
මේ දිනවල පවතින දැඩි නියඟය නුදුරු අනාගතයෙහි ඇතිවිය හැකි ගැටලු ගණනාවක් පිළිබඳ ජන සිත්හි භීතියක් නිර්මාණය කර ඇත. ඊට නොදෙවැනි භීතියක් ජන මනසෙහි නිදන් කිරීම සඳහා එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටී. “රට බෙදීමේ ව්‍යවස්ථාව” යනු එම භීතියයි. එය නියඟයේ භීතියට වඩා බියකරු එකක් බව පෙනේ.
මීට සමාන්තර ව ජනප්‍රිය අයුරින් භාවිත වන වදනක් වන්නේ පෙඩරල් ව්‍යවස්ථාවයි. ඒ අනුව “රට බෙදීමේ පෙඩරල් ව්‍යවස්ථාව” ජනතාව හමුවේ ඇති භයානක ගෝනි බිල්ලා ය.
පෙඩරල් භීතිකාව පළමුව උත්සන්න වූයේ බණ්ඩාරනායක පාලන සමයෙහි ය. එතැන් සිට වත්මන දක්වා ම දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනවර්ග ඔවුනොවුන් දෙස සැකයෙන්, බයෙන් බැලීමේ පුරුද්දක් ඇති විය.
සුළුතර ජන කොටස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ පනවා තිබූ 29 වැනි වගන්තිය 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලදී. මේ අනුව දෙමළ ජනතාව බැහැර කිරීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාමය පසුබිම ද සැකසිණ.
“ගැටලු විසඳීම සඳහා පරිපාලන සහ ව්‍යවස්ථා ප්‍රතිකර්ම අවශ්‍ය වුව ද සුළු තරයේ හා බහුතරයේ අන්‍යොන්‍ය පැවතුම්වල වෙනසක් නැති ව එයින් පලක් නොවේ” සෝල්බරි කොමිසමේ නිරීක්ෂණය අදටත් වලංගු ය. “අන්‍යොන්‍ය පැවතුම්වල” වෙනසක් කර ගැනීමට දක්වන අසමත්කම හා පසුගාමිත්වය යහපාලන ආණ්ඩුවේ දේශපාලන විසඳුමට බාධා කරන තීරණාත්මක සාධකය බවට ද පත් ව තිබේ.
සිංහල ජාතිකවාදී දේශපාලන පක්ෂවලට උතුරේ මහ ඇමැති පෙනෙනුයේ රට බෙදන ඒජන්තයකු ලෙස ය. ආර් සම්බන්දන් විපක්ෂ නායක ලෙස පිළිගැනීමට එම දේශපාලන පක්ෂ තවමත් සූදානම් නැත.
ජනවාර්ගික ගැටුම් තීව්‍රත්වයට පත් වූ 1958, 1977, 1983 වසරවල සිදු වූ විනාශය නැවත ඇති නොවීමට පියවර නොගැනීමේ ප්‍රතිඵලය වූයේ බිහිසුණු යුද්ධයකි. යුද්ධයෙන් දෙමළ තරුණ කැරැල්ල පරාජයට පත් කරන ලදී. යුද ජයග්‍රහණය සමස්ත සිරිලකවාසීන්ට ම අස්වැසිල්ලක් වූ බව සැබෑ ය. එහෙත් එහි ප්‍රමෝදය සිංහලයන්ගේ ජයග්‍රහණයක් හැටියට අත්විඳීම පාලකයන් විසින් කරන ලද බරපතළ වරදකි. එම වරදින් මුළුමනින් මිදීමට යහපාලන ආණ්ඩුව ද අසමත් විය. රණවිරු වන්දනාව දිගට ම පවත්වාගෙන යෑමෙන් ඒ බව පෙනේ.
යුද්ධය නිමාවීමෙන් පසු ව රජය එය සැණකෙළියක් බවට පත් කිරීම නිසා යුද්ධයෙන් සිදු වූ මානුෂික විනාශයේ පිළිබඳ ගැඹුරු කම්පාවක් සමාජයට ඇති නොවී ය. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ ජාතියෙන් සිංහල ජාතියට එරෙහි ව ඇති වූ යුද්ධය සිංහල ජාතිය විසින් පරාජය කරන ලද බවට මතයක් ජන මනසට කා වැදීමය.
එහෙත් සිදු විය යුතු ව තිබුණේ ඒ සා විනාශයෙන් නැවත ඇති වීම වැළැක්වීමේ කතිකාවතක් නිර්මාණය කිරීම ය. එය සියලු දේශපාලන පක්ෂවල ද සියලු ජනවර්ගවල ද සහභාගිත්වයෙන් සිදු විය යුතු ව තිබිණ.
යුද්ධයෙන් ඝාතනයට ලක් වූ සියලු ජනවර්ගවලට අයත් පුද්ගලයන් මනුෂ්‍යයන් හැටියට සලකා ඔවුන් සිහිපත් කර දුක තුනී කර ගැනීමේ අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ලබා දිය යුතු විය. එහෙත් ඒ අවස්ථාව දෙමළ ජනයාට නොලැබිණ. රාජ්‍ය අනුග්‍රහයෙන් මිලිටරිය ක්‍රියාත්මක විය. “මහ විරුවන් සැමරීමේ” භීතියක් නිර්මාණය කෙරිණ. මේ තත්ත්වය වෙනස් වී ඇත්තේ මඳ වශයෙනි. ඊට ආසන්න උදාහරණයක් දක්වමි. යහපාලන ආණ්ඩුව තිරසාර සමඟි සන්ධානයක් ඇති කිරීම සඳහා වැදගත් තීන්දු ගණනාවක් ගත්තේ ය. උගත් පාඩම් හා ප්‍රති සන්ධාන වාර්තාවේ (LLRC) නිර්දේශ කර ඇති පරිදි හමුදාව භාරයේ පැවැති දෙමළ ජනතාව සතු ඉඩම් හිමිකරුවන් හට නැවත ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම එක් වැදගත් පියවරකි. එමෙන් ම හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයේ සංහිඳියා කාර්යාංශයක් පිහිටුවන ලදි. සමඟ සන්ධානය පිළිබඳ ප්‍රවිචාරණ කමිටුවක් ද පත් කෙරිණ. එම කමිටු වාර්තාව පසුගිය ද අගමැතිවරයාට බාර දෙන ලදි. යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් තරාතිරම නොසොයා සැමරීමේ දිනයක් යොදා ගැනීම එහි එක් යෝජනාවකි. මේ යෝජනාව ඊට ඇතුළත් කර ඇත්තේ කමිටුවට යෝජනා ලබා දුන් දහස් ගණනක් ජනතාවගේ අදහස් අනු ව ය.
ජාතික හෙළ උරුමයේ නායකත්වය මෙයින් විස්සෝපයට පත් වූ බව ඔවුන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශවලින් පැහැදිලි විය. පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මෙයට තම විරෝධය පළ කළේ එය කොටි සැමරීමේ අවස්ථාවක් බව කියමිනි. අතුරලියේ රතන හිමි ද විවිධ කරුණු දක්වමින් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළ හ. මන්ත්‍රී හිමියන්ගේ එක් චෝදනාවක් වනුයේ නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍ය වගන්තිය ඉවත් වන බව හා රාජ්‍ය ආගම බුද්ධාගම විය යුතු ය වගන්තිය ඉවත් වන බව ය.
මේ දෙදෙනාගේ ම චෝදනාවල සාම්‍යයක් පවතී. ජාතික හෙළ උරුමය ආරම්භයේ සිට ම ජාතික ප්‍රශ්නය දෙස බැලුවේ අගතිගාමී දෘෂ්ටි කෝණයකිනි. 2002 වසරේ ද්විත්ව බලයක් නිර්මාණය වී තිබුණේ ජනාධිපතිවරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරද්දි අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කිරීමෙනි.
අගනුවර පැවති දෙමළ සිංහල කලා උලෙළට මැරයන් ලවා පහර දී එය පොංගු තමිල් උත්සවයක් බවට නම් කරන ලද්දේ හෙළ උරුමය විසිනි. එහෙත් යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදී මෘදු පිළිවෙතකට යමින් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමේ පොදු එකඟතාවක් සඳහා එම පක්ෂය නැඹුරු විය. රතන හිමියන්ට නාම යෝජනා ලැබුණේ ද එජාපයෙනි.
මෑත අවධියෙහි ඒකාබද්ධ විපක්ෂය රට බෙදීමේ භීතියක් නිර්මාණය කිරීමට සාපේක්ෂ ව ආණ්ඩුවේ සසල වීමක් පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස්වීම ද කල් තබා ඇත. බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස පිළිගන්නා බවට ද ඒකීය රාජ්‍යය වගන්තිය ඉවත් නොකරන බවට ද ආණ්ඩුවේ නායකයෝ ප්‍රකාශ කරති.
පවතින අවිනිශ්චිත තත්ත්වය අනුව හෙළ උරුම නායකයන් ව්‍යවස්ථා බිල්ලා මැවීමේ පාර්ශ්වයට කොළ එළියක් දැල්වීම සම්මුති ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් පිළිබඳ වූ ඡන්දදායකයන්ගේ විශ්වාසය පළුදු කිරීමකි.
එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා දැනට ඉදිරිපත් ව ඇති යෝජනා සහ නිර්දේශ ඒකීය රාජ්‍යය ප්‍රතික්ෂේප නොකර යි. රාජ්‍ය කේන්ද්‍රයේ බලය ඒකීය රාජ්‍යය තුළ පැවැතිය යුතු බව පිළිගනී. මධ්‍යම රජයට පළාත්වලට බලය පැවරිය හැකි නමුත් පැවරූ ඒකකයේ එකඟතාවකින් තොර ව එම බලය මධ්‍යම රජයට ආපසු ගැනීමේ හැකියාව රජයට තිබිය යුතු බව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ද සඳහන් කරයි. පළාත් නවය එයකාරයට ම තිබිය යුතු බව ද ඒවා දේශපාලන හා පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ නොවිය යුතු බව ද භාෂාව, ජාතිය, ආගම, ජනවර්ගය මත පදනම් ව බලය පවරන ඒකකයක් නොතිබිය යුතු බව ද නිර්දේශ කරයි.
එහෙත් 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. එයින් හැඟෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිදි පළාත් සභා ක්‍රියාත්මක කර නැති බව ය. එය පසුගාමිත්වයේ ලක්ෂණයකි. 13 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කළ සියලු කුඩා කණ්ඩායම් තම දේශපාලන බලය උරගා බැලුවේ ද පළාත් සභාවල නියෝජනයන් ලෙස තේරී පත්වීමෙනි. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ නියෝජිතයන් හා ඡන්දදායකයන් මරා දැමු ජවිපෙ පසු ව පළාත් සභාවේ රිමෝට් කොන්ට්‍රෝල් එක වීම පිළිබඳ උදවු ඇනුවේය. නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට පිටු දුන් උගත් පාඩම් කොමිසම, මහජන අදහස් වාර්තාව හා කාරක සභා නිර්දේශ සියල්ල පොදුවේ පිළිගන්නා කරුණක් වන්නේ ලංකාවේ විවිධත්වය පෝෂණය කරන අතර භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ය. ඒකීය භාවය සුරැකීම ය.
බෙදුම් වාදයට ඉඩ නොතබමින් රාජ්‍යයේ ඒකීයත්වය හා ස්වෛරීත්වය ආරක්ෂා කළ යුතු බවට එහි සඳහන් ය. එහෙත් පෙඩරල් භීතිකාව හා රට බෙදීම පිළිබඳ ප්‍රවාදය ඉදිරියට එමින් එක්සත් බව සහ පොදු අනන්‍යතාවේ ප්‍රවර්ධනය පිළිබඳ කතිකාවත යට යනු පෙනේ. බලය බෙදා හදා ගැනීමේදී රටේ ජනතාව අතර එකමුතු බව ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට වඩා වැදගත් වන්නේ පොදු න්‍යාය පත්‍රයකි. ලංකාව නැවත ලේ වැගිරෙන රටක් බවට පත් නොකිරීමේ සම්මුතිය හෙවත් නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීම බලය අත්පත් කර ගැනීමේ සාධකයට යට නොවිය යුතු ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළ ද අගමැතිවරයා හා ජනාධිපතිවරයා තවමත් තම දේශපාලන අධිෂ්ඨානය අත් හැර නොමැත.
2020 දී පවත්වන ජනාධිපතිවරණයක් පිළිබඳ කතා පවත්වන දේශපාලන පාර්ශ්ව පොදු න්‍යාය පත්‍රය වෙනුවට පක්ෂයේ බලය පිළිබඳ න්‍යාය පත්‍රය ඉදිරියට ගනිමින් සිටිති. ඔවුනට ඉඩ දී නිහඬ වී සිටීම යහපාලන ආණ්ඩුවේ දේශපාලන ගමනට බාධාවකි. ජනවාරි 8 ජනතා ජයග්‍රහණය අනතුරේ හෙළීමකි. ජනතාවට දුන් ප්‍රතිඥාව කඩකිරීමකි.
තිඹිරියාගම බණ්ඩාර