහුවට පස්සෙ. ඇතැමුන් මේ පුරුදු ජන්මෙන්ම අරගෙන ආපු ඒවා වගේ. වැඩ කරමින් ඉන්න අය ළඟට ඇවිත් තමන්ගේ අක්කලා නංගිලගේ... දුවලා පුතාලගෙ ඡායාරූප පෙන්න පෙන්න ඒ අයගෙ වැඩත් පාඩු කරනවා. ගෙවල්වල ප්‍රශ්න සේරම කතා කරනවා. හැබැයි මේ ගොඩක් දේවල් තියෙන්නෙ රාජ්‍ය සේවෙ විතරයි. පෞද්ගලික අංශයේ එහෙම නැහැ. රාජ්‍ය අංශයේ අයට වැඩ කළත් නැතත් වැටුප ලැබෙනවා. වැටුප් වර්ධක ලැබෙනවා. නමුත් පෞද්ගලික අංශයේ නම් සියලු වරප්‍රසාද හිමි වන්නෙ වැඩ කරන අයගේ දක්ෂතාවය මත පමණයි. සුජීවා ඔබ අන් අයගේ හැසිරීම ගැන තැවෙන්න එපා. ගොම ගොඩක් දැක්කහම අපි ඒක උඩ නැඟලා ඒක ඇඟේ ගාගෙන දඟලන්නෙ නැහැනෙ. ගොම ගොඩ මග ඇරලා යනවනෙ. ඔය වගේ අයගේ කතා, ඔබ ගණන් ගන්න එපා. අනුන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන හුදු සුචරිතවාදීන් ඇත්තටම හොඳ අය නෙවෙයි.
ඔබ හැම විටම ඔබේ හෘද සාක්ෂියට එකඟව, ඔබට නිවැරැදි යැයි සිතන දේ කියන්න... කරන්න. මොනවා කළත් අප හවස නිදාගන්න ඕන හෘද සාක්ෂියත් සමඟයි. එහෙයින් අප වග කියන්න ඕන එයට පමණයි. මටත් ඔය වගේම ප්‍රධානින් නොමැති තැන ඔවුන්ගේ දොස් කියන, අශිලාචාර ලෙස කතා කරන අය මම දැකලා තියෙනවා. සමහර කාන්තාවන්ගේ ලස්සන පාට කළ මුහුණු සියල්ලේම ප්‍රසන්න භාවය ඔවුන් මුව විවර කළ විගසම නැතිව යනවා. අපිට ලෝකය හදන්නට බැහැ. ඒත් අපි ඒ වගේ දේවල් නොකර ඉඳිමු.
අමා