භාවනාවයි කැඳයි තමයි ! ලෙඩ සුව කරන මන්තරේ | සිළුමිණ

භාවනාවයි කැඳයි තමයි ! ලෙඩ සුව කරන මන්තරේ

කඩුවෙල කහන්තොට පාරේ මඳ දුරක් ගිය තැන අධිවේගී මාර්ගය යට බිම් පියසක හමුවන ‘හෙළ ඔසු සුවය’ වෙද මැඳුර ගැන අප ලියූ ලිපිය ගැන බොහෝ තැන්වල විවිධ කතිකා පැවැත්විණ. සමහරු දුරකථනයෙන් එම ස්ථානය සඳහන්ව තිබියදීම මගෙන් නැවත ඒ ගැන අසති. ඒ අපේ රටේ හැටිය. ඇතැමෙක් එම ලිපිය ගැන පැසසුම් ලබා දුන් අතර තවත් අයෙක් කියන්නේ ලිපියේ වෙද හාමිනේ ගැන සඳහන් කරන ප්‍රමාණයට වඩා වෙනත් දේ ලියා ඇති බවය. එය ද ඔළමොට්ටල ප්‍රකාශයක් යැයි කියමි. මේ වෙදකමේ වටිනාකම, අලුත් සහල් ප්‍රභේදවලට වඩා පැරැණි සහල්වල වටිනාකම හෙළ ඔසු සුවය ඒ සඳහා ගන්නා වෑයම එම සහල් කෑ ආදි මුතුමිත්තන්ගේ විස්කමේ කතාව ඊට නොඈඳුවානම් මා හිතන්නේ ලිපිය අසාර්ථකය. ඒවා කියවා තේරුම් ගැනීමෙන් පසු ‘හෙළ ඔසු සුවය’ හා එහි වෙදකම ගැන පූර්ණ අවබෝධයක් ලැබිය හැකිය.

ප්‍රියන්තා සේනානායක මහත්මිය තම රෝගීව සිටි දරුවා තුරුලේ හොවාගෙන පිරිත් කියමින් සංසාරගත කුසලාකුසල කර්මයන් මෙනෙහි කළ බවත් එහිදී දෙවියන් ඇය හා සම්මුඛ වූ බවත් කලින් ලිපියේ සඳහන් කළෙමි. එතුමියට නොපෙනෙන දෙවියන්ගේ බලවේගයක් ලැබුණු බව එතුමිය අපට කීවාය. මේවා ඉන්ද්‍රියගෝචර ප්‍රත්‍යක්ෂයෙන් සිදුවිය හැකිදැයි විසඳීමට අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය සමාජ හැසිරීම ගැනත් මේ බෙහෙත් කැඳ ක්‍රමය ගැන ජනතාව කියන දේත් ඔබට ඒත්තු ගැන්වීම පමණි.

• බයිපාස් සැත්කමක්

හෙළ ඔසු සුවයේ කැඳ වර්ග පානය කිරීමෙන් සුවය ලත් හිමිනමක් පිළිබඳ ඇසීමු. විශේෂඥ වෛද්‍ය කුමුදු සංජීව දහනායක මහතාගේ ආශිර්වාදයෙන් මම බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමා අමතා ඒ හිමියන්ගේ දුරකථන අංකය සොයා ගතිමි. හල්දුම්මුල්ලේ කිරවනාගම විහාරාධිපති ඇල්ලන්දේ සුගතසිරි හිමි­ෙයා් අපට මෙසේ වදාරති.

“2016 ජුලි 31 වැනිදා මං හදිසියේම අසනීප වුණා. ඉතාම දරුණුවට මගේ හදවතේ රුධිර නාළ දෙකක් අවහිර වී තිබුණා. ඒ බව දැනගත්තේ දියතලාව රෝහලේදී. ඊ. සී. ජි. නරක් වී තිබු නිසා මගෙ දායකයො මාව කොළඹ ‘ආසිරි’ රෝහලට ගෙනාවා. දොස්තර නිමාලි ප්‍රනාන්දු හා විශාඛා යන මහත්මීන් තමයි මා පරීක්ෂා කළේ. එතුමියන් කීවා අගෝස්තු 19 වන දා බයිපාස් සැත්කමක් සිදුකරන්න වෙනවා කියලා. ඒ අතරතුරදී බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ජගත් රාජපක්ෂ මහත්මයා හෙළ ඔසු සුවය කැඳ පැකට් කීපයක් මට ගෙනැත් දුන්නා. දිනපතා මේවා දිගටම පානය කරන්න කියලා. ඊට පස්සෙ ‘ඔපරේෂන්’ කරන්න ආවාම දොස්තර නිමාලි හා විශාඛා මහත්මීන් මට ප්‍රකාශ කළා, ‘හාමුදුරුවන්ට ඒ සැත්කම අවශ්‍ය නෑ. ඒ සැත්කම කරන්න අවශ්‍ය තත්ත්වය දැන් වෙනස් වෙලා කියලා’. මේක හරිම විස්මිත වැඩක් වෛද්‍යවරුන් පවා මවිත කරන මේ කැඳ පානයේ කිසියම් විස්මිත ගුණ තිබෙන බව ඒකාන්තයි.”

වස විස සහිත සහල්වලට හා පරිභෝජන රටාවට මාරු වූ තැන අපේ ජනතාව වේගයෙන් රෝගී වන්නට පටන් ගත් බව ඇත්තකි. ගම්පහ රෝහලේ මානව හා පෝෂණ වෛද්‍ය නිලධාරිනි සුජීවා මහත්මිය ද මෙසේ කීවාය.

“සාමාන්‍යයෙන් අක්මාව පවා නරක් වීගෙන යන සමහර අය මේ කැඳ පානය නිසා සුවපත් වෙලා තියෙනවා. මාස 4ක් පමණ එක දිගට මේ කැඳ පානය කළ බොහෝ දෙනෙක් අපේ සායනයෙන් සුවපත් වුණා. පුදුම හිතෙනවා. අවුරුදු 9 - 13 අතර දරුවන් බොහොමයකට කොලෙස්ටරෝල් වැඩිවෙලා තිබුණා. ක්ෂණික කෑම, ෆ්‍රයිඩ් රයිස් වැනි කෑමවලින් දරුවන් ලෙඩ වන ප්‍රවණතාව වැඩියි. මේ ඖෂධීය කැඳ හදාගන්නේ අපේ පැරැණි සහල් ආදියෙන්. (පහත පළ කරන වගු ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.)

• 59%කට දියවැඩියාව

කොළඹ ජාතික රෝහලේ, ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු තවත් වෛද්‍යවරුන් ද, ආයුර්වේද වෛද්‍යවරුන් ද මෙම කැඳ රෝගීනට ලබා දීමෙන් පසු වෛද්‍ය වාර්තා අනුව පාලනය වී ඇති රෝග බොහොමයකි. දියවැඩියාව, හන්දි රෝග, ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත සමහර රෝග, ඇදුම හා පීනස, ස්ථුලතාව, ගලගණ්ඩය (වායු ගෙඩි), රුධිරයේ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වැඩිවීම හා අධි රුධිර පීඩනය මෙසේ පාලනය වූ බව වෛද්‍ය වාර්තා දක්වයි.

අද බෝ නොවන රෝග වේගයෙන් සමාජයේ පැතිර යනු ඇත. ඒ අඩසියවසකට වැඩි කලක් තිස්සේම ජනතාව අධික වස විස සහිත ආහාර අනුභව කරන නිසාය. කොළඹ තදාසන්න ප්‍රදේශවල 59%කට දියවැඩියාව හා පූර්ව දියවැඩියා සම්භාවිතාවක් තිබීම කනගාටුදායකය. මේ අතර රටේ වැඩිහිටි ජනගහනයෙන් 40%ක් මද්‍යසාරමය නොවන (අක්මාවේ තෙල් තැන්පත් වීමේ රෝගයට) ගොදුරුව ඇත්තේය.

හෙළ ඔසු සුවය නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය තමන්ට මේ රෝගවලට බෙහෙත් කියා දෙන නාථ දෙවියන් හා වාද කරන්නීය. ඇය මුලින්ම තමාට මෙසේ අරුම පුදුම අපේ දේශීය දේ කියන තැනැත්තා පිළිබඳ සැක කළාය. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ මහත් විස්මකර්මයන් ඉදිරියේ එසේ කියන බෙහෙත්වල ඖෂධීය ගුණ ඇති බව ඇය තේරුම් ගත්තාය.

මුලින් මටත් මේ පිළිබඳ සැකයක් ඇති වුණා. එහෙත් මගේ ලොකු දුවගේ බරපතළ ඇදුම අසනීපයට කළ යුතු කැඳ ප්‍රතිකර්මය පාවිච්චි කළාට පස්සෙ දුව සනීප වන විට මට එතුමන් පිළිබඳ විශ්වාසය දැඩි වුණා. මං පිරිත්වල ආනුභාවය හා එහි තේරුම් දැනගත්තෙත් එතුමන්ගෙන්. ගේ ඉදිරිපිට උඳුපියලිය වවලා ඒ මත දුව ඇවිද්දවන්නත් මට දෙවියන්ගෙන් උපදෙස් ලැබුණා. සමහරුනට මේවා පුදුම ඇති. ඒත් මේක ඇත්තක්.

• නිල ශාස්ත්‍රය

ප්‍රියන්තා මහත්මියගේ “හෙළ ඔසු සුවය” මැදුරේදී ලෙඩුන්ට බෙහෙත් බඳින වෙනම නිල ශාස්ත්‍රයක් ද තිබේ. ශරීරයේ ස්ථාන තුනකට බෙහෙත් බැඳීම සිදු කරනු පෙනෙයි. දෙපයේ මහපටැඟිලි හා වළලුකරට බෙහෙත් බඳින අවස්ථා ඇත. ඉන් දියවැඩියාව පාලනය කළ නම හෙළි නොකළ රෝගියකු පිළිබඳ මම පෞද්ගලිකව දනිමි.

කෘෂි රසායනවල ඇති උග්‍ර විස බැර ලෝහ (ආසනික් ඇතුළුව) රජරට මිනිසුන්ගේ වකුගඩු රෝගයට කෙළින්ම බලපා ඇති බව දැන් ඔප්පු වී ඇත. විශේෂඥ වෛද්‍ය කේ. එස්. දහනායක මහතා පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් සිදු කරනු ලැබු පශ්චාත් මරණ පරීක්ෂණවලදී ලැබුණු විද්‍යාත්මක සාක්ෂි අනුව රෝගීන්ගේ අවයවවල ආසනික් අඩංගු බව හෙළි විය. එසේම රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රවල පලිබෝධනාශක අවශිෂ්ට කොටස් ඇති බව ද තහවුරු විය.

“මං පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ වකුගඩු ලෙඩුන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කළා. එතකොට ‘ආසනික්’ ඔවුනගේ ශරීරගත වී තිබුණු බව පෙනුණා. පුදුමය කියන්නේ මේ ගැන අප හොයා ගනිද්දී ප්‍රියන්තා මහත්මිය මේ ගැන පරීක්ෂණ නොපවත්වා දිව්‍ය බලයෙන් අසා මට නොයෙක් දේ කීවා. සමහර ශරීර කොටස්වල ආසනික් වැදුණු නිල් වූ තැන් එතුමිය දිව්‍ය පරීක්ෂාවෙන් හරියටම කීවා. එතුමියගේ මඟ පෙන්වීම් අනුව ඒ ආසනික් වැනි දේ අඩංගු තැන් පිළිබඳව ද අසාගෙන ජනතාව දැනුවත් කළා. ඒත් මේක සමහර ජනමාධ්‍ය විකෘති කැර පළ කළා. එදා අපේ පැරැණි සහල්වල ඔක්සිකාරක ගුණය වැඩියි. යම් විසක් ආහාර තුළ අන්තර්ගතව ඇත්නම් එම විස අයින් කිරීමේ හැකියාවක් එදා හාල්වලට තිබුණා.” විශේෂඥ වෛද්‍ය කේ. එස්. දසනායක මහතා කියයි.

අපේ සමාජය ක්‍රම ක්‍රමයෙන් පැරැණි ධාන්‍ය වර්ගවලින් ද ඈත්ව යනු පෙනේ. අමු කුරක්කන්, මෙනේරි වැනි ධාන්‍ය වර්ග ජනතාවගෙන් ඈත් කිරීමේ ක්‍රමෝපායන් ද මේ රටේ කලක සිට ක්‍රියාත්මකය. එය ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් සිදු වනු පෙනෙයි.

• අමු කැවිලද?

සාමාන්‍යයෙන් කෙනෙක් අවුල්ව වැඩ කරන විට ඇයි? නුඹට අමු කැවිලදැයි සමච්චලයෙන් අහන්නේ ඒ ක්‍රියාදාමය සමාජයට වැරැදි විදියට එන්නත් කළ නිසාය. ඒත් ‘අමු’ යනු විශිෂ්ට ධාන්‍යයකි. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” යැයි කියමන් ව්‍යාප්ත කැර ඇත. ඒත් කැවුම් යනු පැරැණි සහලින් හා කිතුල් පැණියෙන් තැනු ඉතා පෝෂ්‍යදායි ආහාරයක් බව ‘හෙළ ඔසු සුවය’ පෙන්වා දී තිබේ.

‘අපේ ධාන්‍ය හා නව සහල්වල පෝෂණය’ මාතෘකා කොට ගත් වගුව බලන්න. ඉන් අපේ තණ හාල්, අමු, මෙනේරි, කුරක්කන් ආදියෙහි පෝෂණය නව සහල් ප්‍රභේදවලට වඩා වැඩි බව පැහැදිලි ‍කරයි.

“හෙළ සුවය” නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මිය යළි මා අබිමුවය. මම ඇගෙන් කෙටි ප්‍රශ්න මාලාවක් අසමි.

ඔබතුමිය ඇයි රට පුරා ගොවියන් එකතු කරගෙන පැරැණි හාල් වවන්නෙ?

එය දෙවියන්ගේ ඉල්ලීම. මේක නොකළොත් ජනතාව ඉවරයි. ශාසනය රැකගන්න ජනතාව ඉන්න ඕනැ.

ඔබට රෑ දහවල් උදේ වෙනසක් නැතිව දෙවියන් හමුවිය හැකි ද?

එහෙම බෑ. දේව සභාවේ වැඩ තිබුණොත් එන්නෙ නෑ. ඒත් ටික වේලාවකට පස්සෙ හරි අහනවා.

ඔබ ලෙඩුන්ට බෙහෙත් දෙන්නෙ එතුමන්ගෙන් අහල ද?

ඔව්, එතුමන් කී ලෙස බෙහෙත් දුන්නාම ලෙඩුන් සුවපත් වෙනවා. භාවනාව, පිරිත මේ බෙහෙත් ක්‍රමයට සම්බන්ධයි. භාවනා කරනවාට, පිරිත් කියනවාට දෙවියන් සතුටුයි. මිනිසුන් යහමඟ යවන්න ඒ ප්‍රතිපත්ති රකින්න. මස් මාංසයෙන් වළකින්න කියලයි දෙවියන් කියන්නෙ.

• භාවනා වැඩසටහන

ඔබ ඒ මඟ යනවා ද?

ඔව්, මා පෝය දවසට මෙහි විශාල භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෙහෙ වැඩ කරන අනෙකුත් වෛද්‍යවරුන් මගෙ දරුවන් එක්ක මාත් හැමදාම භාවනා කරනවා. මස් මාංශ අවශ්‍ය නෑ. අපේ ජීවිත සෞඛ්‍ය සම්පන්න කරන්න.

ඔබට මෙතරම් දේවල් කියා දෙද්දී ඔබ දෙවියන්ට දෙන්නෙ පින් ද?

මං ඕක දෙවියන්ගෙන් ඇහුවාම නාථ දෙවියෝ හිනා වුණා. උන්නාන්සෙ කීවා අපට පින් තියෙනවා. අප හිඟන්නො නොවෙයි. අපට අවශ්‍ය ඔබත් ජනතාවත් ඒ මඟ යවන්න පමණයි කියලයි.

ඔබට අවශ්‍ය බෙහෙත් හේත් හොයන්න පිරිස් ඉන්නවා ද?

රස්සාවටම ඒක කරන අය ඉන්නවා. පැරැණි සහල් වවන ගොවියාට අපි විශාල මුදලක් දෙනවා. රට පුරා දැන් අක්කර 7000ක් වවලා. හෙට අනිද්දා මේක රටේ මුළු සහල් නිෂ්පාදනයෙන් අඩකටත් වැඩි වේවි. ජනතාවට යහපතක් වේවි.

ඔබට ඕනෑම ලෙඩක් සුව කළ හැකි ද?

දෙවියන්ට කළ නොහැකි දෙයක් නෑ. ඒකයි ඇත්ත.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නේ

Comments

Denata mage mawa Anuradhapura Rohale MICU eke Prathikara labanawa.. Doctorsla Kiyana vidihata masthiskayata hani welalu e nisa ammata sihiya enne nelu.. eth amma esdeka eragena espillam gahanawa katath poddak arinawa. Jivithaya awadanam thathweka thiyanawa kiyalai Doctorsla kiyanne.. mekata visdumak ganna puluwanida

පිටු