මෙන්න පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය | සිළුමිණ

මෙන්න පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය

අද අංක 08

පසුගිය වසරේ ලෝකයේ හොඳම නව නිපැයුම් දහයෙන් අටවැනි තැන දිනාගත්තේ මුද්‍රණ යන්ත්‍රයක්. හැබැයි නිකම්ම නිකං මුද්‍රණ යන්ත්‍රයක් නෙමෙයි. මේ තමයි ලෝකේ අලුත්ම ප්‍රින්ටිං සිස්ටම් එක. ඇහුවාමත් පුදුමයි.

ප්‍රින්ටිං කිව්වම ටිකක් අතීතයත් මතක් කරන්න ඕනේ. ටයිප් රයිටරේ වෙනුවට කම්පියුටරේ ආදේශ වුණාට පස්සේ ප්‍රින්ටිං කියන එක සාමාන්‍ය දෙයක් වුණා. එක එක ජාතියේ ප්‍රින්ටිං සිස්ටම් හඳුන්වා දෙන්නත් පටන් ගත්තා. මුලින්ම ආවේ වීල් ප්‍රින්ටර්. ඊට පස්සේ ඊට පස්සේ ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර්. ඉන්ක් ජෙට් වගේම ලේස්ර් ප්‍රින්ටරුත් මෑත කාලීන ප්‍රින්ටර් විදිහට වර්ග කරන්න පුළුවන්. ඒත් මේ අලුත් නිමැවුම... ඒක නම් අලුත්ම අලුත්. ඒකට කියනවා Perpetual printing කියලා. මෙතනදී නිෂ්පාදකයන්ගේ අභිප්‍රාය වෙලා තිබුණේ යළි භාවිතයට ගත හැකි කඩදාසියක් සහිත මුද්‍රණ යන්ත්‍රයක් නිපදවීම. ඒ වගේම තීන්ත නැත්නම් මිල අධික ටෝනර් භාවිතයට නොගන්නා ප්‍රින්ටරයක් නිපදවීම.

ඉතිහාසයට අනුව මෙවැනි ප්‍රින්ටරයක් නිපදවීමට දක්ෂතමයන් උත්සාහ කරල තියෙන්නේ 1970 තරම් ඈත අතීතයේ ඉඳලා. ඒත් ඔන්න සාර්ථකම ප්‍රතිඵලය ලැබිලා තියෙන්නේ පසුගිය වසරේ. ඔවුන් මෙතනදී ටෝනර් රහිතව මුද්‍රණය කළ හැකි ප්‍රින්ටිං මැෂින් එකක් වගේම යළි භාවිත කළ හැකි කඩදාසියකුත් නිපදවලා.

මුලින්ම කියන්න ඕනේ කඩදාසිය ගැන. මේ කඩදාසිය සකස් කරලා තියෙන්නේ තූනි ප්ලාස්ටික් ලේයර් එකක් විදිහට. මේ ප්ලාස්ටික් ලේයර් එකේ වර්ණ දෙකකින් යුත් තිත් මිලියන ගණනාවක් අඩංගුයි. මුද්‍රණය කළ යුතු දෙය මුද්‍රණ යන්ත්‍රයට ඇතුළු කළාට පස්සේ මුද්‍රණ යන්ත්‍රය විසින් මේ ප්ලාස්ටික් ලේයර් එකේ අඩංගු වර්ණ දෙකකින් යුත් තිත් හෙවත් අංශු අතරින් එක් වර්ණයකින් යුත් අංශු මුද්‍රණය කළ යුතු ලියවිල්ලේ හෝ පින්තූරයේ පරිදි හැඩගැස්වීම කරනවා. එවිට එක් වර්ණයකින් යුත් අංශු අතර අනෙක් වර්ණයෙන් යුතු අංශු මවා පාන හැඩය හෙවත් එයින් මැවෙන ලියවිල්ල හෝ පින්තූරය හොඳින් කැපී පෙනෙනවා. හරියටම සුදු කඩදාසියේ මුද්‍රිත කළු අකුරු වගේම.

අනෙක් කරුණ තමයි මෙලෙස මුද්‍රණය කෙරෙන අකුරු මකා දැමීමට අවශ්‍ය වන තෙක්ම කඩදාසියේ හෙවත් ප්ලාස්ටික් ලේයර් එකේ අඩංගුව පැවතීම. එය මකා දැමිය යුතු නම් කළ යුත්තේ එය යළිත් ප්‍රින්ටරයට යොදා තවත් යමක් මුද්‍රණය කිරීමට අවශ්‍ය විධානය යන්ත්‍රයට ලබා දීමයි.

මේ අලුත්ම මුද්‍රණ ශිල්පය ලොවට හඳුන්වා දීල තියෙන්නේ සන්වා නිව්ටෙක් නමැති ජපන් සමාගමක් විසින්. ඔවුන් එයට ලබා දීලා තියන නම Prepeat Re writable printer. පසුගිය වසරේ හොඳම නව නිපැයුම් දහය අතරට එක් වෙන්න තරමට මේ නිර්මාණය මිනිසුන්ට වැදගත් බව ලෝකය තීරණය කරලා තියෙනවා.

ඒ වගේම කාලගුණයේ ස්වභාවය අනුව මුද්‍රණය කරන වර්ණ වෙනස් කිරීමේ හැකියාවද මේ යන්ත්‍රය සතුව පවතින බව පැවසෙනවා. ඒ අමතර සුදුසුකමක්. ඒ වගේම තමයි මෙහි ඇති දීර්ඝකාලීන භාවිත කිරීමේ හැකියාව. සන්වා නිව්ටෙක් ආයතනය පවසන අන්දමට භාවිතයෙන් බැහැර කිරීමට පෙර කඩදාසිය වෙනුවට භාවිතයට ගන්නා ප්ලාස්ටික් ලේයර් එක මුද්‍රණය කිරීම් 1000ක් සඳහා භාවිත කළ හැකි වෙනවා. එය අතිවිශාල කඩදාසි සහ අතිවිශාල ටෝනර් සංඛ්‍යාවක ඉතිරියක්. යන්ත්‍රය මිලදී ගන්න තැනැත්තාට විශාල මුදලක් ඉතිරි කිරීමටත් සමත් බව නිෂ්පාදකයන් පැහැදිලිවම පෙන්වා දෙනවා.

ඒ සමගම ඔබ මේ අලුත්ම ප්‍රින්ටරයේ මිල දැනගන්න කැමති ඇති. ඔව් හිතුවා වගේම මේ ප්‍රින්ටරයක් මිලෙන් අධිකයි. හරියටම කියනවා නම් එහි මිල දැනට නියම කර ඇත්තේ අමෙරිකා ඩොලර් 6000ක් ලෙස. ඒ වගේම තමයි එකක් දහස් වතාවක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ලේයර් හෙවත් මොඩර්න් මුද්‍රණ කඩදාසි 1000ක් අඩංගු පැක් එකක මිල අමෙරිකානු ඩොලර් 3300ක් ලෙසින්ද මිල නියම කර තිබෙනවා.

මේ තරම් අධික මිලකින් යුත් ප්‍රින්ටරයක් කොහොම හරි ගත්තා කියමුකෝ. කාගේ හරි අත්සන යොදන්න අවශ්‍ය ලේඛනයක් මුද්‍රණය කර ගන්න නම් සාමාන්‍ය ක්‍රමවේදයට ක්‍රියාත්මක වන පරණ ප්‍රින්ටරයකුත් සල්ලිවලට ගන්න වෙනවා නේද?

එතකොට වැදගත් යමක් මේ මුද්‍රණ යන්ත්‍රය ආධාරයෙන් මුද්‍රණය කළා කියමු. එතකොට ඒ මුද්‍රණය සිදුකළ ප්ලාස්ටික් ලේයර් එක යළි යන්ත්‍රයකට බහාලීමෙන් මුද්‍රණය කර ඇති දෑ වෙනස් කරයි කියලා සැක හිතන්න පුළුවන් නේද? සමහර විට වැරදීමකින් වුණත්.

මේ අලුත්ම ක්‍රමවේදය ගැන දැනට හිතෙන්නේ එහෙම. කොහොම වුණත් මේ නිර්මාණය පරිගණක ආශ්‍රිත මුද්‍රණ ක්ෂේත්‍රයේ පෙරළියක් බවනම් පැහැදිලියි. ගුටෙන්බර්ග් හිටිය නම් මොනවා කියයිද? 

Comments