කවි සිළුමිණ | Page 2 | සිළුමිණ

කවි සිළුමිණ

තරු රෑන

ගනඳුරු රැයක පෑයූ පුන් සඳ කිරණයි

මා සිත් අහස් ගැබ දිදුලන තරු පොකුරයි

පෙරඹර එළිය දී නැඟ එන රිවි කිරණයි

මා සිත සනසවයි එනමුත් ඔබ ඉහළයි

 

භාතිය තරිඳු මේනුක සහ කසුන් පුතේ

සකිර සෙනිත් ප්‍රභූ රංකැටි සවිරු පුතේ

මේධා අමන්දා තිසෙවුනි චූටි පුතේ

ඔබ ගැන සුභ සිහින රඟදෙයි මාගෙ සිතේ

 

හැඩරුව සුවඳ මුදු බව ගෙන සමන් මලෙන්

උකහා රැගෙන සිසිලස සුදු සඳුන් ගසෙන්

යහගුණ උගෙන මවුපිය ගුරුවරුන් කෙරෙන්

මතුදින බබළන්න ඔබ තිසරණේ බෙලෙන්

 

සුමනා නවරත්න


 

මිනිස්කම

 

සවන් පුරවා දෙනෝ දහසක් ඉකිගසන හඬ ඇසෙන්නේ

නුවන් හඬවා දහස් සුවහස් විපත්මය නිති දකින්නේ

සටන් වැදිලා ලොවක් නසලා කුමන සැපතද සොයන්නේ

ඉතින් මිනිසා මිනිස්කම ඇයි මෙලෙස වනසා දමන්නේ

 

කිරෙන් හැදිලා වැදූ මවුගේ ගෙලට අසිපත තියන්නේ

ඉරෙන් ලැබෙනා එළියෙ ඉඳගෙන ඉර නසන්නය හිතන්නේ

අනුන් උදෙසා බෙදන බත්පත බෙදන උන්මය බුදින්නේ

ලොවෙන් ගිලිහී යන මිනිස්කම නිසා මිනිසා නැසෙන්නේ

 

ගාමිණි චන්ද්‍රසේන


 

ඔබේ සෙනෙහස

 

ගොම්මන් කළුවර කඩා හැලෙනවා

රැහැයි හඬට හිත කීරී ගැහෙනවා

ඔබ නැති පාළුව හිතට දැනෙනවා

පාළු ගෙපැලෙ මම හීන දකිනවා

 

සඳකිරණින් පැල එළිය වැටෙනවා

සීපද හඬ ඔබෙ සවන් වැකෙනවා

කණා මැදිරියන් තාල නඟනවා

සෙනෙහස හද තුළ තව වැඩි වෙනවා

 

අරුණ නැඟෙන තුරු ඉවසුම් නැතුවා

දැකුමට ඔබෙ රුව බලා හිඳිනවා

කඩුල්ල අබියස රුවක් මැවෙනවා

සිහිනෙන් මම පෙර මඟට දුවනවා

 

දිලුෂා ලක්මාලි


 

කඳ සුරිඳුනි

 

ඇසල මහේ ඇහැළ මලින් දෝතක් ගෙන ඔබ වඳින්න

සසල වෙවී තිබුණු සිතට සැනසීමක් ලබාගන්න

විසල රුහුණු පුරවරයේ ඔබෙ තෙද බල පතුරුවන්න

නිසල මැණික් ගංතීරේ දිවැස් හෙළා වැඩ සිටින්න

 

පාලම සිට පා ගමනින් හැම වසරෙම පිය නඟන්න

මානව සිත දෙව් බැතියෙන් පිරුණ නිසයි සමාවෙන්න

රෑ නැවතුණ කැබිලිත්තේ කැලේ මැදින් ඇවිද එන්න

රූනට අධිපති දෙවියනි ඔබෙ දෙපා නැමද යන්න

 

සඳ එළියෙන් කිරි වෙහෙරේ සුදු බුදු රැස් විහිදෙන කොට

මඳ සුළඟින් මැණික් නදියෙ දිය දහරා නැලවෙන කොට

විඳ මනරම් සුවයක් බැති දනගේ සිත් සතන් තුළට

කඳ සුරිඳුනි පිහිට වෙන්න අපෙ දුක් ගිනි නිවාලන්ට

 

ආනන්ද අබේවික්‍රම


අම්මා

 

වෙසක් සඳ අවසන පොසොන් සඳ උදාවිය

බුදු තෙමගුලට පසු දෙවැනි බුදුනගෙ විපත සිදුවිය

පුතා යන අවසන් ස්වරය නැවතුණ හිමිදිරි උදෑසන

සුළඟේ ලෙලෙන කොඩියක මවගේ රැව ඇදී තිබුණා

 

උපන්දා සිට ආව ගිය මඟ අදින් පසු නැවතුම් තියා

නිහඬ බව පසක් කොට නිවන වෙත මව ගියා

එක්ව ආ මඟ නැවතිලා ඇය ගියා දියදම සොයා

දෑත් එක්කොට වැන්දා නැවත මවු නොඑනා නිසා

 

සුදම් ගුණසිංහ

Comments