
එය එසේ සිදුවූ මුල් ම අවස්ථාව වන්නට ඇත. එහෙත් එය සිදුවන අවසාන අවස්ථාව නො වන බව නම් නිසැක ය. පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් යොමුවිය. නීතිඥවරියක මාර්ගයෙන් ඉදිරිපත් කෙරුණු මේ පෙත්සමින් කියැවුණු කතාව බොහෝ වෙනස් ය. පෙත්සම්කරුගේ අනන්‍යතාව හෙළි නො විණි.
හෙතෙම මිහින් ලංකා ආයතනයේ සේවය කළ පුද්ගලයෙකි. පසු ව සම්මුඛ සාකච්ඡාවකට අනුව කැඳවීම් ලැබ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයකු හැටියට පත් කෙරිණි. ඉන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෛද්‍ය නිලධාරිනිය අගනුවර ප්‍රකට හෝටලයකට පැමිණෙන ලෙස මේ අයට දන්වා යැවී ය. ඒඅනුව මේ පුද්ගලයා අදාළ හෝටලයට පැමිණි අතර, එහිදී වෛද්‍යය නිලධාරිනිය ප්‍රකාශ කරනුයේ, ඔහු එච්.අයි.වී ආසාදිත අයකු බව වෛද්‍ය පරීක්ෂණයේදී සනාථ වූ බව ය. ඒ අනුව ඔහුට ලබාදුන් පත්වීමේ ලිපිය ආපසු කැඳවා සේවයෙන් ඉවත් වන ලෙසට දැනුම් දෙනු ලැබිණි.
එච්.අයි.වී ආසාදනය රැකියාවකට නුසුදුසු කමක් ලෙස ලංකාවේ සේවක ප්‍රතිපත්තියේ සඳහන් නො වන අතර ම, තමාගේ එච්.අයි.වී ආසාදිත බව රහසිගත ව තබා ගැනීමේ අයිතියක් රෝගීන්ට තිබේ. එවැනි පසුබිමක මෙය කෙතරම් යුක්ති යුක්ත ද බැලිය යුතු ය. නීති තර්ක විතර්ක කෙසේ වේදැ යි කියන්නට අපි දන්නේ නැත. එහෙත්, අප මෙය දකින්නේ මිනිසත්බව පිළිබඳ මහත් ඛේදජනක අවස්ථාවක් ලෙස ය.
අප සමාජය ලිංගික කරුණු පමණක් නොව, ලිංගිකත්වය ගෑවුණු තැනක් පිළිබඳ කතා කිරීමට මැළි ය. ඒ ඔවුන්ට ආගම හෝ වෙනත් සංස්ථාවක් ලබාදුන් තත්ත්වයකට වඩා බොරු සුචරිතවාදය නිසා ය. එසේ නැත්තම් අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරන අකාරයට මෙරට ගැහැනු දරුවන්ගෙන් 6.4% ක් දූෂණය වන්නේ නැත. ලිංගිකත්වය පිළිබඳ මේ සමාජයට තියෙන්නේ කුහකත්වයකි. හුඹස් බියකි. බොරු සංස්කෘතික ආලවට්ටමකි. අනෙක් අතට එච්.අයි.වී. හෝ ඒඩ්ස් සඳහා ලිංගික සම්බන්ධතා පමණක් බලපාන්නේ නැත. ආසාදිත මවකගේ මවුකිරි මගින් බෝවිය හැකි ය. මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට භාවිත කරන එන්නත් කටු මගින් විය හැකි ය. තවත් අයකුට රුධිරය ලබාදීමට යෑමේදී සිදුවිය හැකි ය. ආසාදිත අයකුගේ රුධිරය වෙනත් අයකුගේ සම සිදුරු වූ තැනක ගැවීමෙන් සිදුවිය හැකි ය. මේ අනුව ලිංගික ක්‍රියා යනු එච්.අයි.වී. ආසාදනය විය හැකි එක් ක්‍රමයකි. එමෙන් ම ප්‍රකට ම ක්‍රමය ය. එහෙත් යම්කිසි අයකු එච්.අයි. වී ආසාදිත වූයේ කවර ආකාරයෙන් දැ යි අපට කිව හැකි ද? එය සිප ගැනීමෙන්, කිවිසීමෙන්, කැස්සෙන්, වැසිකිළි භාවිතයෙන් හෝ කෘමි සතුන් මගින් බෝවෙන තත්ත්වයක් නො වේ.
මේ නොදැනුවත්භාවය නිසා ඇතිවී තිබෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් පමණක් නො වේ. ඊටත් එහාට ගිය සමාජ විද්‍යාත්මක ගැටලුවක් සමාජයේ නිර්මාණය වී තිබේ. ලෝකය හා සන්සන්දනය කරන විට පහුගිය කාලයේ සුළු වැඩි වීමක් පෙන්නුව ද එච්.අයි.වී, ඒඩ්ස් අප රටේ ව්‍යාප්තිය පවතින්නේ සාපේක්ෂව පහළ මට්ටමක ය. එයට අප රටේ සංස්කෘතිය, පවුල් සංස්ථාවේ පවතින ශක්තිමත් බව, සැමට පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය සේවයක් තිබීම මෙන්ම ඉහළ සාක්ෂරතාවකට හිමිකම් කීම ආදිය බලපා තිබේ. එය අප ලබා තිබෙන ජයග්‍රහණයකි. ඒවාට අප ගරු කළ යුතු ය. තව දුරටත් එවැනි තත්ත්වයක් රැක ගැනීමට වෙර දැරිය යුතු ය. එහෙත් ප්‍රශ්නය වන්නේ එච්.අයි.වී, ඒඩ්ස් සෑදුණු අයකුට මේ සමාජයේ ජීවත් වීමේ අයිතියක් නැති ද යන්න ය. එච්.අයි.වී වෛරසය ආසාදිත වූවා කියා එසැණින් ඒඩ්ස් රෝගියකු වන්නේ නැත. මිය යන්නේ ද නැත. එච්.අයි.වී. ආසාදිත අයකුට දශකයක් හෝ දෙකක් ජීවත් වීමේ හැකියාව නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාදී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ Anti-retrovital (arv) භාවිත කිරීමයි. මෙවැනි පසුබිමක එච්.අයි.වී. ආසාදිත අයකු ජීවත් විය යුත්තේ නො මැරී මැරෙමින් ද? ඔහු සිය දිවි හානිකර ගත යුතු ද? එසේ වියයුතු නැත.
කුමන හෝ තත්ත්වයක් නිසා එච්.අයි.වී ආසාදිත තත්ත්වයට පත්වන අයකු මේ සමාජයේ අයෙකි. ඔහුට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලු ම මූලික අයිතිවාසිකම් හිමි ය. අනෙකුත් නීතිරීති වල ද රැකවරණය හිමි බව අප දැනගත යුතු ය. එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත් වූවා කියා, පෞද්ගලිකත්වයට ඇති ඉඩ කඩ, එහා මෙහා යෑමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ නිදහස, විවාහ වීම හා පවුලක් ලෙස ජීවත්වීමට තිබෙන අයිතිය, රැකියාවක් ලැබීමට තිබෙන අයිතිය සහ මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් ප්‍රතිකාර ලැබීමේ අයිතිය අහිමි වන්නේ නැත.
මිනිසුන්ට ජීවිතයේ පරාජ අත්විය හැකි ය. එහෙත් අභියෝග මගින් ජයගන්නා මිනිසුන් බොහොමයකි. අප කළ යුත්තේ ඔවුන් සමඟ ජීවත් වීම ය. එංගලන්තයේ ඩයනා කුමරිය එසේ ජීවත් වූවා ය. ඇය ඒඩ්ස් රෝගී පිරිස් සමඟ සුහද ව අතට අත දී කතා කළා ය. ඒඩ්ස් රෝගය වැලදී ලොව වැඩිම කලක් ජීවත්වූ දරුවා ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ සෙලානි එන්කොසි ජොන්සන් ය. ඔහු ජනාධිපති මන්දිරයට කැඳවන නෙල්සන් මැන්ඩෙලා දිගු කතාබහක නියැලුණේ ලොවට ම ආදර්ශයක් දෙමිණි. අප රට ජනාධිපතිනිය ලෙස සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එච්.අයී.වී. ආසාදිත ව සිටි මහාචාර්ය කාමලිකා අබේරත්න මහත්මියට ජනාධිපති ගෞරව ලබාදෙමින් පැවැති උපහාර උලෙළක දී ඇය ව වැලඳ සුහද ව පිළිගත්තා ය. ලොව ආදරය කළ මිනිසුන්ගේ මෙවැනි උදාහරණ අපට සොයා ගත හැකි ය. මිනිසුන් දිරිමත් කිරීම, ජීවිතයට අපේක්ෂාවක් දීම තුළින් ඔවුන් සමාජයේ සාමාන්‍ය මිනිසුන් ලෙස පිළිගත යුතු ය. අප බියවිය යුත්තේ ඔවුන් සාමාන්‍ය සමාජයේ මිනිසුන් ලෙස ජීවත්වීම දී නො ව හුදෙකලා කර සගවා තැබීමේදී ය. එයින් සමාජයට වන හානිය වැඩි ය. කෙසේ වුව ද අප රටේ පමණක් නොව විදේශයන්හි ද සමාජයෙන් කොන් කිරීම දක්නට ලැබේ. එහෙත් අනෙක් රටවල් ඒ යථා තත්ත්වයට පත්වෙමින් පැවැතිය ද අප සිටින්නේ තවමත් ගව් ගණනක් දුරිනි.
1987 වර්ෂයේදී මෙරට පළමු එච්.අයි.වී. ආසාදිතයා සොයාගත් දින සිට මේ තත්ත්වය එසේ ය. ඒ අවස්ථාව කෙතරම් ඛේදජනක ද යත්, ඉතා ධනවත් පුද්ගලයකු වූ ඔහුගේ රෝගය හඳුනාගත් පසු ප්‍රතිකාර සඳහා මුදල් එවීමට පවා ඔහුගේ සහෝදරිය මැළිවී තිබිණි. ප්‍රින්සි මංගලිකා මහත්මියගේ සිදුවීම ද අප කෙතරම් කුරිරු ජාතියක් දැ යි පෙන්වා දුන් අවස්ථාවකි. ඇය ගේ සැමියාට කුමන ආකාරයකින් හෝ එච්.අයි.වී ආසාදනය වී තිබිණි. මේ තත්ත්වය දැනගත් ගම් වැසියෝ ඔවුන්ගේ නිවෙසට ගල් ගැසූහ. ගිනි තැබූහ. කඩයකින් ඉදි ආප්ප ගැනීමට ගිය ඔවුන්ගේ දරුවන් පන්නා දැමූහ. අවසානයේ ඇයගේ සැමියා දිවි හානි කරගත්තේ ය. ඇයට ද එච්.අයි.වී ආසාදනය වී තිබිණි. එහෙත්, ඇය දරුවන් සමඟ ජීවිත සටනට මුහුණ දුන්නා ය. අද දරුවෝ විවාහ වී දරු සුරතල් බලති. කෙතරම් බිඳ වැටීම් තිබුණ ද අද ඇය එච්.අයි.වී ආසාදිතයන් වෙනුවෙන් විශාල සේවයක් කරන ගැහැනියකි. එමෙන් ම මෙරට සිටි කීර්තිමත් මහාචාර්යවරියක, වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මහත්මියට එච්.අයි.වී.ආසාදිත තත්ත්වයට පත්වූයේ හදිසි අනතුරකින් පසු ව කෙරෙන රුධිර පාරවිලයනය නිසා ය. නමුත් පසුව ඇය මහත් අපහසුතාවට පත් වූවා ය.
ඇය සමඟ එකට සේවය කළ වෛද්‍යවරු ඇය මග හරින්නට වූහ. ඇයගේ චරිතය ගැන පවා අභූත චෝදනා එල්ල කර තිබිණි. තත්ත්වය කෙතරම් දරුණු වීද යත් වෛද්‍යවරයකු වූ ඇගේ සැමියාට හිමිවීමට තිබූ උසස් වීම පවා නො ලැබිණි.
ඒ දශකයට දෙකකට පමණ කලින් ය. එහෙත් අද ද තත්ත්වය වෙනස් වී නැත. පියාට එච්.අයි.වී ආසාදනය වී තිබූ නිසා කුලියාපිටියේ දරුවකු පාසලට නො ගන්නේ එහෙයිනි. මේ අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප වල තිබෙන සෘණාත්මක බව ලොවට පෙන්වන අවස්ථා කිහිපයකි.
එහෙත් ලෝකයේ බොහෝ රටවල මේ තත්ත්ව පහවෙමින් තිබේ. පළමු ඒඩ්ස් රෝගියා ලෝකයේ හමුවන්නේ 1981 වර්ෂයේදී ය. එතැන් පටන් 2010 වර්ෂය වන විට එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 34කි. වසරකට අලුතින් ආසන්න වශයෙන් මිලියන 2.6කි. එවැනි පසුබිමකත් එච්.අයි.වී.ආසාදිත පිරිස සමාජයෙන් කොන් නො කිරීමට, හුදකලා නො කිරීමට වැඩ සටහන් ලොව පුරා ක්‍රියාත්මක වේ. මේ දකුණු ආසියාතික රටක් වන නේපාලය ඉදිරියෙන් සිටී. තම එච්.අයි.වී ආසාදිත බව මුල් ම වරට රටට හෙළි කළ නේපාල ජාතිකයා රජීව් කෆ්ලේ ය. ඔහුට එච්.අයි.වී ආසාදනය වූයේ මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමට යාමෙනි. සැබෑ තත්ත්වය ලොවට හෙළි කිරීමෙන් පමණක් නො නැවතුණු හෙතෙම ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයට නායකත්වය දෙයි. ඔහුගේ මේ ඉදිරිපත් වීමෙන් පසු අද නේපාලයේ එච්.අයි.වී. ආසාදිත බව එළිපිට කතා කරන්නට ජනතාව මැළි නො වෙති. අප රටටත් වඩා දරිද්‍රතාවෙන් පෙළෙන, සාම්ප්‍රදායික නේපාල සමාජය මෙතරම් ආකල්පමය අතින් සිදුව තිබෙන දියුණුව විශිෂ්ට වූවකි. මේනිසා නේපාල සමාජයේ එච්.අයි.වී. ආසාදිතයන් සාමාන්‍ය ජීවිතයට පිවිස තිබේ. ඔවුන්ට අවශ්‍ය ආදරය, සැලකීම, සුහදත්වය ලබා දීම පිළිබඳ සමාජයට මනා ලෙස කාන්දු වී තිබේ.
අප රට මෙහිදී ලබා තිබෙන පසුගාමී තත්ත්වයෙන් පෙරට ආ යුතු සමයක ගුවන් සමාගම් සේවකයකුට රැකියාව අහිමිවීම ඛේදජනක නොවන්නේ ද?.
මලික් චමින්ද ධර්මවර්ධන