
ශ්‍රී ලංකා ජාතික තලයේ කාන්තා ක්‍රිකට් මේ වන විට තරමකට පසුබෑමකට ලක්ව ඇතත් අද වන විට ඒ අඳුරු වලාවේ රිදී රේඛාවක් ලෙස බාලිකා පාසල් ක්‍රිකට් බැබළෙමින් තිබේ. ඒ පසුගිය දා කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අවසන් වු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මඟින් මෙහෙයවන ලද වයස අවුරුදු 19 න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලියත් සමඟය. කණ්ඩායම් 34 ක් තරග 60කට අධික ප්‍රමාණයක් තරග කරමින් මෙරට දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 15කට වැඩි ප්‍රමාණයක් එකම තරගාවලිකට එක්වෙමින් පෑ දක්ෂතා අගනේය. මෙම තරගාවලියේදී ක්‍රීඩිකාවන් බොහෝමයක් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරිමට සමත් වු අතර ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන්ගේ නිපුනතාව මත පිහිටුවා ක්‍රීඩා දිවිය ගොඩ නැඟීමේ ඊළඟ පියවර හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටය.
19 න් පහළ අවසන් මහා තරගයට එක් වු නුගේගොඩ අනුලා විදුහල හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර තරගයට කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම් ප්‍රධානී අප්සාරි තිලකරත්නගෙන් බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ අනාගතය පිළිබඳ ක්‍රිකට් ආයතනයේ සැලැස්ම කවරේදයි අපි විමසා සිටියෙමු. ඇය ඒ පිළිබඳ අප දැනුම්වත් කළේ මෙසේය.
බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් යොවුන් පාසල් ක්‍රිකට් තුළින් ගොඩනැගි තියෙනවාද?
ඇත්තෙන් ම ඔව්. අද මේ අවසන් මහා තරග දිහා බැලුවම අපිට ඉතාමත් පැහැදිලි අනාගතයක් ගොඩ නැඟිය හැකි දක්ෂ බාලිකාවන් පිරිසක් සිටින බව පෙනී යනවා. අපි මෙම තරගාවලිය තුළින් දැක්කා බාලිකා පාසල් ක්‍රිකට් ඉතාමත් ශීඝ්‍රයෙන් දිප ව්‍යාප්තව ප්‍රචලිත වෙමින් දියුණු වන ස්වභාවයක්. අපි ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගමට ක්‍රිකට් කියන වැඩ සටහන ක්‍රියාවට නැංවීමේදී කාන්තා ක්‍රිකට් ග්‍රාමීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක් ද එයට සමගාමීව ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපට හැකියාව ලැබුණා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ආසාවෙන් සිටින, ඒත් ක්‍රිකට් ක්‍රීඩා කර නැති පාසල් කිහිපයක් එක් කර ගැනීමට. ඒ පාසල් අතරින් පාසල් කිහිපයක් ද මේ අවසන් වු 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළා. එය අපි ලද විශාල ජයග්‍රහණයක්.
මෙම තරගාවලියෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාවන්ගේ අනාගතය ?
පළමු වරට බාලිකා 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය ඉලක්ක කර ගනිමින් අපේ තේරීම් බාර නිලධාරින් මෙම තරගාවලියට යොමු කළා. ඒ තුළින් අපට හැකියාව ලැබුණා දක්ෂතා අතර සිටින දක්ෂයන් හඳුනා ගන්න. දැනටමත් අපි හඳුනා ගෙන ඇති ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පූර්ණය කිරිමේ අවස්ථාවද මෙම තරගාවලිය තුළින් අපට ඉදිරියට ගන්න ලැබුණා. විශේෂයෙන් විශ්මි ගුණරත්න වගේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන්. විශ්මි අපේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් ඇය මෙම තරගාවලිය තුළ ඉතාමත් හොඳින් දක්ෂතා අතර සිටිමින් අනෙකුත් නවකයන්ට උත්තේජනයක් සැපයුවා කියා මා විශ්වාස කරනවා.
මේ වන කොට වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තෝරා ගෙනද තියෙන්නේ ?
දැනට අපි කණ්ඩායම නම් කොට නෑ. නමුත් 19 න් පහළ ලෝක කුසලානය ඉලක්ක කරමින් සංචිතය තෝරාගෙන ඔවුන්ව සංචිතගත කොට තිබෙනවා. තවම පුහුණුවිම් ආරම්භ කර නෑ. ඒ වගේම දිපව්‍යාප්තව පුහුණුවීම් කඳවුරු පවත්වා ඒ කඳවුරු තුළින් වයස අවුරුදු 21න් පහළ යොවුන් සංවර්ධන සංචිතයක් තෝරාගෙන ඔවුන්ගෙත් දක්ෂතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා. එම කණ්ඩායමට දකුණෙන් වගේ ම උතුෙරනුත් ක්‍රීඩිකාවන් එක්ව සිටිනවා. ජාතික කණ්ඩායමට අමතරව නැඟි එන කණ්ඩායමක් ද අද අපට ඉන්නවා. මෙම සිව් වැදැරුම් වැඩසටහන් තුළින් කාන්තා ක්‍රිකට් ගොඩ නැඟිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කරමින් සිටිනවා. ඒ නිසා අනාගතය ඉතාමත් සුබවාදි ලෙස මා දකිනවා. ඇත්තෙන්ම පුහුණුවීම් වල නිරත වන විට අපට දකින්න ලැබෙනවා ඔවුන්ගේ උනන්දුව හා කැපවිම.
පාසල් ක්‍රිකට් වලින් පසුව බාලිකාවන්ට තම දක්ෂතා වර්ධනය කර ගැනීමේ මාවතක් නැති බවටත් මැසිවිලි නැගෙනවා ?
නෑ. ඒක බොහොම වැරදි ආකල්පයක්. වයස අවුරුදු 18 -19 වන තෙක් පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන බාලිකාවන්ට මම කියපු විදියට අවස්ථාව තියෙනවා. 21න් පහළ යොවුන් කණ්ඩායමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම නැගී එන කණ්ඩායමේ අවස්ථාව තියෙනවා. මේ දෙකටම ඉහළින් දක්ෂතා දක්වන බාලිකාවන්ට ජාතික කණ්ඩායමේ දොරගුළු විවර වෙනවා. ඒ නිසා පාසල් ක්‍රිඩාවෙන් පසු ඔවුන්ගේ අනාගතය ගොඩනඟා ගන්න විවිධ අවස්ථා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ආයතනය ඒ වෙනුවෙන් යටිතල පහසුකම් සකසා තියෙනවා. උදාහණයක් තමයි විශ්මි ඇයට තවම වයස අවුරුදු 16යි. ඇය පාසල් මට්ටමින් ඔබ්බට ගිය ක්‍රීඩාකාවක් ඒ නිසා ඇයගේ දක්ෂතා දැක ඇයට අවස්ථාව හිමි වුණා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඒ වගේම අනෙකුත් ක්‍රීඩිකාවන්ටත් ඒ අවස්ථාව තියෙනවා. තම තමන්ගේ දක්ෂතා වර්ධනය කර ගනිමින් එය තහවුරු කරගත යුතුයි.
19 න් පහළ පාසල් තරගාවලියට මුළු දිවයිනේම නියෝජනයක් තිබුණාද?
උතුරේ නියෝජනයක් තිබුනා ද කියා නම් මට නිශ්චිතව කියන්න බෑ. ඒ පසුගිය කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ක්‍රීඩාව ම ලැබූ පසුබැම නිසා. කණ්ඩායම් 34ක් කියන්නේ ම පාසල් 34ක්. දිස්ත්‍රික්ක 25න් අඩුම වශයෙන් දිස්ත්‍රික්ක 15කට වැඩි ප්‍රමාණයක් තරගාවලිය නියෝජනය කර තිබෙනවා. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන පාසල් 34ක් කියන්නේ හොඳ ප්‍රතිශතයක්. බොහෝ පාසල්වල වසර දෙකක් ක්‍රිඩා නොකරපු නිසා නැවත ක්‍රීඩාව ගොඩ නැඟිමට ටික කාලයක් ගතවේවි. වසංගතයට පෙර ක්‍රිඩා කළ ක්‍රීඩිකාවන් සමහරු පාසල් හැර ගිහින්. ඒ නිසා නවකයන් බඳවා ගෙන නැවත ගමනට අවතීරණය වන්න ටික කලක් ගතවේවි. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලෙස ඒ සැම කණ්ඩායමක් ,පාසලක් පිටුපසම සිට ක්‍රිකට් නැවත ගොඩනගන්න කටයුතු කරනවා. දිරිගන්නනවා.
බාලිකා පාසල් ක්‍රිකට් තුලින් පැහැදිලි මාවතක් කාන්තා ක්‍රිකට් වලට උදා වෙයිද?
දැනටමත් ඒ මාවත විවර වෙලා තමයි තියෙන්නේ. බාලක ක්‍රිකට් ක්‍රීඩාව වසර 125 කට අධික කාලයක් ගොඩ නැඟුණු ක්‍රීඩාවක්, නමුත් බාලිකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට තවම එවැනි අනාදිමත් කාලයක් නෑ. තවම පාසල් මට්ටමින් ගොඩ නැඟෙමින් තිබෙන ක්‍රීඩාවක්. ජාතික තලය නිර්මාණය වෙලාත් වසර කිහිපයකට පසුව තමයි පාසල් බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය වෙන්න ගත්තේ. අද වන විට නම් ඉතාමත් ශීඝ්‍රයෙන් කාන්තා පාසල් බොහොමයක ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ව්‍යාප්තිය පිටුපස සිට දිරිගන්වමින් සිටිනවා.
ඒ කියන්නේ කාන්තා ක්‍රිකට් හී අනාගතය ඉතාමත් සුබයි ?
ඇත්තෙන්ම ඔව්, අපිට මුල් කාලයේ තිබුණු බාධා අද වන විට බොහොමයක් ඉවත්ව ගොස් තියෙන්නේ. අද අපිට සංචිත හතරක සමාජිකයන් සිටින නිසා හැම විටම ඉතාමත් හොඳ කණ්ඩායමක් තෝරා ගැනීමේ අවස්ථාව අපට තිබෙනවා.