උපාධියක් තියාගෙන මහ පාරේ කොස් කොත්තු හදන නාරම්මල දිරිය දියණිය | සිළුමිණ

උපාධියක් තියාගෙන මහ පාරේ කොස් කොත්තු හදන නාරම්මල දිරිය දියණිය

වත් කාන්තා දින සැමරුමක් අවසන් වූයේ සරසවි ප්‍රේමයක් මිනීමැරුමකින් අවසන් වූ කතාවක උණුසුම මැකී යමින් පවතිද්දීය. කාන්තා දිනයේ උණුසුම තවත් උණුසුම් කෙරුණේ දුම්රිය වැසිකිළියක බිලිඳකු දමා ගිය පුවතක් සමඟය. නොඇසිය යුතු, නොදැකිය යුතු එවැනි කතා මාධ්‍යයට පුවත් මවද්දී කවදත් යහපත් ප්‍රයෝජනවත් පුවත්වලින් ජන මනස පුරවන ‘සිළුමිණ‘ ඉකුත් දා නාරම්මල නගරයට ගියේ කාන්තා දිනය අර්ථවත් කරන දිරිය දියණියක් සොයා ගෙනය. ඇය තවමත් 27 වැනි වියේ පසුවන නාරම්මල පේරගස්ඇල්ලේ හිමේෂා නෙත්මිණි දිනපූර්ණය. ව්‍යාපාර තාක්ෂණික කළමනාකරණය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක වන ඇය පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරිනියකි. එහෙත් ඇය අපට හමුවන්නේ තම සේවා ස්ථානයේ රාජකාරිවල නිරත වෙමින් සිටියදී නම් නොවේ.

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගය අයිනේ නාරම්මල නගරය ආසන්නයේ ස්ථානයක ‘රසම රස කොස් කොත්තු‘ යන පුවරුවක් සමඟ කොස් උපයෝගී කර ගනිමින් සැකසූ කොස් කොත්තු අලෙවි කරමින් සිටියදීය.

සිය සෙනෙහෙබර සැමියාගේ සහයෝගය ඇතිව කොස් කොත්තු සාදා අලෙවි කරන හිමේෂාට අප සමඟ කතා බහක යෙදෙන්නට පවා ඉස්පාසුවක් නැති තරමට අවිවේකීව සිටියේ ඇයගෙන් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි ගනුදෙනුකරුවන් නිසාය. ඒ සියලු දෙනාට ළෙන්ගතු සිනහවකින් සංග්‍රහ කරමින් කොස් කොත්තු, සිංහල අච්චාරු, පැණි සහ සැර වෙරළු අච්චාරු ඇතුළු අච්චාරු වර්ග අලෙවි කරන හිමේෂාට ඇයගේ සැමියා වූ කාවින්ද සඳරුවන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහායකි.තම ගනුදෙනුකරුවන්ට නිෂ්පාදන අලෙවි කිරීමේ වගකීම මොහොතකට කාවින්දට භාරදුන් හිමේෂා අප සමඟ කතාබහට එක් වූයේ කතාබහ අතරම කාවින්දට ද සහාය වෙමිනි.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ නාරම්මල මහ විදුහලින්. (වර්තමාන ආර්. ජී. සේනානායක ජාතික පාසල) ඒ පාසලෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම නාරම්මල මයුරපාද ජාතික පාසලට ඇතුළත් වුණා. උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. උසස් පෙළ සමත් වෙලා යාපනය විශ්ව විද්‍යාලයට තේරුණා. යාපනය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර තාක්ෂණික කළමනාකරණ විශේෂවේදී උපාධිය හදාරලා දැන් මම පෞද්ගලික ආයතනයක කළමනාකාරවරියක් වශයෙන් රැකියාව කරනවා. මගේ රැකියා ස්ථානය අනුරාධපුරය. මම දිනපතා නාරම්මල සිට අනුරාධපුරයට යනවා එනවා. ඒ ගමන් තමයි මම මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්නේ.” හිමේෂාගේ කතාවේ අපූර්වත්වය ඇත්තේ එතැනය. උපාධිධාරිනියක වන ඇය මහ පාරේ ව්‍යාපාරයක් කරන්නට තරම් දිරිය ඇති කාන්තාවක වීම නිසාය. අපි ඒ ගැන ද ඇයගෙන් විමසුවෙමු.

“උපාධියකුත් තියාගෙන හොඳ රැකියාවකුත් කරන ගමන් මෙහෙම පාරේ බිස්නස් එකක් කරගෙන යනකොට ඒ ගැන විවිධ ආකාරයට හිතන අය ඉන්නවා. මටත් එහෙම අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. මුල්ම විරෝධය ආවෙ ගෙදරින්, මගෙ අම්මගෙන්. තමන්ගෙ උපාධිධාරී දුව පාර අයිනෙ කොස් කොත්තු, අච්චාරු විකුණනවට මගේ අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. නමුත් මම කරන්නෙ වරදක් නෙමේ යහපත් දෙයක් නිසා මම අම්මට යහපත් විදිහට අකීකරු වුණා. දැන් නම් අම්මගෙන් ලොකු විරෝධයක් නැහැ. ඇවිත් මට උදව් කරනවා.”

හිමේෂාගේ පියා රෝයි නිශාන්ත ජයලාල් දිනපූර්ණ (59) ය. මව චාලට් රංජනී (57)ය. සිය දියණිය ගැන චාලට් රංජනී මෙසේ කීවාය.

“දුව පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඒ වගේම උයන්න පිහන්නත් හරිම දක්ෂයි. පුංචි කාලෙ ඉඳලම එයා මම උයන දිහා බලාගෙන ඉන්නවා. මමත් එක්ක එකතු වෙලා උයනවා. එයාට තනියම උයන්න තියෙනවා නම් ඊට වඩා සතුටක් තවත් නැහැ. අපේ ගෙවල්වල උයන්න අවශ්‍ය කරන බොහෝ දේවල් අපේ ගෙවත්තෙම තියනවා. ඒ නිසා වස විසෙන් තොර ආහාරපාන තමයි පුංචි කාලේ ඉඳලම අපි දරුවන්ට කැව්වෙ පෙව්වෙ. හිමේෂා දුව හැමදාම කිව්වෙ එයාට ඕනේ රස්සාවකට වඩා ව්‍යාපාරයක් කරන්න කියලයි. විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා හොඳ රැකියාවකටත් ගිහිල්ලා රැකියාවක් කරන හොඳ මහත්තයෙකුත් ලැබිලා තියෙද්දි මොකටද මේ පාර අයිනෙ මෙහෙම දුක් විඳින්නෙ කියලමයි මට හිතුණෙ. ඒ නිසයි මම මුලින් මේ ව්‍යාපාරයට විරුද්ධ වුණේ. දැනටත් දුව මේ ව්‍යාපාරය කරන්න දවස ගානේ පැය හත අටක් බස්වල එනවා. ඒත් කවදාවත් එයා ඒ ගමන වෙහෙසකරයි කියලා නැහැ. එහෙම වෙහෙස බවක් අපට පෙනෙන්නෙත් නැහැ. විකුණන්න හදන කෑම වර්ග හදන්නෙ දුව එයාගේ මහත්තයත් හවුල් කරගෙනයි. මමත් දැන් දුවට උදවු කරනවා. යම් යම් උපදෙස් දෙනවා. මේ කෑම වර්ග හරිම පිරිසිදුවට පිළිවෙළට හොඳම තත්ත්වයෙන් තමයි හදන්න. රස කාරක පාවිච්චි කරන්නෙම නැහැ. අපේ පැරණි දේශීය ආහාර වට්ටෝරු සහ ඉවුම් පිහුම් ක්‍රමවේද තමයි දුව භාවිත කරන්නෙ. දැන් නම් මට හිතෙනවා මේ දරුවො දෙන්නා කරන මේ යහපත් ව්‍යාපාරය හරිම අපූරු ව්‍යාපාරයක් කියලා. කොස් කොත්තු සහ අච්චාරු අරන් ගිය අය ඒවාගේ රසගුණ කියන කොට මට මගෙ දුව ගැන ඇති වෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.” මවට එසේ ආඩම්බර විය හැකි අභිමානයක් ලබා දුන් හිමේෂා ද ඒ සතුට විඳින්නීය.

හිමේෂාගේ ව්‍යාපාරයේ මුල් බීජය පැළ වූ කතාව ද අපූරු කතාවකි.

“මම යාපනය කැම්පස් එකට ගියාට පස්සෙ බෝඩිමේදී මගෙ පාවිච්චියට සිංහල අච්චාරු, චිලි පේස්ටි, චිකන් ඩෙවල් වගේ දේවල් හදාගත්තා. ඒවා යහළුවන්ටත් දුන්නා. එයාලා මට කිව්වා එයාලටත් හදලා දෙන්න කියලා. ඒ අනුව මම බෝඩිම්වල හිටිය අයගෙන් ඕඩර් අරගෙන එයාලට මේ කෑම වර්ග හදලා දුන්නා. ඒ ආදායම මට මගේ වියදම පියවා ගන්න ප්‍රමාණවත් වුණා. සරසවි සිසුවියක් හැටියට දෙමව්පියන්ට බරක් නොවී මගේ කටයුතු මටම කරගන්න පුළුවන් ශක්තිය මම ගොඩනඟා ගත්තා. මෙහෙම කරගෙන ඉන්න කාලේ තමයි කොරෝනා නිසා කැම්පස් වැහුවෙ. ඒ කාලෙ ගෙදර ඉන්න ගමන් මම එක එක කෑම ජාති හැදුවා. අන්තර්ජාලයේ පළ වූ විවිධ කෑම වට්ටෝරු අත්හදා බැලුවා. කිහිප වතාවක් එහෙම කරලා නිවැරදිව රසට ගුණට කෑම හදන්න තව තවත් පුරුදු පුහුණු වුණා. ඒ අතර තිබුණ එක කෑමක් තමයි චිකන් කොස් කොත්තු. මුලින්ම හදපු කොස් කොත්තු ගෙදර අයට කන්න දුන්නා. එයාලා රස කර කර කෑවා. කාලා එහි තිබූ පොඩි පොඩි අඩුපාඩු කිව්වා. ඒ අඩුපාඩුත් හදාගෙන කිසිම රස කාරකයක් යොදා නොගෙන රසම රස චිකන් කොස් කොත්තුවක් හදන්න මට පුළුවන් වුණා. මුල්ම දවසෙ අපි ගාවට ආපු අයට පේපර් ප්ලේට්වලට බෙදලා කොස් කොත්තු කන්න දුන්නා. එහෙම කාපු හැම කෙනෙක්ම වගේ එදාම අපෙන් කොස් කොත්තු අරන් ගියා.

එදා ඉතා කෙටි වේලාවක් තුළ අපි හදාගෙන ආපු කොස් කොත්තු සියල්ලම අවසන් වුණා. මම ඉස්සරලාම මෙතනට ඇවිත් අලෙවි කළේ රට නෙල්ලිවලින් හදපු පැණිරස කෑමක්. ඊළඟට සිංහල අච්චාරු හැදුවා. ඒ අතරම පේර, අඹ, අන්නාසි, කලවම් ආදී වශයෙන් අච්චාරු වර්ග ගොඩක් හැදුවා. දැන් ඒ හැම නිෂ්පාදනයකටම හොඳ ඉල්ලුමක් තියනවා. අද වනවිට මම සාර්ථකයි කියලා මම හිතෙනවා. ඒ ගැන ලොකු සතුටක්, අභිමානයක් මට තියනවා. මුලින් අම්මා මේ ව්‍යාපාරයට විරුද්ධ වුණත් ඒ විරෝධය මට ලොකු ආශිර්වාදයක් ශක්තියක් වුණා කියලා මට විශ්වාසයි. හැම අභියෝගයකදීම හෙවණැල්ලක් වගේ මාත් එක්ක හිටියෙ මගෙ මහත්තයා කාවින්ද සඳරුවන්. මම වැටෙන හැම මොහොතකම මාව දෝතින් ඔසවලා නැඟිට්ටුවෙ කාවින්ද. කාවින්දගෙ ඒ දහිරිය නොවෙන්නට මට අද මේ සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ”. හිමේෂාගේ සැමියා කාවින්ද සඳරුවන්, වැව් බැඳි රජරට ගලෙන්බිඳුණුවැව උපන් තරුණයෙකි. ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ⁣ඉගෙනුම ලැබූ කාවින්ද ද උසස් පෙළ වාණිජ විෂයයන් හැදෑරුවෙකි.

ඔහු පෞද්ගලික උපකාරක පන්ති සඳහා එන්නේ කුරුණෑගලටය. හිමේෂා පන්ති එන්නේ ද කුරුණෑගලටය. ගලෙන්බිඳුණුවැව කාවින්ද සහ නාරම්මල හිමේෂා යන මේ අපූරු යුවළගේ හදවත් එකට යා කළ නගරය ඓතිහාසික හස්තිශෛලපුරවරයයි. කුරුණෑගල අහස යට දී ආදරයෙන් බැඳුණු මේ ආදරණීය යුවළ එකිනෙකාගේ නොගැළපීම් ගළපා ගනිමින් යුග දිවි ගමන අරඹා එය යහපත් ජයග්‍රාහී ගමනක් ලෙස පවත්වාගෙන යන්නේ විවාහය යනු නොගැළපීම් ගළපා ගනිමින් ජීවත් විය යුතු අපූරු බැඳීමක් බව අපට පසක් කරමිනි. තවමත් 29 වැනි වියේ පසුවන කාවින්ද සඳරුවන් කුරුණෑගල පෞද්ගලික ආයතනයක රැකියාව කරයි.

ප්‍රවීණ සිනමා හා රූපවාහිනී නාට්‍ය නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු වන සද්ධාමංගල සූරියබණ්ඩාරගෙන් රංගනය ඇතුළු ක්ෂේත්‍රයන් පිළිබඳ හැදෑරූ කාවින්ද, 'පාර දිගේ' ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍ය රැසක චරිතවලට පණ පෙවූ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටින රංගන ශිල්පියකු ද වේ. දිරියෙන් ජීවිතය ජය ගැනීමය වෙර දරන සිය සෙනෙහෙබර බිරිය පිළිබඳ කාවින්ද මෙසේ කීවේය.“හිමේෂාගේ සිහිනය වෙලා තිබුණෙ කවදහරි, කොහොමහරි ව්‍යාපාරිකාවක් වෙනවා කියන එක. ඇයගේ හැකියාවන් ඔප මට්ටම් කරන්න ශක්තියක්, ධෛර්යයක් විය යුතුයි කියන හැඟීම එයා හමුවුන මුල් කාලයේ ඉඳලම මට තිබුණා. ඒ නිසාම ඇයට විරෝධයක්, අභියෝගයක් එල්ල වුණු හැම අවස්ථාවකදීම මම ඇයගේ පැත්තෙ හිට ගත්තා. ඇයව දිරි ගැන්වූවා. ඇය මෙහෙම යහපත් දෙයක් කරලා සාර්ථක ගමනක් යනකොට එයින් වඩාත්ම සතුටු වෙන පුද්ගලයා මමයි. ඇයගේ අපේක්ෂාව රැකියාවකට පමණක් කොටු නොවී කාන්තා ව්‍යයසායිකාවක් ලෙස සමාජයට ද යහපත් මෙහෙවරක් ඉටු කරමින් තමන් ඉපදී හැදුණු වැඩුණු රටට බරක් නොවී ජීවත් වීමයි. ඒ සඳහා ඇය ශක්තිමත් කිරීම, දිරි ගැන්වීම, ඇගේ අපේක්ෂා මල්ඵල ගැන්වීම මගෙ වගකීම වගේම යුතුකමක් කියලයි මම හිතන්නෙ”. ඔහු පැවසුවේ හිමේෂා පිළිබඳ සෙනෙහස ද පෙරදැරි කරගෙනය.

කොරෝනා ව්‍යසනයත් සමඟ බිමටම වැටුණු අපේ රට සහ රටේ ආර්ථියකයට එල්ල වූ අභියෝග හමුවේ පීඩාවට පත් වූ රට නැවත ගොඬ නංවන්නට නම් රටට ඇවැසි මෙවැනි දිරිය දියණිවරුන්ය. මෙවැනි දිරිය පුත්‍රයන්ය. රැකියා ඉල්ලා මහ පාරේ උද්ඝෝෂණ කරන, බඩු මිල අඩු කරන්නට යැයි වීදි බසින තරුණ තරුණියන්ට හිමේෂාගේ, කාවින්දගේ ජීවිතයෙන් ගත හැකි පූර්වාදර්ශ බොහෝය. අපේ වියදම වැඩි වී ආදායම රුපියලකින්වත් වැඩි නොවීමෙන් පීඩාවට පත් අප කළ යුත්තේ රටට සමාජයට යහපතක් ද සැලසෙන ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කර ගැනීමයි.

එවැනි නිර්මාණාත්මක දිරිය දියණියක වන හිමේෂා නෙත්මිණි දිනපූර්ණ ගේ රසම රස කොස් කොත්තු සහ අච්වාරු අන්තර්ජාලය ඔස්සේ ද ඔබට මිල දී ගත හැකිය.

සුනිල් පොරමඬල,කුරුණෑගල

Comments