හම්බන්තොට ඉඩම් කාගේද? | Page 2 | සිළුමිණ

හම්බන්තොට ඉඩම් කාගේද?

හම්බන්තොට අතීතයේ වැඩිපුර ප්‍රසිද්ධ වූයේ ලුණු ලේවාය නිසාය. අප පාසල් යන කාලයේ ශ්‍රී ලංකාවේ සිතියම ලකුණු කරන විට තෙත් කලාපය වියළි කලාපය හා ශුෂ්ක කලාපය නම් කිරීම සිදු කළ හැටි තාමත් මතකය. රටේ ශුෂ්ක කලාපය ලෙස පුත්තලමත් හම්බන්තොටත් එදා සිට තවමත් පවතී.

පුත්තලම කෙසේ වෙතත් හම්බන්තොට නම් දැනට වසර 12 ක පමණ සිටම ලොව ප්‍රසිද්ධ නගරයක් විය. අතීතයේ එය ප්‍රසිද්ධ වූයේ දරුණු නියඟයක් තිබූ නිසාය. පසුව එහි වරාය හා ගුවන් තොට ඉදිවෙන කාලයේ හම්බන්තොටම ලොකු ප්‍රසිද්ධියක් ලැබිණි.

මෙරට විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා ජාතික වනෝද්‍යානය වන යාල ජාතික උද්‍යානයත් ලුණුගම්වෙහෙර බුන්දල හා උඩවලව යන ජාතික උද්‍යාන හම්බන්තොට ආශ්‍රිතව පිහිටා තිබීම නිසා එතෙර මෙතෙර සංචාරකයන්ගේ ආකර්ෂණය මේ ප්‍රදේශය මේ ප්‍රදේශය කරා යොමු වී තිබේ.

ඊට අමතරව කතරගම තිස්සමහාරාම පූජා භූමි මෙන්ම හම්බන්තොට ලුණු ලේවායත් ප්‍රදේශයේ සුවිශේෂ ස්ථාන ලෙස පෙන්වා දිය හැකිය. යාල මධ්‍ය ප්‍රදේශය අපේ රටේ වන ජීවි දැඩි රක්ෂිත තුනෙන් එකකි.

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා උස්සන්ගොඩ, නිමලව මදුනාගල, කටගමුව වැනි සුවිශේෂි දර්ශනීය ස්ථාන රැසක් ද තිබේ. මදුනාගල උණු දිය උල්පත් හා රම්සා සම්මුතිය අනුව මුලින්ම ගැසට් කළ බුන්දල තෙත් බිම ද ඒවායේ ජෛව විවිධත්වය ද පාරිසරික අතින් අතිශයින් වැදගත් වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කය ජීවත්වෙන 2016 ඇස්තමේන්තු ගත ජනගහනය 637000 කි. ඒ අතරින් පුරුෂයන් 312962 ක් සිටින අතර ස්ත්‍රීහු 324038 ක් සිටිති. ඉන් සිංහල ජාතික ප්‍රතිශතය 97% කි. ආගම් අනුව බැලුවත් බෞද්ධ ජනතාව සියයට 96ක් සිටින අතර ඉස්ලාම් ආගම් අදහන අය සියයට 1.5ක් සිටිති.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය හම්බන්තොට වන අතර දිස්ත්‍රික්කයට ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශ 12කට අයත්ය. ග්‍රාම නිලධාරී වසම් 576 කි. පළාත් පාලන ආයතන 11ක් මෙහි ඇත. මහ නගර සභා 1 කි. නගර සභා 1 කි. ප්‍රාදේශීය සභා 10 කි. දිස්ත්‍රික්කයේ 2011 වන විට ශ්‍රම බළකායෙන් සියයට 13.4ක් රැකියා විරහිත තරුණ තරුණියන් වේ. දිස්ත්‍රික්කයේ ශ්‍රම බළකායෙන් සියයට 42.2 ක් සිදු කරන්නේ කෘෂිකාර්මික අංශයට අදාළ රැකියා වේ. කර්මාන්ත ක්ෂේත්‍ර සේවා අංශයේ සියයට 23.3ක් සේවය කරනු ලැබේ. 2011 දී දිස්ත්‍රික්කයේ ජනගහන ඝනත්වය වූයේ වර්ග කිලෝමීටරයට 230 කි. තංගල්ල, අම්බලන්තොට, තිස්සමහාරාම, බෙලිඅත්ත යන නගරවල ජනගහන ඝනත්වය තරමක් වැඩිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2609 කි. ඉන් ජලය ඇති ප්‍රදේශය වර්ග කිලෝමීටර් 113 කි.

අපේ රටට නිසි ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් නැති නිසා අපේ රටේ අන් දිස්ත්‍රික්කවල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ඉඩම් අවිධිමත් අයුරින් විවිධ රජයන්වල වුවමනා එපාකම් මත විවිධ කටයුතු සඳහා පරිහරණයට ලබාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ ඇතැම් තැන්වල නායයෑමේ තර්ජනයට පත්ව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය. කෙසේ වුවත් හම්බන්තොට ප්‍රදේශයේ ජනගහන ඝනත්වය ඉතා අඩුය.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ලැබෙන්නේ ඉතා අඩු වර්ෂාපතනයකි. එය වසරකට මිලිමීටර් 750 - 1000 අතර වේ. මේ නිසාම හම්බන්තොට දිස්ත්‍රික්කයට වාරි ජල යෝජනා ක්‍රම කීපයකින් ජලය ලබා දෙනු ලැබේ. මැණික් ග‍ඟේ අලුත් ව්‍යාපෘතිය වන වෙහෙරගල, මව්ආර, ගල්අමුණ, ලුණුගම්වෙහෙර, කිරිඳිඔය හා අලුතින් ඉදිවන උමාඔය වැනි ව්‍යාපෘතිවලින් හම්බන්තොටට ජලය දීමට පියවර ගෙන තිබේ.

ජාතික ඉඩම් ප්‍රතිපත්තිය අනුමත වී නැති නිසාම අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් භාවිතය පිළිබඳව විවිධ ගැටලු ඇතිවී තිබේ.

හම්බන්තොට දිසාපති කාර්යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ රුචිරා වික්‍රමරත්න මහත්මිය පවසන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කය මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 262550 කි. ඉන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ වන ජීවි ජාතික උද්‍යාන, රක්ෂිත කැලෑ හා ළඳු කැලෑ හා දිසාපතිට අයිති වනාන්තර හා වන වගා යනාදියයි. ඒ ප්‍රමාණය හෙක්ටයාර 99625 කි. ඒ කැලෑ ඉඩම් ප්‍රමාණය මුළු දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 38 කි. මින් ජාතික වනෝද්‍යානවලට හා රක්ෂිත වනාන්තරවලට පමණක් හෙක්ටයාර 60308ක් අයත් වන අතර ළඳු කැලෑ, වන සංරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හා දිසාපතිට අයත් කැලෑ ප්‍රමාණය හෙක්ටයාර 38315ක් වේ. අලුත් වන වගාවන් හෙක්ටයාර 1002ක් පුරා විසිරී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව පදිංචි ප්‍රදේශ එනම් ගෙවතු හෙක්ටයාර 67665 ක් පුරා විසිරි පවතී. ඒ ප්‍රමාණය මුළු දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රමාණයෙන් සියයට 25.4ක් පමණි.

සිරිබෝපුර නාගරික ප්‍රදේශය ඇතුළු දිස්ත්‍රික්කයේ නාගරික බිම් ප්‍රදේශය හෙක්ටයාර 1204ක් වේ. දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ වැවිලි බෝගය පොල්ය. ඒ අනුව පොල් හෙක්ටයාර 13692ක් එහි තිබෙන අතර ඒ ප්‍රමාණය මුළු වපසරියෙන් සියයට 5.2 කි. කුරුඳු වගාව හෙක්ටයාර 1352ක් තේ හෙක්ටයාර 155ක් රබර් හෙක්ටයාර 191.1ක් හම්බන්තොට තිබේ.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන වගාව වන වී වගාවට හෙක්ටයාර 42572.4ක් යට වී තිබේ. ඒ ඉඩම් ප්‍රමාණය මුළු ඉඩම් ප්‍රමාණයෙන් සියයට 16.3කි. හේන් ගොවිතැනට ද හෙක්ටයාර 14161 ක් යොදා ගෙන තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ අංශය පවසන පරිදි දිස්ත්‍රික්කයේ ජලාශ, වැව්, කළපු හා ගංගා ඇළ දොළ ආදියට හෙක්ටයාර 11753ක් වෙන්වී තිබේ. එය මුළු ඉඩම්වලින් සියයට 4.5 කි. ඊට අමතරව වෙරළට ගල් වැටිවලට, වැලි වැටිවලට යට වී ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 6052.3ක් බව ද සහකාර අධ්‍යක්ෂ රුචිරා වික්‍රමරත්න මහත්මිය පවසන්නීය.

හම්බන්තොට අලුත් වරායට දැනට වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1656 කි. මුලින්ම වරාය ඉදිකිරීමට හෙක්ටයාර 856ක් හම්බන්තොටින් ලබාගත්තේය. පසුව වරාය දෙවැනි අදියරට යැයි පවසමින් තවත් හෙක්ටයාර 800ක් වරාය අධිකාරියට පවරාගෙන තිබේ. නමුත් එසේ පවරාගත් ඉඩම් තවමත් පවතිනුයේ ළඳු කැලෑ ලෙසය. කිසිම කටයුත්තකට නොගෙනය. ඒ සමඟම මත්තල ගුවන් තොටුපළට ද හම්බන්තොට ඉඩම් හෙක්ටයාර 800ක් ලබාගෙන තිබේ. ඒ සියල්ල පසුගිය රජය යටතේ ලබාගත් ඒවාය.

පසුගිය රජය යටතේ කර්මාන්තපුර සඳහා ද හෙක්ටයාර 1200ක් පමණ ජනතාවගෙන් ලබාගෙන ඇත.

ආයෝජන සංවර්ධන මණ්ඩලය මඟින් කර්මාන්ත පුරයක් සඳහා යයි කියමින් මුලින්ම හෙක්ටයාර 750ක් ලබාගෙන ඇත. පසුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ද තවත් හෙක්ටයාර 469ක් පවරාගෙන තිබේ. යෝජිත අලි කළමනාකරණ සංරක්ෂණ මධ්‍යස්ථානයට වෙන්කළ ඉඩම් ද මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියට පවරාගත් ඉඩම්වලට අයිති වීම බරපතළ ගැටලුවක් වී තිබේ.

ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් නොමැති නිසා ඉඩම් භාවිතය පිළිබඳව ද ක්‍රමවේදයක් අපේ රට ඇතුළත ක්‍රියාත්මක නොවේ. කෙසේ වුවත් හම්බන්තොට දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශයේ සහකාර අධ්‍යක්ෂිකා රුචිරා වික්‍රමරත්න මහත්මිය පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට දැනට අනුමත වූ ඉඩම් පරිහරණ සැලසුමක් ඇති බවයි. ඒ අනුව හම්බන්තොට ඉඩම් ක්‍රමවත් සැලැස්මක් අනුව සංවර්ධන කටයුතු සඳහා තිරසර ලෙස භාවිතයට සැලසුම් සකස් කර ඇති බව ද ඇය පැවසුවාය.

කෙසේ වුවත් මේ හම්බන්තොට දැනට ජනතාව පදිංචිව සිටින්නේ දිස්ත්‍රික්කයේ ඉඩම්වලින් සියයට 25කින් පමණ භූමි ප්‍රදේශයේය. ඒ අනුව එහි යම් සංවර්ධන කටයුත්තක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව පෙනී යන බව නිලධාරීන්ගේ මතය වී ඇත. නමුත් මෙහිදී පවරාගන්නා ඉඩම් ගොඩනැඟිලි ආදියට ඉහළ වන්දියක් ලබාදීම ද කළ යුතුය. එවිට ජනතාවට යම් සහනයක් ලැබෙනු ඇත.

ඒ සමඟම මේ ප්‍රදේශයේ නව කර්මාන්ත බිහි වුවහොත් ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට අඩු ආදායම් ලාභී පවුල්වලට විශාල පිළිසරණක් වන බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

එසේ වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් ජාතික උද්‍යාන හා වන රක්ෂිත තිබෙන බැවින් ඉදිරියේදී කර්මාන්ත පුර ඉදිකරන විට ප්‍රදේශයේ ජෛව විවිධත්වය ආවේණික සත්ත්ව හා ශාක විශේෂ මෙන්ම ජනතාවගේ ගොවිබිම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙරට ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෝ ද පරිසර සංවිධාන ද පෙන්වා දෙති.

ඒ අනුව තිරසර යුගයකට පියනැඟීමට රජය ඇරැඹු වැඩ පිළිවෙළට අනුවම මේ හම්බන්තොට සංවර්ධනය සිදුවන්නේ නම් එය එහි ජනතාවටත් රටටත් ඉහළම සෙතක් වනු ඇතැයි අපේ විශ්වාසය.

රට දියුණු කිරීමට‍, ණය ගෙවීමට කර්මාන්ත පුරයක් අත්‍යවශ්‍යයි
කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
ඒකාබද්ධ විපක්ෂයේ අය මොනව කිව්වත් සුදු අලියෙක් වුණු හම්බන්තොට වරායෙන් වැඩක් ගැනීමට නම් හම්බන්තොට වරාය අසල හා දිස්ත්‍රික්කය පුරා නව කර්මාන්තපුර ඇති කළ යුතුයි.

පසුගිය රජය රුපියල් බිලියන 1.4 ක් වැයකර හම්බන්තොට වරාය හැදුවත් ඉන් රටට හරි වැඩක් වුණේ නැහැ. වරායයි භූමිය තොටුපළයි සුදු අලියෝ නිකම් තියාගෙන වැඩක් නෑ. ලොකු වියදමක් යනවා. ඒවායින් වැඩක් ගන්න නම් වරාය අසල හා අවට තවත් කර්මාන්තපුර ඇතිවිය යුතුයි. එතෙක් වැඩි ප්‍රයෝජනයක් වන්නේ ප්‍රදේශයේ ජනතාවටයි.

අනෙක් එක චීනය තමයි අද ලෝකයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළින් ම වැජඹෙන්නේ. ඒ රටට පුළුවන් ව්‍යාපාරිකයන් අපේ රටට එකතු කරන්න. ඒ නිසයි හම්බන්තොට වරාය හා අවට ඉඩම් චීනයට බදු දෙන්නේ. අපිට එහෙම නැතිව තනියම අපේ රටට කර්මාන්ත අද්දා ගන්න අමාරුයි. චීනය අප රටේ ඇමෙරිකන් ඩොලර් මිලියන 5000 ක් ආයෝජනය කරන්නට අදහස් කරගෙන ඉන්නේ. මේ ව්‍යාපෘතිය මඟින් රැකියා ලක්ෂ ගණනක් ලැබෙනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය වරාය අසල කර්මාන්ත පුරයකට ඉඩම් වෙන් කළත් ‍එතෙර මෙතෙර කවුරුවත් කර්මාන්ත පිහිටවීමට ආවේ නැහැ. නමුත් වත්මන් රජය ප්‍රතිපත්ති හා සංහිඳියා කටයුතු නිසා අපේ රටේ කර්මාන්ත ඉදිකිරීමට දැන් චීනය ඇතුළු රටවල් ඉදිරිපත් වෙලා තිබෙනවා.

ඉස්සර අදහස් කළේ මේ හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් හා වතුර ගබඩා කිරීමට පහසුකම් ලබාදීමටයි. නමුත් වතුර හා තෙල් ගබඩා කිරීමට අලුත් නැව්වල නව තාක්ෂණයෙන් ඕනෑ තරම් ඉඩ කඩ ලබාදී තිබෙනවා. මුහුදු වතුර අරන් පිරිසිදු කරන්නත් තාක්ෂණය තිබෙනවා‍. මේ නිසා දැනි අපි කරන්නේ වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු හා නාවික පුහුණු කිරීම් කරන්න කටයුතු කිරීමයි.‍

ඔය ඒකාබද්ධෙ අය කෑ ගැහුවට අපි අක්කර 15000 ක් හම්බන්තොටින් විතරක් ගන්නෙ නැහැ. ඇඹිලිපිටිය මොනරාගල ප්‍රදේශවලිනුත් ඉඩක් ගන්නටයි බලාපොරොත්තුව. හැබැයි පරිසරයට හා පදිංචි ජනතාවට හානියක් නොවන පරිදි කර්මාන්ත ඇති කරන්නෙ‍.

මේ කර්මාන්ත වලට චීනය පමණක් නොව ඇමෙරිකාව හා ඉන්දියාවත් එකතු වෙනවා.

අද වියට්නාමය වැනි රටවල් පිටරටවලින් කර්මාන්ත තම රටට ගෙනැවිත් දියුණු වෙන්න හදනවා. අපේ රටට වඩා පහළ මට්ටමකයි වියට්නාමය තිබුණේ. නමුත් දැන් ඔවුන් අපට වඩා කර්මාන්ත අතින් දියුණුවෙන්න හදනවා.

ඒ නිසා අපිත් ලෝකය සමඟ තරග කර ඉදිරියට යෑමට මෙවැනි කර්මාන්ත පුර ඇති කළ යුතුයි. වරාය හා ගුවන් තොටුපොළට දියුණු තාක්ෂණය යොමු කළ යුතුයි. එහි ව්‍යාපාරික අවස්ථා පුළුල් කළ යුතුයි.

එවිට පසුගිය රජය ගත්ත කෝටි ගණන් ණය ගෙවලා රට ඉදිරියට ගෙන යාමට වැඩි පුර රැකියා අවස්ථා ලබාදීමට ආර්ථිකය දියුණු කිරීමට හැකිවන බව ස්ථීරයි.

හම්බන්තොටට ගේන්න යන්නේ පරිසර දූෂණය කරන කර්මාන්ත
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ
හම්බන්තොට මොනරාගල හා ඇඹිලිපිටිය ප්‍රදේශවල අක්කර 15000ක් ලබාගෙන කර්මාන්තපුර 100ක් ඉදිකිරීමටයි අගමැතිතුමා මුල්ගල තියා සැරසෙන්නේ. මෙවැනි කර්මාන්ත පුර පිහිටුවීමට පෙර ඒ පිළිබඳව පාරිසරික ඇගැයීම් වාර්තාවක් සකස් කළ යුතුයි. ඒ කර්මාන්ත පුරවලට වෙන වෙනම පාරිසරික ඇගැයීම් කළ යුතු අතර ඒ පුරවල ඉදිකරන කර්මාන්ත සඳහාත් වෙන වෙනම පාරිසරික ඇගැයීම් කළ යුතුයි. ඒක ජාතික පාරිසරික පනතේ නියමයක්.

ඒ අනුව ‍මේ වැඩේ පටන් ගත්තේම ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරලා. ඒ වගේම චීනයෙන් මේ රටට ගේන්න හදන්නේ පරිසර දූෂණය වැඩි හා වැඩියෙන් කාබන් විමෝචනය කරන කර්මාන්ත. චීනයේ තිබෙන පරිසර දූෂක කර්මාන්ත අපේ රටට ආවාම අපේ රටින් පිටවන සම්පූර්ණ කාබන් විමෝචනය වැඩි වෙනවා. අපේ රටේ කාබන් විමෝචනය එක පුද්ගලයකුගේ කාබන් විමෝචනය 1ක් වන අතර චීනයේ කාබන් විමෝචනය 18ක් වෙනවා.

මේ නිසා පැරිස් ගිවිසුමත් උල්ලංඝනය කිරීමටයි වෙන්නෙ. මේ කර්මාන්තවලට ජලය අවශ්‍යයි. මේ අනුව කර්මාන්ත පුර 100 ක් ඉදිවූ විට හම්බන්තොටට ජලය නැති වෙනවා. නිල්වලා, උමාඔය, මැණික් ගඟ හම්බන්තොටට හරවන්න වෙයි. ඒ පැත්තටම දරුණු ජල හිඟයක් ඇති වේවි.

මේ කර්මාන්තපුරය නිසා උඩවලවේ, යාල, ලුණුගම්වෙහෙර, බුන්දල යන වන ජිවි කලාපවලට ලොකු ගැටලුවක් තර්ජනයක් වෙනවා. සංචාරක පාරාදීසයක් වන මේ කලාපවලට එන අයට නිදහසේ ඇවිදීමට ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ එක්කම චීන ජාතිකයෝ වැඩිපුර මේ කර්මාන්තවල වැඩ කරන්න එනවා. ඒ අය අපේ වන සතුන්ටත් හානි කිරීමට පුළුවන්.

ජාතික භෞතික සැලසුමෙන් මේ කර්මාන්තපුර 100 පිළිබඳව සඳහන් වෙනවා. ඒ අනුව 2030 වන විට අපේ රටේ කර්මාන්තපුර 100ක් ඇතිවුණොත් ලොකු පරිසර දූෂණයක් සමඟ ජනතාවට පීඩා ඇති වන එක ස්ථිරයි.

නිහාල් පී. අබේසිංහ

Comments