
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් ඉන් මුදා ගනු පිණිස පැවැත්වෙන දින දහයේ නේවාසික ප්‍රතිකාරාත්මක කඳවුරු 50ක් දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු යොදා ඇත.
මෙහි ප්‍රථම කඳවුර නුගේගොඩ ප්‍රතිබිම්බාරාම විහාරස්ථානයේ පැවැති අතර දෙවැනි කඳවුර පෙබරවාරි 02 දක්වා මරදාන සංඝරාජ විද්‍යාලයේදී පැවැත්වේ. මෙම කඳවුරින් කොළඹ, මරදාන හා තදාසන්න ප්‍රදේශවල වයස අවුරුදු 18 - 65 දක්වා වයස් කාණ්ඩවලින් තෝරාගත් 28 දෙනකු සඳහා නේවාසික ප්‍රතිකාර ලබා දෙන බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර බාහිර සේවා නිලධාරීනි තුෂාරා නිල්මිණි මහත්මිය සිළුමිණට පැවසුවාය.
දින දහයේ නේවාසික කඳවුරේදී එම පුද්ගලයන්ට ආහාර, නවාතැන්, සනීපාරක්ෂක සේවා, රෝග පරීක්ෂාව, වෛද්‍ය ප්‍රතිකාර, පුද්ගල හා සාමූහික මනෝ උපදේශනය, ආයුර්වේද ප්‍රතිකාර, විනෝදාත්මක ක්‍රීඩා වැඩමුළු ආදි සියලුම පහසුකම් නොමිලේ සැපයේ.
මෙම ප්‍රතිකාරවලට යොමුවන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය නවතා දැමීම නිසා මුල් දින කිහිපයේ වමනය, ක්ලාන්තය, නින්ද නොයාම ආදි විරමන ලක්ෂණ ඇතිවුවත් අවසාන දින කිහිපයේදී මත්ද්‍රව්‍යවලින් මිදී යහපත් කායික මානසික මට්ටමක් ඇතිවන බව තුෂාරා නිල්මිණි මහත්මිය පැවැසුවාය. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා ජලාපවාහන මණ්ඩලය, සංඝරාජ, සහිරා විද්‍යාලවල විදුහල්පතිවරුන්, මරදාන පොලීසිය, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි පෙරේරා, අබාන්ස් ආයතනය, තොරතුරු තාක්ෂණ ආයතනය, පළාත් අධ්‍යක්ෂවරයා ඇතුළු විශාල පිරිසක් මහත් කැපවීමකින් කටයුතු කරන බව ද කීය.