
ඒ නයින් මාවත ඔස්සේ දකුණේ සිට උතුරට පැමිණි සහජීවනයේ පණිවිඩය පිළිගැනීමට, උතුරේ ගම්දනව් නගරවල ජනයා කවර සූදානමක් ඇතිව සිටියේ ද සිටින්නේදැයි මැනවින් වටහා ගැනීමේ දැඩි උනන්දුවකින් සිටි නේෂන් වෛද්‍යවරයාට, දිගු ගමනේ වෙහෙසකර අඩ නින්ද ද අමතකව තිබිණි.
නේෂන්ගේ දෙනෙත් පාර දෙපස වටපිටාවේ සීමාවන් ඉක්මවා යෑමට ගත් උත්සාහය වරින් වර බිඳ වැටුණේ අධික දූවිල්ල පරිසරයට අභියෝග කරමින් වියරු වැටී සිටි හෙයිනි.
රථය මැදවච්චිය පසු කර මන්නාරම් පාරට හැරෙන ඉසව්වට පැමිණි විට නේෂන් රථය මදකට නවත්වන්නැයි රාහුලට කීවේය.
“ඇයි නේෂන් මාමා?” රාහුල ඇසුවේ කුතුහලයෙනි.
“නිකමට මන්නාරම් පාර දිහා චුට්ටක් බලන්න.”
නේෂන් සිනාසෙමින් රථයෙන් බසින විට රථය වට කර ගත්තේ අසීමිත දිළිඳු කමකින් පෙළෙන්නෝ යැයි විශ්වාස කළ හැකි බාල යොවුන්වියේ පිරිමි ළමයින් කීප දෙනෙකි.
තැම්බූ රටකජු සහිත කුඩා සිලි සිලි බෑග් කිහිපයක් එකවරම නේෂන් වෙතට දිගු වුණේ තියුණු තරගයකට මෙනි. නේෂන් සිත උපන්නේ කරුණාවකි. ඔහු රාහුලට කතා කළේ හිසෙනි.
නුදුරේ වූ වෙළෙඳ සලකින් තරමක් හැඩි දැඩි පෙනුමැති මිනිසෙක් ඉක්මන් ගමනින් නේෂන් වෙත එනු දුටු රාහුල තැති ගත්තේ ය. එවිට ම එසේ පැමිණි මිනිසා රාහුල වෙත පෑවේ සුහද සිනාවකි.
“මුන්ට අපි කියලා තියෙනවා මෙතන වාහනයක් නතර කරන කොට ඇවිත් වට කර ගන්න එපා කියලා කරදරයිනේ.”
මිනිසා කීවේ සිංහල බසිනි. රාහුල අනුව යමින් රවිහාරිත් රෝජා සඳපාණිත් රථයෙන් බැස නේෂන් දෙපස සිට ගත්තහ.
“පලයල්ලා. මේ මහත්වරුන්ට නෝනලාට කරදර නොකර පලයල්ලා.”
මිනිසාගේ තර්ජනය දෙමළ බසින් සිදු වුණත් එය තේරුම් ගැනීමේ හැකියාව සිවුදෙනාට ම විය. වෙළෙද සලෙන් තරුණ ගැහැනියක් පිටතට ආවාය. ඇය අත දුම් දමන රටකජු භාජනයක් විය. දිගු සායක් සහ කරවටා රැළි පටියක් ඇල්ලූ අත් දිග හැට්ටයක් ඇඳ කොණ්ඩය ගොතා මලග් ගවසා නළලට ලොකු රතු තිලකයක් තබා සිටි ඇය දුටු රවිහාරිගේ මතකයට නැගුණේ ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ මන්නාරම්පිට වැල්ලේ කුණ්ඩුමණිය.
“ළමයින්ගෙ රටකජුත් ගන්න. මේ රටකජුත් ගන්න.”
වෙළෙඳ ලෝකයේ දුබලයා පරදවා ප්‍රබලයා නැගී සිටීමේ ප්‍රවණතාවට රටකජු ඇටය පවා නතුවීමේ ප්‍රායෝගික න්‍යාය වෙනස් කිරීමට සමතෙක් නැතැයි සිතමින් නේෂන් මන්නාරම් පාර දෙස බලා සිටින්නට විය.
හදිසියේ ඔහු සිතට ෂර්මිලා පිවිසුණාය. ෂර්මිලා කලක් මන්නාරම් රෝහලේ සේවය කරද්දී ඔහු ඇය දකින්නට ගියේ මැදවච්චියට පැමිණි මේ මාවත ඔස්සේය.
වැල්ලට රැල්ලට ගලට මුලට කටු කොහොලට අකුලට ඔරොත්තු දෙන මොරිස් මයිනර් රථයකින් ආ ගිය ගමන්වල මතකයන් පිසලන්නට මෙන් මං මාවත් නවීකරණය වී ඇත.
සුසුමක් හෙළූ නේෂන් රටකජු ගනුදෙනුව අවසන්ව තිබුණෙන් ආපසු රථයට නැග්ගේය.
කර්කශ වියළි දේශගුණය ක්‍රමයෙන් වැඩෙන්නට විය. මඟ දෙපස ගස් වැල් අඩු වෙමින් ඈතින් මෑතින් විසල් තල් ගස් පේළි මතුව වන්නට පටන් ගත්තේ නේෂන් යළිත් අතීතයට ඇද දමමිනි.
වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටියදී මිතුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා යාපනයට පැමිණි ගමන්වලදී තල් රාවලින් සන්තර්පණය වූ මිතුරු කැල රැය පහන් වනතුරා ගී ගයමින් නැටූ සැටි අසල්වැසියන්ට කරදරයක් නොවෙන සේ ගී ගයන්නැයි මව අවවාද කළ සැටි හදවත නිධන්ගතව ඇති වටිනා මතකයන්ය.
ගැයූ ගී සිංහල ද දෙමළ ද හින්දි ද ඉංග්‍රිසි දැයි මතකයක් නැත. සියලු දෙනාම එක්ව ගැයූහ. ගී නොගයන නොහැකි අය ද ගී ගැයූහ.
රෝසමලට අත තියන්න එපා යැයි පැවසෙන කයි පොඩාදු රොජා පුවේ ගීය අසමින් ෂර්මිලා තම මව අසල හිඳ ගෙන සිටියේ ඇගේ අතක් ද අල්ලාගෙන නොවේදැයි සිහි කළ නේෂන්ට සුසුමක් හෙළුණේය.
ඒ මිහිරි ගී ගැයුමේ අවසානය ජාතික ගීය විය. වාසනාවකට ජාතික ගීය ගැයෙන මොහොත එන විට ඔවුන්ගේ තල් රා ජවය සංසිඳී තිබිණි.
“මම අපේ ජාතික ගීයට ගරු කරනවා.”
ෂර්මිලා මිමිනුම් ස්වරයෙන් කීවේ නේෂන් පුදුම කරවමිනි.
“අපි හැමෝම ජාතික ගීයට ගරු කරන්න ඕනැ තමා. මොකක්ද දැන් ප්‍රශ්නෙ?”
“මං ජාතික ගීයෙ එක අදහසකට කැමති නැහැ.”
“හිරේ විලංගුවෙ වැටෙන කතා කියන්න එපා. ඒක ජාතික ගීයට කරන අපහාසයක්. හරි මොකක්ද ඔය අකැමැති පදේ?”
“ඥාන වීර්ය වඩවමිනි රැගෙන යනු මැන ජය භූමි කරා කිව්වට මේ අපි ඉන්නෙ පරාජිත භූමියකද කියලා මට හිතෙනවා. අපේ ජය භූමිය ශ්‍රී ලංකාව නෙමේද? කොහේ තියෙන ජයභූමියකට ද අපිව ගෙනියන්න කියන්නෙ?”
ෂර්මිලාගේ තර්කයට පිළිතුරු දීමට තමා උනන්දු නොවීම වැඩා නිවැරැදි යැයි නේෂන්ට සිතිණි. ඕනෑම මිනිසෙකුගේ ජයග්‍රාහී භූමිය ස්වකීය මව්බිම වීම කොතරම් වටිනාකම්වලින් ජීවිතය පුරවන්නක් ද?
පරගැති භාවයෙන් මිදීමට නම් සියලු ජාතීන් සියලු ආගමිකයන් සියලු භාෂාවන් උනුන් කෙරෙහි ගෞරවයෙන් එක්ව නැගී සිටිය යුතුමය. විසිර අසමගිකම් පාන විට ඔවුන් නිරායාසයෙන් ම නිදහස් ආක්‍රමණිකයන්ගේ බළල් අත් වීම වැළැක්වීම දුෂ්කරය.
වෑන් රථය කිලිනොච්චියට ළං වෙමින් තිබිණි. නේෂන්ගේ දීර්ඝ සිතුවිලි දැහැන දෙදරවා අරිමින් නින්දෙන් අවදිවන ඈනුමක් ඇතිව නරේන්ද්‍ර රථයෙන් පිටත බැලුවේය.
“ඇති යන්තම් නරේන් මාමා අවදි වුණා.”
රවිහාරි පිටුපසට හැරී නෝක්කාඩු හඬකින් කෑගැසුවාය.
“ළමයෝ මං නිදාගෙන හිටියා නෙමේ.”
“එහෙනම්. ඔය සද්දයක් ඇහුණේ. කළුවර ගහක් ඉරුවද? මාළිගාවත්තෙ ලී මෝලක් පටවන් ආවා වගේ.”
“නෑ. නෑ. ස්වප්ල මායා දැලක වෙලී පැටලී ගැලී හිටියා. නිදා ගත්තා නෙමේ. එතකොටත් ගෙරවෙනවා...”
“ඔය කිව්වෙ.”
නරේන්ද්‍රගේ විහිළු සරදම් ඥාති දරුවන්ට මෙන් ම රාහුලට ද හුරු පුරුදුව ඇත. ස්වප්න මායා දැල කුමක් දැයි රෝජා සඳපාණි සිතන්නට වූවාය.
“ඒ වචනෙ තේරුම මොකක්ද රවිහාරි අක්කා?”
ඇය ඉතා සෙමෙන් රවිහාරිගෙන් විමසුවේ විශාල ගැඹුරක් හරයක් ඇති විශාල අදහසක් නරේන්ද්‍රගේ වදන් තුළ සැඟව ඇතැයි හැඟීමෙනි.
“මායාකාරී හීන ගොඩක පැටලිලා.” රවිහාරි සිනාවෙන් කීවාය.
“මායාකාරී හීන පේන්නෙ මායාකාරයින්ටනෙ?”
“රෝජා ඔයා හරි පැටියො. මායාකාරී හීන පේන්නෙ මායාකාරයින්ට තමා. ලෝකයේ ඕනෑම දේශපාලනඥයෙක් අඩු වැඩි තරමින් මායාකාරයෙක් තමා. මායාකාරයෙක් නොවෙන කිසිම මිනිහෙකුට දේශපාලනඥයෙක් වෙන්න බැහැ.”
නරේන්ද්‍ර කීවේ සැහැල්ලුවෙනි. නේෂන් එසේ කී දේශපාලනඥයා දෙස බැලුවේය. මොනරාගල ගමනේත් මෙතෙක් දුරක් ආ යාපන ගමනේත් වෙනස්කම් සසඳා බලන විට දේශපාලනඥයන් මායාකාරයන් නොවේ යැයි කෙසේ සිතන්නද?
නොවිසඳුණු ජල ප්‍රශ්න, නොවිසඳුණු ඉඩම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, ආහාර ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න ආදී කී නොකී ප්‍රශ්න ගොඩ ගැසෙමින් පවතින සමස්ත දිවයිනේ සෑම බිම් අඟලක්ම මුළාවකින් වෙළා තැබීමට ගෝලීය කරණය වෙමින් පවතින ලෝකයේ දැඩි අභියෝගයන්ට ලක් වෙමින්ය. එය නොදන්නා සේ ජනතාව සිහිනවල සතපවා තබන්නට හැකි මායාකාරයන්ට පමණි.
“ලංකාව පුරාම විශාල ජල ප්‍රශ්නයක්.”
ජලය සොයා යන හෝ ජලය රැගෙන එන විවිධ තරාතිරම්වල ස්ත්‍රීන්ගේ දුක්ඛිත ස්වභාවය දුටු නේෂන් කීවේ “නුඹලාත් මේවා වගකිව යුතු යැයි” දනවන දෙනෙතින් නරේන්ද්‍ර දෙස බලමිනි. මොනරාගල ගමනේදී කඩින්කඩ සමහර දර්ශන මීට අසමාන නැත.
“මම සැරයක් ලිබියාවට ගියා.” ඔහු කීවේ රාහුලට සහ තරුණියන් දෙදෙනාට ද ඇසෙන ලෙස මඳක් හඬ නඟාය.
“එතකොට ලිබියාව පාලනය කළේ කර්නල් ගඩාපි.”
නේෂන් වෛදවරයා ලෝක දේශපාලනය පිළිබඳ දීර්ඝ විචාරයකට සැරසෙන සැටියක් නරේන්ද්‍රට පෙනිණි.
නේෂන් ලිබියාවට ගියේ ඔහු සේවය කළ කැනඩා පෞද්ගලික රෝහලේ පාලන අංශයේ නියෝගයක් වන් ඉල්ලීමකට අනුවය. ඔහු සමඟ තවත් වෛද්‍යවරු දෙදෙනෙක් ද වෛද්‍යවරියක් ද වූහ. සෙසු කාර්ය මණ්ඩලය අට දෙනෙක් වූහ.
ගඩාපි ජනාධිපතිවරයාගේ සමීප ඥාතිවරයෙකුගේ හෘදය ශල්‍යකර්මයකට ගිය පිරිස පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියේ ළා බාල තරුණයෙකි. ඔහුගේ මුහුණ අතිශයින් දුක්බර විය. තමා රෝගීව සිටින අයගේ පුත්‍රයා බව තරුණයා කීවේ නේෂන්ටය.
ඉතා ආරක්ෂිත ලෙස වෛද්‍ය පිරිස වෛද්‍ය මධ්‍යස්ථානයකට කැඳවා ගෙන ගියේ පුත්‍රයා වූ තරුණයා සහ තවත් රාජ්‍ය නිලධාරින් පස් දෙනෙකි. රාජ්‍ය නිලධාරීන් වුවද ඔවුන්ගේ ඇඳුම පැලඳුම සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ මෙන් විය.
සැත්කම සාර්ථක වීම අසා ගඩාපි ජනාධිපතිවරයා සතුටට පත්ව සිටින බව නේෂන්ට කීවේ පුත්‍රයාය. සැත්කනේ දෙදිනකට පසු යහනින් බිමට බැස තරමක් දුර එහා මෙහා යෑමට රෝගියාට හැකි විය.
ඉතිරි වෙද හෙදකම් ලිබියානු රෝහලකට පවරා ආපසු ඒමේ සූදානමින් සිටිය ද වෛද්‍ය පිරිසට සිදු වූයේ ලිබියාව පුරා සංචාරයක යෑමට ආරක්ෂකයන් කළ ඇරියුම පිළිගැනීමටය.
සංචාරය තෙදිනකට සීමා විය. ඒ තුන් දිනය අවසානයේ ආරක්ෂකයින් වෛද්‍ය පිරිස කැඳවා ගෙන ගියේ ගඩාපි ජනාධිපතිවරයා හමුවටය. එය කලාතුරකින් සිදු විය හැකි දුර්ලභ අගනා හමුවක් සේ නේෂන්ගේ ජීවිත සිදුවීම් අතර සටහන් විය.
ගඩාපි ජනාධිපතිවරයා කෙටි ඍජු සංවාදයක යෙදුණේ නේෂන් සමඟය.
“ඔබට මගේ රට ගැන කියන්න තියෙන්නේ මොනවාද?”
ගඩාපි ජනාධිපතිවරයා ඇසුවේ රාජ්‍යතාන්ත්‍රික සිනාවක් මුහුණේ ඇතිවය.
“ඔබතුමාගේ ජල යෝජනා ක්‍රමය අතිශයින් නිර්මාණශීලියි. ශ්‍රේෂ්ඨයි.”
සැබවින් ම නේෂන්ගේ සිත් ගෙන තිබුණේ ගඩාපි ජනාධිපතිවරයා විසින් ලිබියා මහ පොළොව තෙත් කිරීමට කළ මහා ප්‍රාතිහාර්යයක් වන් ජල යෝජනා ව්‍යාපාතියයි.
“බටහිර රටවල මිනිසුන් කියනවා මම ක්‍රෑර පාලකයෙක් කියලා. ඔබටත් එහෙම හැඟෙනවාද?”
“දේශීයත්වයට ජාතිකත්වයට ගරු කරන ඕනෑ ම රාජ්‍ය පාලකයෙක් තරමක් සැරපරුෂ වෙන්නේ ඔහු විසින් ගන්නා ඍජු තීරණ තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රශ්න හා ගැටලුවලට අනුවයි. ඍජු බව ක්‍රෑරත්වය නොවේ. කෲරත්වය ඍජු බව නොවේ.”
ගඩාපි ජනාධිපතිවරයා හිස සලා මඳ සිනාවක් පා වෛද්‍ය පිරිසගෙන් සමු ගත්තේය. ඔවුහු ඉන් දෙදිනකට පසු ආපසු කැනඩාවේ සුපුරුදු රෝහල් සේවයට ආහ.
සතියක් ගත වූයේ නැත. ගඩාපි ජනාධිපතිවරයා විසින් ඔහුගේ ජීවිතයේ එක් අර්ධයක් ලෙස සලකන ලද ඒ මහා යෝධ ජල සම්පාදන ව්‍යාපෘතිය බටහිර බලවතුන් විසින් විනාශ කර දමනු ලැබුවේ අමානුෂික අනුකම්පා විරහිත ගෝත්‍රික ගති ලක්ෂණවල දුෂ්ට බව මානව ඉතිහාසයට එක් කරමිනි.
“නරේන්ද්‍ර ඇත්තට ම ඒක අහස පොළොව උහුලන්නෙ නැති අපරාධයක්.”
කුමන හෝ කවර හෝ මිනිසකු විසින් මිහිතලය මත ගොඩනගන ලද විශිෂ්ටතම ජල ව්‍යාපෘතියක සැබෑ කතාව එසේ අවසන් කළ නේෂන් නිහඬ විය.