හමුදාව යාපනයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක | සිළුමිණ

හමුදාව යාපනයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට නම් ගත යුතු හොඳම පියවර පරිසරය පිරිසුදුව තබා ගැනීමය. නමුදු කුමක් හෝ අහේතුවකට ඇතැම් මිනිසුන් නොකරන්නේ ද එයමය. දෙයක් වීමෙන් පසු දුක් වනවාට වඩා එවැනි ඛේදවාචක සිදුනොවීමට වග බලා ගැනීම වඩාත් වටින්නේය. ජාතිය ආගම කුමක් වුවත් මිනිසත්කමට සලකා මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට යාපනයේ ශ්‍රී ලංකා යුද හමුදාව සිතට ගත් සෙයකි.

වසර ගණනක් තිස්සේ යුද්ධයෙන් වෙන කාටත් වඩා බැට කෑ ඔවුහු කලක් හුදකලා වී සිටියහ. හැම ප්‍රශ්නයක්ම අවසන් වී නැති නමුදු දැන් දැන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ටිකෙන් ටික ඉටු වෙමින් සම්පුර්ණ වෙමින් පවතී.

දැඩි නියං සමය අවසන් වී වැසි වැටෙන්නට පටන් ගත් පසු යාපනයේද දකුණේ මෙන්ම ඩෙංගු රෝගය පැතිරෙන්නට පටන් ගෙන ඇත.‍

අපිරිසුදු පරිසරය මතින් කිසිදු දියුණුවක් ළඟාවිය නොහැකි සේම ළඟා කර ගැනීමට ද නොහැකිය . මේ බව අවබෝධ කරගත් යුධ හමුදාව යාපනේ පාසල් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ පාසල අවට පරිසරය පිරිසුදු කිරීමේ වැඩ පිළිවෙළක් ඉකුත් දා දියත් කළේය. එහි පුරෝගාමීයා වුයේ යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාය.

“යාපනය ප්‍රදේශයේ මේ දවස්වල ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ සඳහා අපි යම් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි කියන අදහස මට තිබුණා. ඒ නිසා මම තිරණය කළා යාපනයේ සියලුම පාසල් හා ඒ අවට පරිසරය පිරිසිදු කිරීමට. මෙම ව්‍යාපෘතිය පටන් ගත්තේ ඉකුත් සතියේ. මේ වන විට අප පාසල් සියයක‍් පමණ පිරිසුදු කර තිබෙනවා. යුධ හමුදාව ඉන්නේ යුද්ධ කරන්නම පමණක් නොවෙයි. ඔවුන්ට සමාජය වෙනුවෙන් මෙවැනි සත්කාර්යයනුත් කිරීමට පුළුවන්. මේ සඳහා යුද හමුදා සාමාජිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් සහභාගි වෙනවා. මෙහිදී අපට පාසල්වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ ,පාසල් දරුවන්ගේ මෙන්ම දෙමවුපියන්ගේ සහයෝගයත් උපරිමයෙන් ලැබෙනවා. යාපනය අර්ධද්වීපයෙන් ඩෙංගු තුරන් කිරීම සඳහා මෙම මෙහෙයුම කරන්නේ යුධ හමුදාවේ වියදමින් .”මහේෂ් සේනානායක මහතා පවසන්නේ යාපනයේ හමුදා‍ව විසින් කරන කාර්යභාරය පිළිබඳවය.

යාපනයේ පාසල් දරුවන්ද දෙමවුපියන්ද තම තමන්ට හැකි පරිදි හමුදාව සමඟ කරට කර වැඩ කරන්නේය. විටෙක හමුදාවෙන් ශ්‍රමදානයට සහභාගි වන කාට කාටත් කෑම බීමෙන්ද සංග්‍රහ කරන්නේය. ඇතැම් විටෙක දෙමවුපියන් ගුරුවරුන් යුද හමුදාවට සංග්‍රහ කරන්නේය. මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ අද වන විට යාපනයේ ජනතාවත් යුද හමුදාවත් අතර ඇති සහයෝගයයි. එකමුතුකමයි.

ඉසවි

Comments