එයත් පනහට පනහ ඉල්ලන කෙනෙක් ද? | සිළුමිණ

එයත් පනහට පනහ ඉල්ලන කෙනෙක් ද?

සිරිලක උතුරත් දකුණත් නැගෙනහිරත් බස්නාහිරත් උනුන් අමතා වෙළෙඳ ගනුදෙනු කරනු ලබන වෙළෙඳ මධ්‍යස්ථානයක් වන් කිලිනොච්චිය පරණ වෙළෙඳ පොළ යළිත් පණ ගසා අවදිව නැගිට ඇත්තාසේ කි‍ලිනොච්චි වෙළෙඳ පොළ නවීකරණය වී ඇතැයි නරේන්ද්‍රට සිතුණේය. සිංහල, දෙමළ, මුස්ලිම් තොග වෙළෙන්දෝ මේ කෑගසන්නේ ජාතිය වෙනුවෙන් නොව ජාතිවාදි අයිතිවාසිකම් හිමිකම් ඉල්ලමින් නොවේ.

“අනේ අපිටත් අපේ අඹුදරු නැ හිතවතුන්ටත් නිදහසේ පනම් අටක් සොයා ගන්න ඉඩ දීපල්ලා. ජාතියෙන් අපිට කමක් කාරියක් නැහැ. මෙන්න සහෝදරවරුනි නුඹලාට තල් හකුරු, තලමොටෙයි, රටකජු, මිරිස් ලූනු, මුරුංගා, අඹ, මිදි. නුඹලා ගෙනා දේවල් මොනවාද? මොනවා වුණත් කමක් නැහැ. කන්න පුළුවන්. වෙළෙඳාම්කරන්න පුළුවන් දේවල් නොවැ...”

වෙළෙන්දා එසේ කෑගසනවා විය හැකි යැයි නරේන්ද්‍ර සිතුවේය. දෙමළ වෙළෙඳුන්ගෙන් අයෙකුට සිංහල හොඳට හුරු බසකි. තවත් කෙනෙකුට වෙළෙඳාම නැතිනම් තමා උතුරේ සිට ගෙනා භාණ්ඩ සිංහල වෙළෙඳුන් ගෙනා භාණ්ඩවලට හුවමාරු කර ගැනීමට තරම් දන්නා බස ප්‍රමාණවත්ය.

“මෙතන සිල්ලර බඩුවලට වැඩිය තොග වෙළෙඳාමක් වෙන්නෙ.”

වෙළෙඳ පොළෙන් දෙනෙත් ඉවතට ගත් නරේන්ද්‍ර නේෂන්ට කිවේය. හිස සැලූ නේෂන් මොහොතක් නිහඬව සිට වෙළෙඳපොළ ගැන තම අතීත මතකයට ගියේය.

“අපි පුංචි කාලෙත් මෙතන මේ මාකට් එක තිබුණා. අද වගේ ම එදත් මිනිස්සු මේ විදිහට වෙළෙ හෙළදාම් කළා. මගේ තාත්තා මිරිස් ගොවියෙක්. නරේන්ද්‍ර දන්නවනෙ මගෙ අම්මා සිංහල.”

“ඩොක්ටර් ඔහොම කියන කොට මට බණින්න හිතෙන්නෙ...”

“කාටද? මට ද?”

“නෑ. නෑ. අපි වගේ දේශපාලනඥයින්ට. සිංහල දෙමළ මුස්ලිම් දේශපාලනඥයින්ට. පොදුවේ රට වැසියා ජීවන අරගලයක යෙදෙන කොට දේශපාලනඥයො බල අරගලයක යෙදෙනවා. අර බලන්න ඒ මිනිස්සු අණ්ඩර දෙමළවලින් හරි වෙළෙඳාම කරගෙන යන හැටි. ඔය සාරි කඩේ දිහා බලන්න. ඒ දෙමළ ගෑනු ළමයින්ට සිංහල කතා කරන්න පුළුවන්. අපේ සිංහල ගෑනු ළමයින්ට දෙමළ බැහැ. නමුත් පහුගිය කාලෙ අධ්‍යාපනයෙන් බලපෑමක් ආවා දෙමළ ඉගෙනගන්න ඕනැ කියලා. ඒක හොඳ දෙයක්...”

කතා කරන අතර ම නරේන්ද්‍ර වට පිට ඈත මෑත බලමින් කිසිවෙක් සොයන්නට විය. නේෂන් ද වට පිට බැලුවේ තරුණියන් දෙදෙනා සහ තරුණයා සොයන්නටය. ඔව්හු ඉන්දියන් තොරොම්බල් යැයි සිතිය හැකි මාල වළලු මුදු විකුණන වෙළෙන්දෙකු අසල සිටියහ.

“ළමයි තුන්දෙනා අර ඉන්නෙ.” නේෂන් වෛද්‍යවරයා නරේන්ද්‍රට ඔවුන් පෙන්වීය.

“මං හෙව්වෙ ළමයි නෙමේ. මන්ත්‍රී කෙනෙක්ව. මෙතෙන්ට එනවා අපිව යාපනේට එක්ක යන්න.”

“ටැමිල් ද? යාපනේ දිස්ත්‍රික්කෙද?”

“ඔව්. බොහොම හොඳ තරුණයෙක්. සාධාරණව හිතනවා.”

සාධාරණ දේශපාලනඥයෙකු නම් රටට අයහපත් නොකරන්නෙක් යැයි සිතිය හැකි බව කීමට නේෂන්ට සිතුණ ද ඔහු ආයාසයෙන් නිහඬ වූයේ නරේන්ද්‍ර ද දේශපාලනඥයෙක් නොවේදැයි සිතින් මතු වූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. සාමාන්‍ය සුදු සරමක් සහ කමිසයක් හැඳගත් තරුණ මිනිසෙක් නරේන්ද්‍ර දැක හඳුනාගත් ඉරියව්වෙන් වහ වහා ඔවුන් වෙත එනවා පළමුව දුටුවේ නේෂන් වෛද්‍යවරයාය. ඔහුගේ අව් කණ්ණාඩි යුවළ හිස් මුදුන මත විය.

“නරේන්ද්‍ර සර්. මෙන්න මං ආවා.”

නරේන්ද්‍රට ළං වූ තරුණ මන්ත්‍රිවරයා කතා කළේ වැඩිහිටි මන්ත්‍රිවරයා කෙරෙහි ගෞරවය පාමිනි.

“හේ ඩොක්ටර් නේෂන්. මං විස්තර කියලා ඇති.”

මන්ත්‍රිවරයා නේෂන්ගේ දෑත් තම දෙඅතින් ගත්තේ ළෙන්ගතු පිළිගැනීම වඩාත් ඔප ලන්නට මෙනි.

“පළමුවෙන් ම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ආපහු ලංකාවට ආවට. ආ. මට කියන්න අමතක වුණා. මගෙ නම...”

එසේ කී මන්ත්‍රිවරයා නරේන්ද්‍ර දෙස බැලුවේ තමා නිවැරැදි කරන්නැයි ආයාචනාත්මකවය.

“මටත් වෙලාව මදි වුණා කියන්න. මේ යාපනේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රුක්නාද් අරුණාචලම්. බොහොම දක්ෂ සාධාරණ කෙනෙක්. නෑ වැඩිය වර්ණනා ඕනෙ නැහැ. අඳුනගෙන කතා කරන්නකො.”

තමා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් සැදුම් ලත් කුඩා කණ්ඩායමක් යාපනය නැරැඹීමට එන්නේ යැයි නරේන්ද්‍ර පැවසුවත් එන පිරිස පිළිබඳ වෙන් වෙන්ව හැඳින්වීමක් කළත් මෙහි පෙනෙන්නට සිටින්නේ වැඩිහිටි දෙදෙනා පමණක් වීම රුක්නාද් අරුණාචලම් තුළ කුතුහලයක් හා විමසීමක් කිරීමේ සිතක් ඇති කිරීමට සමත් විය.

“තව තුන් දෙනෙක් එනවා කිව්වනෙ?” ඔහු ඇසුවේය.

“තුන් දෙනාම රුක්නාද්ගෙ පිට පස්සෙ ඔය ඉන්නෙ...”

මන්ත්‍රිවරයා ආපසු හැරුණේය. තරුණියෝ දෙදෙනෙක් හා තරුණයෙක් ඔහු පිටුපසින් ළං ළංව එමින් සිටියහ. කඩවසම් තරුණයාගේ මුහුණ දැක පුරුදු බවක් රුක්නාද් ට දැනෙන්නට විය. ඔහු විමසිල්ලෙන් ඔහු දෙස බැලුවේය.

“මේ රාහුල. බොහොම ප්‍රසිද්ධයි. ගෙවල්දොරවල් මල්වතු ගෙවතු මහ වනාන්තර හොඳට නිර්මාණය කරනවා. ටී.වී. වැඩසටහන්වලින් ඒ ගැන රටට උගන්වනවා.”

“ඒක තමා. මට දැකලා පුරුදුයි.”

“මේ මගෙ අක්කගෙ දුව රවිහාරි. මේ ඩොක්ටර්ගෙ දුව රෝජා සඳපාණි.”

රුක්නාද් අරුණාචලම් රාහුලට මිත්‍ර සිනාවක් පෑවද තරුණියන් දෙස බැලුවේ තරුණ මඳහසක් මුවඟ ඇතිවය.

තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් රාහුල තරුණයාගේ පෙම්වතිය වීම නිසැකය. ඒ කවුදැයි තෝරා බේරා ගැනීම පළමු කාර්යයක් සේ රුක්නාද්ගේ සිතට දැනෙන්නට විය. තරුණියන් දෙදෙනා ම අතිශයින් රූමත් යැයි කීමට පුළුවන. තද නිල් දෙනෙතක් හා දිගු ඇස් පිහාටු ඇති තරුණියගේ දිගු කෙස් වැටියට ඇය ආලෝකයක් ද ඇගේ පියකරු මුව මඬලට එය ආලෝකයක් දැයි සිතන්නට රුක්නාද් උත්සාහ කළේය.

“රුක්නාද් ඔයා ආවෙ?”

නරේන්ද්‍ර ඇසුවේ වහා ගමන ආරම්භ කිරීමේ චේතනාවෙනි. වෙළෙඳ‍ පොළෙහි මහා ඝෝෂාව සහ තද අව් රශ්මිය සිතට අපහසුවක් ඇති කරමිනි.

“මං ත්‍රීවීලර් එකකින් ආවෙ. සර්ලගෙ වාහනේට නගින්න හිතාගෙන.”

“එහෙනම් යමු.”

තමන් පැමිණි වෑන් රථය වෙතට ගිය රෝජා සඳපාණි සහ රවිහාරි ඉදිරි අසුන්වල දමා ගිය තම අත්බෑග් පිටතට ගත්තහ.

“නංගිලට මං කරදරයක් වුණාද? මං පිටිපස්සට යන්නම්. ඔයාල මෙතන ඉන්න.”

“නෑ. අයියා ඉස්සරහින් නගින්න.”

රවිහාරි කීවේ රෝජා සඳපාණිගේ අනුමැතිය පතන දෙනෙතිනි.

“කමක් නෑ. අපි පස්සට යමු.”

ඇය ද ඉඟියකින් උත්තර දුන්නාය.

තරුණියන් දෙදෙනා මඳ දුරක් යන විට නොදැනුවත්වම නින්දට වැටුණහ. ගෙවතු අලංකාරය ගැන රාහුලගෙන් අසා දැන ගත යුතු බොහෝ දේ රුක්නාද් අරුණාචලම්ට තිබිණි.

නේෂන්ගේ උනන්දුව රුක්නාද් මන්ත්‍රිවරයාගේ දේශපාලන චරිතය කවරාකාරදැයි දැන ගැනීමට යොමු විය.

“එයත් පනහට පනහ ඉල්ලන ගොබිලෙක් ද?”

“ඔහු ඇසුවේ හිනැහෙමිනි. නේෂන්ගේ පැරණි සම්භාව්‍ය ගැමි ජනවහර දැනුම කුඩා කල ඔහුට මවගෙන් ලැබුණ දායාදයක්දැයි අසන්නට නරේන්ද්‍රට සිතිණි.

“දේශපාලනඥයින්ගේ මෝඩ බල තණ්හාවයි යථාර්ථය වටහා නොගැනීමේ උද්ධච්චකමයි නිසා ජාතීන් දෙකක් අතර මහා අසමගියක් ඇති වුණා. නරේන්ද්‍ර මං නම් පිළිගන්නවා කොච්චර ගැටුම් තිබුණත් දෙමළ මිනිස්සුන්ට දකුණේ ජීවත්වීමේ නිදහස තිබුණා. සමගියෙන් ආදරයෙන් ජීවත්වීමේ නිදහස තිබුණා. ජාතීන් විදිහට රට බෙදිල්ල පටන් ගත්තෙ කොල්බෲක් කොමිෂමෙන්. බෙදුණ රටක් පාලනය කරන්න පාලකයින්ට ලේසියි. සූරා කන්නන්ට ලේසියි. දැන් අපි ඉංග්‍රිසි භාග වෙලා අර ‍ගොංකමටමයි කැමති මේ මන්ත්‍රිතුමත් ඒ ජාතියෙම ද?”

“නෑ. නෑ. දුප්පත් පවුලක. කෙසෙල් ගොවිතැනින් ජීවත් වුණ අය. අම්මා තාත්තගෙ වැඩවලට උදව් කරන්න පටන් අරන් තියෙන්නෙ අවුරුදු හයේ ඉඳන්. ජීවිතය පුරාම කටුක අත්දැකීම්.”

පස් අවුරුදු දරුවෙකුව සිටියදී රුක්නාද් මවුපියන් සමඟ එක්ව කෙසෙල් වගාවේ වැඩ ආරම්භ කළේ මහත් සන්තෝසයෙනි. මතක ඇති අතීතයේ ඇරඹුම එයයි.

උදෑසන හතරහමාරට අවදිවී මවුපියන් සමඟ වගා බිම්වල ජීවන අරගලයක යෙදී සිටින කුඩා කෙල්ලන්ගේ කොල්ලගේ දා බිඳු උදේ පිනිබිඳුවලට අභියෝග කිරීම යාපනයට හුරු පුරුදු දසුනකි.

රුක්නාද්ගේ කුඩා දෑත් දෙකෙහි ඔසවා ගෙන යා නොහැකි තරම් වතුර බඳුන් දෙකක් තබන පියා ඒ හැම විටම ප්‍රශ්නයක් ඇසුවේය.

“උඹට ඉස්කෝලෙ යන්න පරක්කු වෙයිද කොල්ලෝ?”

“නැහැ.”

රුක්නාද් සෑම දිනකම දුන්නේ එකම පිළිතුරකි. තමා යන පාසලෙහි මුල්ගුරුවරයාගේ නිවුන් පුතුන් දෙදෙනා ද උදෑසන අඹ පැළවලට වතුර දමා ඉන්පසු පාසලට එන බව රුක්නාද් දැන සිටියෙන් ප්‍රමාදය ගැන ඔහු බිය වූයේ නැත.

යාපන සාමාන්‍ය වැසියන්ට ක්‍රෑර හා කටුක ජීවිත සටනක යෙදී දිනා ගත යුතු බො‍හෝ දේ විය. ඒ ජයග්‍රහණ කිසිවක් බලය උදෙසා නොව ජීවිතය උදෙසා වීම රුක්නාද් වටහා ගත්තේ යෞවනයට පා තබන විටය.

පාසල් වියේදී උසස් පෙළ හදාරමින් සිටියදී ඔහු තරුණ සිසුවියක හා ආලයෙන් බැඳුණේය. උග්‍ර කුලවාදීන් වූ සිසුවියගේ මවුපියෝ දාමරික මිනිසුන් දෙදෙනෙකු මෙහෙයවා ඔහුට දරුණු ලෙස ගුටිබැට දුන්නහ. මරණාසන්නව මහ මඟ වැටී සිටි ඔහු රෝහලට ගෙන ගියේ සිංහල හමුදා නිලධාරින් දෙදෙනෙකු විසිනි.

රුක්නාද් මිය ගියා යැයි පුවතක් ගම පුරා පැතිරී ගියේය. ඔහුගේ පෙම්වතිය ගෙල වැල ලා ගත්තාය. මාමා කෙනෙකු රුක්නාද් කිලිනොච්චි රෝහලට රැගෙන ආවේ හමුදා ආධාර ඇතිවය.

“මට මැරෙන්න දෙන්න අයියා. අනේ සර් මට මැරෙන්න දෙන්න. මට මැරෙන්න ‍ඕන. අයියෝ මං නිසා ඒ ළමයට වෙච්ච දෙයක්.”

කිලිනොච්චියට එන අතර ගිලන් රථයේදී ඔහු විලාප නැගුවේය. උණුවන හදවත් ඇතිව සිටි හමුදා නිලධාරීන් ඔහුට මැරෙන්නට ඉඩ දුන්නේ නැත. පැය හත අටක් සිහිසුන්ව සිටි ඔහු පියවි සිහියට එන විට ඔහු අසල සිටියේ තරුණ හමුදා නිලධාරියාමය. පූර්ණ ලෙස සුවය ලැබීමට මාස දහයකට වැඩි කාලයක් ගත වුණද ඔහු සියලු වධ වේදනා විඳිමින් උසස් පෙළට ලීවේය. ඉහළ සාමාර්ථයක් ලබා නීති විද්‍යාලයට පිවිසුණේය. එල්.ටී.ටී.ඊ සංවිධානය ඔහුගෙන් පරිපාලන සේවයක් බලාපොරොත්තු වුවද ඔහු එය ප්‍රතික්ෂේප කළෙන් දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති විය. එහෙත් ඔහුට විපතක් කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය පසු බා සිටියෝය. කුලවාදී ගැටලුවකින් මරණය අභියසට ගොස් හමුදා ආධාරයෙන් යළි ජීවිතය ලබා සිටින රුක්නාද්ගේ එක් සොහොයුරෙකු එල්.ටී.ටී.ඊ පුහුණුවීමකදී මිය යෑම සමාවට හේතුව විය.

රුක්නාද් ක්‍රමයෙන් දේශපාලන භූමිය වෙතට පිවිසීම ආරම්භ කළේ කුලය විසින් නිග්‍රහයට පත්ව සිටින තම ස‍හෝදර ජනතාවගේ ආර්ථිකය සුඛිත මුදිත කිරීමේ සද් චේතනාවෙනි. යම් ප්‍රමාණයකට හෝ ආර්ථික දියුණුවක් ලබා ගැනීමේ හැකියාව තුළ යාපන වැසියන් දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට උනන්දු වන බව ඔහුගේ අත්දැකීම විය. යාපන සාමාන්‍ය ජනතාවට ඇත්තේ බලය බෙදා ගැනීමේ ප්‍රශ්නයක් නොව ජීවත්වීමේ දහසක් ප්‍රශ්න බව රුක්නාද් තදින් අවධාරණය කළේ දැඩි සමාජ හිතකාමියෙකු ලෙසය. ඒ දහසක් ප්‍රශ්න අතරට ත්‍රස්තවාදී ප්‍රශ්නයත් මතුවීම තුළ රාජ්‍ය නොවන දෙස් විදෙස් සංවිධාන විවිධ රට රාජ්‍ය එම දහසක් ප්‍රශ්නවලට එකම පිළිතුර ලෙස පෙන්වා දුන්නේ ඊළම් රාජ්‍ය කතාවකි.

“අපට අවශ්‍ය බලය නොව නිදහසයි.”

ඔහු නැඟූ හඬට ජාත්‍යන්තර ප්‍රජාව කන් දුන්නේ නැත. නිදහස ලබා ගැනීමට උපකාර කළේ ද නැත. සිංහලයන් විශ්වාස කරන්නැයි කීවේ ද නැත.

“බලය ඉල්ලා අරගල කරපල්ලා.”

එසේ ජාත්‍යන්තරය නගන හඬට ඔහු සවන් යොමු නොකිරීම තුළ මානව නිදහසට ගරු කරන දකුණේ දේශපාලනඥයන්ට ඔහු සැබෑ මානව හිතවාදී මිතුරෙක් විය.

 

ලබන සතියට

Comments