- A9 සාමාර්ථ 35ක්,
- A8 සාමාර්ථ 15ක්,
- A7 සාමාර්ථ 16ක්
- මාර්ගගත අධ්‍යාපනය අධීක්ෂණයට වෙනමම කණ්ඩායමක්
- විෂයන් රැසක සමත්වීම් 100%ක්
ලින්ටන් කුරුප්පු නිර්මාතෘවරයා විසින් 1965 වසරේදී සිසුන් 30 දෙනකුගෙන් ආරම්භ කළ වර්තමානයේ නුගේගොඩ පිහිටි සුජාතා විදුහලේ ආරම්භක ස්ථානය වූයේ කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් පෙදෙසේය. අනතුරුව එය කොළඹ රැජින වීදියට මාරු වන්නට විය. කාන්තා නායකත්වය රටට ඇවැසි මොහොතක ශ්‍රේෂ්ඨ කාන්තාවන් රටට දායාද කරමින් ඇරඹි මෙහි මුල් පියවරේ ආරම්භක විදුහල්පතිනිය වූයේ ඇමරිකානු ජාතික කාන්තාවක් වූ ක්ලේරා මොට්වානිය. සුජාතා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ වූයේද ඇයගේ නායකත්වය පැවැති කාලයේදීය. බෞද්ධ කාන්තා පාසලකින් රටට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු වූ පාසල් ගමන් මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් උදා වූයේ වර්තමාන පාසලේ කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මන් කුරුප්පුගේ නායකත්වය යටතේය. මේ වන විට ජනප්‍රිය පාසල් අබිබවමින් පැවැති තරගයේදී ඉහළ සාධනීය හැකියාවන් පාසල තුළින් පෙන්නුම් කරන්නට හැකි විය.
මීට වසර 30කට පෙර වත්මන් සුජාතා විදුහල් භුමිය වූ නුගේගොඩ ජනාකීර්ණ ස්ථානයට පාසල පැමිණි අතර අධ්‍යාපනික, ක්‍රීඩා, විෂය බාහිර මෙන්ම අනිකුත් අංශයන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට කාන්තාවන් බිහි කරන්නට හැකි විය. වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ලක්ෂ්මන් කුරුප්පු සේම වත්මන් පාසලේ විදුහල්පතිනිය වූ රන්මලි පෙරේරාගේ මනා නායකත්වය හා කැපවීම මත නුගේගොඩ සුජාතා විදුහල කොළඹ ජනප්‍රිය පාසල් හා කරට කර සටනකට එක්විය. ඒ සිසුන් 800ක්ව පැවැති සුජාතා විදුහල 1997 සිට ශීඝ්‍ර දියුණුවක් ලැබීම නිසාවෙනි. මේ වන විට සිසුන් 3,010කගේ අධ්‍යාපන ඉලක්ක සාධනය කරන තෝතැන්නක් බවට පත්ව ඇති මේ පාසලේ 1-13 ශ්‍රේණිය දක්වා වූ පන්ති ක්‍රියාත්මක වන්නේ ගුරුවරුන් 187 දෙනෙකුගේ මඟ පෙන්වීමෙනි.
සිංහල භාෂාව පමණක් නොව ඉංග්‍රිසි භාෂා මාධ්‍ය සමාන්තර පන්තිවලින් ඇරඹි සුජාතාව තුළ අද වන විට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මෙන්ම ජපන්, ප්‍රංශ ආදි භාෂා රැසක්ම ඉගැන්වෙයි. පාසලේ ඉහළ අධ්‍යාපන ප්‍රගතිය හේතුවෙන් පසුගියදා පැවති 2021 (2022) සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථ අතරට එක්වන්නට සුජාතා විදුහලට හැකිවූ අතර, එය විභාග දෙපාර්තමේන්තුව විසින් විශිෂ්ට සාමාන්‍ය පෙළ සාමාර්ථයන් දැක්වූ පෞද්ගලික පාසල් අතලොස්ස අතරටද එක්වෙයි. අවසන් වරට ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 188ක් ඉදිරිපත් වූ අතර, එයින් සිසුන් 184 දෙනෙක් එනම් 98% ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුස්සෝ වූහ. A9 සාමාර්ථ 35 ක්ද, A8 සාමාර්ථ 15ක්ද, A7 සාමාර්ථ 16ක්ද ගනිමින් පෙර වසර සේම කොවිඩ් අභියෝග අභිබවමින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීමට සුජාතාවියෝ සමත් වූහ. එම වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව බුද්ධාගම, ඉස්ලාම්, චිත්‍ර, ජපන්, පෙරදිග හා බටහිර සංගීතය, නාට්‍ය, භූගෝලය, තොරතුරු තාක්ෂණය සෞඛ්‍ය විෂය සමත්වීම 100% ක ඉහළ අගයකි. ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය, වාණිජ මෙන්ම ප්‍රංශ භාෂා සමත්වීම 95%- 99% අගයක් විය.
2021 (2022 ) සාමාන්‍ය පෙළ විභාගයෙන් සුජාතාවේ සිසුවියන් ඉහළ ප්‍රතිඵල පෙන්වීමට ප්‍රධානම කරුණක් වී ඇත්තේ කොවිඩ් සමයෙන් ඇරඹි මාර්ගගත අධ්‍යාපනය වඩාත් විධිමත්ව පවත්වා ගෙන යෑමයි. 2015 වසරේ 86%ක් වූ ගණිතය 2021 වන විට 93%ක්ද, 2015 වසරේ 82ක් වූ විද්‍යාව 2021 වන විට 93%ක්ද, 2015 වසරේ 96%ක් වූ ඉංග්‍රිසි 2021 වන විට 99%ක්ද ඉහළ නැංවූයේ පාසල විසින් ආරම්භ කළ අධ්‍යාපන සංවර්ධන වැඩපිළිවෙළ හේතුවෙනි. මේ නිසාවෙන් 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණවලට අනුව ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ 2 ස්ථානය සුජාතා විදුහලට හිමිකර ගැනීමට හැකි විය. පාසලේ 1-13 දක්වා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට මෙන්ම තොරතුරු තාක්ෂණ විෂය ධාරාවන්ට සිසුන් හුරු කිරීම, STEAM අධ්‍යාපන ව්‍යාපෘතිය හරහා නවීන තාක්ෂණයෙන් යුතු අධ්‍යාපනික ක්‍රමවේදයන්ට හුරු කිරීම පාසල ලබාගත් මේ ජයග්‍රහණයන්ට පසුබිම් වූ කරුණු කාරණාය.
කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමඟ සූම් තාක්ෂණය හරහා මාර්ගගත අධ්‍යාපනය ඇරඹියද පසුව වැඩි සිසුන් පිරිසකගේ සහභාගිත්වය ලබා ගැනීමේ අරමුණින් මයික්‍රො සොෆ්ට් ටීම් හරහා දෛනික කාල පරිච්ඡේද හරහා මාර්ගගත ඉගැන්වීම් සිදු වූයේ ඒ සඳහා පාසල විසින් නම් කළ අධික්ෂණ කණ්ඩායමකගේ අධීක්ෂණය හරහාය. සුපුරුදු පාසල් කාලයම ආවරණය කරමින් ඉගැන්වීම් සිදුවූ අතර මාසික පරීක්ෂණ, වාර පරීක්ෂණ. මවුපිය රැස්වීම්, උදෑසන රැස්වීම්, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම්, ත්‍යාග ප්‍රදානෝත්සව, වෙසක් පොසොන් උත්සව මෙන්ම විෂය බාහිර කටයුතු ආදි සියල්ල සිදු වූයේ මාර්ගගත ක්‍රමයටය. සියලු සිසුන් පාසල අමතක නොකරමින් නිල ඇඳුමින්ම මේ සඳහා සහභාගි වීම අනිවාර්යය විය. කොවිඩ් අවධියේ මාර්ගගත අධ්‍යාපනයේ සාර්ථකත්වය මත පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීම් ද වැඩි වන්නට විය.
නුගේගොඩ සුජාතා විදුහලේ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ “කිසිදු සිසුවකු අසමත් නොවිය යුතුය” යන වැඩසටහන සාර්ථක ප්‍රගතියක් අත්කර දී ඇත. මේ යටතේ ගණිතය හා විද්‍යාව යන විෂයන්ගේ ලකුණු 30ට අඩුව ලබාගත් සිසුන්ටම එක් ගුරුවරයකු බැගින් වෙන් කරන්නේ ඒ ගුරුවරුන්ට මේ සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමට වැඩි අවධානයක් ලබා දෙන්නටය. ලකුණු වැඩි සිසුන් වෙනමම ගුරුවරයකු යටතේ අධ්‍යාපනය ලබද්දි මේ සිසුන් වෙනමම ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබන්නේ සිය අඩුපාඩු සකස් කර ගනිමිනි. 98%ක සාමාන්‍ය පෙළ ඉලක්කයක් කරා පහසුවෙන් ළඟා වීමට මේ ක්‍රමය මහෝපකාරි විය. 'අකුර' නම් වැඩසටහන හරහා සිසුන්ගේ ලකුණු පරීක්ෂා කිරීම් සිදුවූ අතර, මාර්ගගත අධ්‍යාපනයේදී ද මේ ක්‍රමයම ක්‍රියාත්මක විය.
කොවිඩ්වලින් අනතුරුව පාසල් සජීවිකරණය වීමත් සමඟ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා පෙ.ව 6.30 සිට පෙ.ව 7 දක්වා අමතර පන්ති මෙන්ම පාසල අවසන් වීමෙන් පසු ප.ව 1.45 සිට 3 දක්වා අමතර පන්ති ක්‍රියාත්මක වූයේ අතපසු වූ හා අත්‍යාවශ්‍ය ඉගෙනුම් කොටස් සම්පූර්ණ කිරීමටය. මේ අතර පාසල් ගුරුවරුන් මෙන්ම ආරාධිත පිරිස් විසින් උපකාරක සම්මන්ත්‍රණ පැවැත් වූයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීම වෙනුවෙනි. වාර විභාගවලදී අඩු ලකුණු ගත් සිසුන්ව හඳුනා ගනිමින් ප්‍රතිපෝෂණ වැඩසටහන් දියත් කළේ සියලු සිසුන්ව එකම මඟට ගැනීමටය. මේ ගමනේදි විදුහල්පතිනි රන්මලි පෙරේරා, නියෝජ්‍ය විදුහල්පතිනියන් වූ කල්‍යාණිද සිල්වා, නිලූකා ගමගේ , 9-11 අංශ ප්‍රධානී දිලූපා විජේවර්ධන, 9 අංශ ප්‍රධානී අනෝමා විජේරත්න, 10 අංශ ප්‍රධානි සුනේත්‍රා තෙන්නකෝන් හා 11 අංශ ප්‍රධානි අනූෂා රඹුක්වැල්ල විෂය සම්බන්ධීකාරක ගුරුවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සාර්ථකත්වය ලබා දුන්නෝ වෙති.
අධ්‍යාපනික ප්‍රගතිය පමණක් නොව විෂය පරිභාහිර ක්‍රියාකාරකම්වලින්ද එක සේ හැකියා පෙන්වූ නුගේගොඩ සුජාතා විදුහලට පසුගිය වසර කිහිපයේදි ජාතික මට්ටමේ ජයග්‍රහණ පමණක් නොව ජාතික මට්ටමේ ජය ලබන්නට ද හැකි විය. මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි පැවැති 2019 අන්තර්ජාතික බටහිර ගායනා තරගයෙන් දෙවැනි ස්ථානයද, 2021 ඉන්දියාවේ මාර්ගගත ක්‍රමයට පැවැත්වූ ඔඩෙයිසි අන්තර් ජාතික ගායනා තරගයෙන් දෙවැනි ස්ථානයද, ජයවර්ධනපුර කලාප හා බස්නාහිර පළාත් තරගවලින් ගායනා ප්‍රථම ස්ථානයන්ද එක්සත් රාජධානියේ මෙහෙයවීමෙන් ලංකාවේ පවත්වන ලද ප්‍රහසන තරගාවලියෙන් ගායන හා තූර්ය වාදන කණ්ඩායම ප්‍රථම ස්ථානයට පත්වීමද 2021 හා 2022 වසරවල චිත්‍ර අංශයන්ගෙන්ද ජයග්‍රහණ රැසක් වාර්තා කරන්නට ද හැකි විය.
පාසලේ දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහිලා පාසල විසින් ක්‍රීඩා රැසක් ක්‍රියාත්මක වන අතර නෙට්බෝල්, චෙස්, බැඩ්මින්ටන්, පිහිනුම්, මලල ක්‍රීඩා පළාත්, කලාප තරගවලින් පමණක් නොව සමස්ත ලංකා ජයග්‍රහණ ද වාර්තා කරන්නට සමත් වූහ. ඉන්දියාවේ ලක්නව් හි පැවැති Celestra Cultural Festival හි කොලාජ් අංශයෙන් දෙවැනි ස්ථානය, රටවල් 66ක් සහභාගි වූ 12th Eureka International Competition City Mentessori School හි සංස්කෘතික අංශයෙන් දෙවැනි ස්ථානය මෙන්ම බටහිර ගායනා කණ්ඩායම ජාත්‍යන්තර තරග රැසකින් ජය ගෙන ඇත. අන්තර් සමාජ ( interact club ) තරගාවලිවලින් 2022/ 2023 ජයග්‍රහණ ලබා ගත්තේ 33 වැනි අන්තර් සමාජයීය දිස්ත්‍රීක් තරගවලිනි. රොබෝටික් සමාජ හරහා ඉදිරියට ගිය සිසුවියන් බොහෝමයකි. ජාත්‍යන්තරය දිනා ගත් අවස්ථා ද ඒ අතර ඇත.
නුගේගොඩ සුජාතා විදුහල උසස් පෙළ අංශය කලා, විද්‍යා, වාණිජ ධාරාව මෙන්ම එඩෙක්සෙල් අංශවලින් ද සමන්විත වේ. නුගේගොඩ සුජාතාව හා ජපානය අතර ඇත්තේ දිගුකාලීන වැඩපිළිවෙළකි. වසර 10ක පමණ කාලයක සිට මේ කණ්ඩායම් දෙක අතර සංස්කෘතික වැඩසටහන් දියත් වූ අතර මාර්ගගත ක්‍රමයෙන්ද කොවිඩ් කාලයේ මේ සබැඳියාව පවත්වා ගෙන ගොස් ඇත. Tofas නමින් වූ සිසුන්ගේ ගණිත දැනුම උරගා බලන රටවල් 25 ක ශ්‍රී ලාංකික කොටස්කරුවන් වන්නේ සුජාතාවයි. එදා සිට අද දක්වා සුජාතා විදුහල ආ ගමන් මඟ බාධක බොහෝය. ඒ සියල්ල අභියෝගයක් ලෙස බාර ගනිමින් රජයේ අනුමත මේ පෞද්ගලික පාසල අද අන් ජාතික පාසල් හා කරට කර පැමිණ සිටීම ආඩම්බරයට කරුණකි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න