
ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ මාදිලියක ධාවන කටයුතු පිරික්සා බලන්නට ජපානයේ නිසාන් සමාගම සැරසෙයි. එකී මෝටර් රථ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මහා මාර්ගවලදී ලබන මාසයේදී ධාවනය කරන්නට නියමිත බව වාර්තා වේ. ස්වයංක්‍රියව ධාවනය වන තත්ත්වයට පමුණුවා තිබෙන්නේ නිසාන් සමාගම නිෂ්පාදනය කරන ලීෆ් (Nissan LEAF) නමැති මෝටර් රථ මාදිලියයි. විදුලියෙන් ධාවනය වන බැවින් නිසාන් ලීෆ් මෝටර් රථ මාදිලිය වාහන පාරිභෝගිකයන් අතර මේ වන විට බෙහෙවින් ජනප්‍රිය වෙමින් තිබේ.
ස්වයංක්‍රියව ධාවනය කෙරෙන තාක්ෂණය ඇතුළත් ලීෆ් මෝටර් රථ කිහිපයක් නිසාන් සමාගම දැනට නිපදවා අවසන් කර ඇත. ඒවායෙහි පරීක්ෂණ ධාවන කටයුතු ජපානයේ තෝකියෝ නුවරට ආසන්නයේ පිහිටි යොකොහමාහිදී තවමත් සිදු කෙරෙන බව සමාගමේ බලධාරීහු පවසති. මීළඟ අත්හදා බැලීමේ කටයුත්ත සඳහා සමාගම ලන්ඩන් නුවර යොදාගෙන තිබෙන්නේ නව මෝටර් රථ මාදිලියට යුරෝපය තුළ ප්‍රචාරයක් ලබාදීමේ අරමුණ ඇතිවයි.
පරීක්ෂණ ධාවන කටයුතු මේ අන්දමට සිදුකෙරුණත්ද ස්වයංක්‍රීයව ධාවනය වන නිසාන් ලීෆ් මෝටර් රථ වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කිරීම ඇරඹෙනුයේ 2019 වසරේදී බව දැක්වේ.
මේං අලුත් ගිබන්!
වසර පහකට අධික කාලයක් පුරා පැවැත්වූ පර්යේෂණ රැසක් සාර්ථකත්වයට පමුණුවමින් නව ගිබන් විශේෂයක් සොයා ගන්නට විද්‍යාඥයෝ පිරිසක් සමත් වෙති. නව විශේෂය ගැන පළමුවෙන්ම තොරතුරු වාර්තා කළේ ලන්ඩන් සත්ත්ව විද්‍යා සංගමයේ ආචාර්ය සැමුවෙල් ටර්වී සහ චීනයේ යැට් - සෙන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෆැන් පෙන්ග්ෆී යන විද්වතුන්ය.
සොයා ගනු ලැබූ එකී නව ගිබන් විශේෂය ජීවත් වන්නේ චීනය සහ මියන්මාරය ආශ්‍රිතවයි. ඉරවඩ්ඩි ගඟේ නැඟෙනහිර දෙසට වන්නට මේ ගිබන් විශේෂය දැකිය හැකි බව වාර්තා වේ. නව විශේෂය හඳුන්වා දෙන්නේ “ගඔලිගොන්ග් හූලොක් ගිබන්” (Gaoligong hoolock gibbon) හෙවත් “ස්කයි වෝකර් ගිබන්” (Sky walker gibbon) යනුවෙනි. ඔවුන්ට “ස්කයි වෝකර් ගිබන්” යන නම විද්‍යාඥයන් දී තිබෙන්නේ, ඔවුන් ඉතා උස ගස්වල මුදුන්වල ජීවත් වන බව හෙළි වී ඇති නිසයි. මේ විශේෂයේ ගිබනුන්ගේ ඇහිබැම සුදු පැහැයෙන් යුක්තය. ඉරවඩ්ඩි ගඟේ බටහිර ඉවුරේ ද මේ හා සමානම තවත් ගිබන් විශේෂයකට අයත් ජීවීහු වෙසෙති. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉරවඩ්ඩි ගඟේ බටහිර ඉවුරේ ජීවත් වන ඒ ගිබන් විශේෂයේ ජීවීන්ගේ ඇහිබැම ද සුදු පැහැයෙන් යුක්ත බවකි. එහෙත් නව විශේෂයේ ජීවීන්ගේ ඇහිබැමවල සුදු පැහැය ළා පැහැ යට නැඹුරු බව පැවසේ. එමෙන්ම ඔවුන්ගේ ඇහිබැමි සිහින්ය. ස්කයි වෝකර් ගිබනුන්ගේ හිස් කබලේත්, දත්වලත් විශේෂ ලක්ෂණ දැකිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නව ගිබන් විශේෂය සම්බන්ධයෙන් දැනගන්නට ඇති ඉතා කණගාටුදායක කාරණය නම්, ඔවුන් ගැන තොරතුරු පළමුවෙන්ම වාර්තා වනවිටත් ඔවුන් දැඩි ලෙස වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටීමය.
සංසාරෙන් අපි සමුගන්නා දා රොබෝත් අරගෙන යන්න යමු
විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටියන්ගේ කාන්සිය සහ තනිකම මකාලන්නට සමත් රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කෙරේ. එය නිෂ්පාදනය කර තිබෙන්නේ ඊශ්‍රායලයේ රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතනයක විද්‍යාඥයන් පිරිසකි. රොබෝ යන්ත්‍රය නම් කර තිබෙන්නේ අල් එලි. කිවූ (AI Elli.Q) යනුවෙනි. කෘත්‍රිම බුද්ධියකින් සමන්විත මේ රොබෝ යන්ත්‍රයට කාර්යය රැසක් කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ. මේ රොබෝ යන්ත්‍රයට වැඩිහිටියන් සමඟ කතා කිරීමට හැකියාව ඇත. එමෙන්ම එයට ඇවිදීමටද පුළුවන. ඒ හැරුණු විට වැඩිහිටියන් සමඟ ක්‍රීඩාවක යෙදීමටත්, යහළුවන්ට දුරකථන ඇමතුම ලබාදීමටත්, වැඩිහිටියන් වෙනුවෙන් පොතක්, පත්තරයක් වැනි යමක් කියවීමටත් හැකි තාක්ෂණය මේ රොබෝ යන්ත්‍රයට මුසු කර ඇත. හුදෙකලාව සිටින වැඩිහිටියකුට තනිකම මඟ හරවා ගන්නට හැකි වන පරිදි විවිධ ක්‍රියාකාරකම් යෝජනා කිරීමටත් යන්ත්‍රය සමත් බව කියැවේ.
අල් එලි. කිවූ රොබෝ යන්ත්‍රය පළමුවෙන්ම එළිදැක්වුණේ ලන්ඩන් නුවර මෝස්‌තර කෞතුකාගාරයෙහි පැවැති ප්‍රදර්ශනයකදීය.
මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට මේ කියන රොබෝ යන්ත්‍රය වඩාත් උචිත වන්නේ මහා බ්‍රිතාන්‍යයටයි. එයට හේතුව වයස අවුරුදු 75 ඉක්මවූ වැඩිහිටියන් මිලියනයකට අධික පිරිසක් එරට තුළ හුදෙකලා ජීවිත ගත කිරීමය. මේ පිරිසෙන් 36%කට ආසන්න පිරිසකට දිනකට අඩු තරමින් එක් පුද්ගලයකු සමඟවත් කතා කරන්නට අවස්ථාවක් නොලැබෙන බව වාර්තා වේ. තවත් 11%කට ආසන්න පිරිසක් අඩුතරමින් මසකට දින 5ක පමණ කාලයක්වත් ජීවත්වන්නේ කිසිවකු දකින්නටවත් නොලැබෙන තත්ත්වයක් යටතේය.