සාර්ථක වූ සිහින පසු පස අම්මා නම් සෙවණැල්ල ! | සිළුමිණ

සාර්ථක වූ සිහින පසු පස අම්මා නම් සෙවණැල්ල !

 

ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේ දී පළමු තරගයේදී ලකුණු 56ක් සහ දෙවැනි තරගයේදි ලකුණු 14ක් රැස් කරමින් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පිවිසි පැතුම් නිශ්ශංක සිය එක්දින දිවියේ හොඳම ඉනිම සටහන් කර ගත්තේ, ශ්‍රී ලංකා පිතිකරුවකු, එක්දින තරගයකදී ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව තම නම ඉදිරියේ සටහන් කර ගනිමින් ය. හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමඟින් පන්දු 147කදී ලකුණු 137 ක් ලබාගත් පැතුම් , කිසිඳු අභියෝගයකින් තොරවම තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තේ තමන්ට ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන කවර ආකාරයේ තරගයක වුවද සුව පහසුවෙන් පිත්ත හසුරුවාගත හැකි බව කදිමට පෙන්වා දෙමිනි. හිටපු නායක සනත් ජයසූරිය 2003 ජනවාරි 09දා සිඩ්නි ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 122 මීට පෙර ශ්‍රී ලංකා පිතිකරුවකු ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

 

සිංහ කැන්ගරු තෙවැනි එක්දින තරගයට ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට රොඳ බැඳ ගත් ක්‍රිකට් ලෝලීන්ට, සුපිරි මතකයක අමතක නොවන අත්දැකීමක් ලබා දුන් පැතුම් නිශ්ශංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕස්ට්‍රේලියානුවන් හමුවේ අභීත හඹා යාමක නිරත වෙමින් තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. ලකුණු 292 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 9 ක් ඉතිරිව තිබියදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය ඉහළ ම ඉලක්කය මෙකී ලකුණු 292 යි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය ඉහළ ම ඉලක්කය 2012 දී, හොබාර්ට් දී කඩුලු 7 ක් දැවී ලකුණු 283 කි. ශ්‍රී ලංකාවේදී නම්, එය මීට වසර 30 කට පෙර, 1992 දී, කොළඹ ඕවල් පිටියේදී කඩුලු 6 කට ලකුණු 251 ක් ලබාගැනීමයි.

පැතුම් නිශ්ශංක සමඟින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 170 ක අති විශිෂ්ට, සම්බන්ධතාවකට පසුව, පාදයේ මස්පිඬුවල ඇති වු ආබාධයක් නිසා කුසල් මෙන්ඩිස් පන්දු 85කදි නොදැවී 87ක් ලබා ගෙන තිබියෙදී ආපසු ක්‍රීඩාගාරයට ගියේ ජයග්‍රහණයට ඇවැසි සියලු දොරටු විවර කරමින් ය. ධනංජය ද සිල්වා (25), නිශ්ශංකට සහ චරිත් අසලංක (නොදැවී 13), අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ කරා කැඳවාගෙන ගියහ.

ජීවිතේ දිනන පරදින එපා වෙන හැම මොහොතෙ ම අම්මා ළඟින් ම සිටිනා බව විශ්වාස කරන්න. කොතනින් පැමිණිය ද, අතීතය කුමක්ද යන්නත් කිසිසේත් ම අදාළ නැත.වැදගත් වනුයේ සාර්ථකත්වයයි..උත්සාහයයි,ඔබට යමක් කළ හැකියි යන විශ්වාසය අත් නොහරින්න. කළ නොහැකි දෙයක් නැත.

අම්මා තාත්තා කෙනෙකු දරුවකුට නමක් තබන්නේ දරුවා තුළ සැඟවී ඇති හැකියාවන් දැන ගෙන නොවුණත්, උදක් ම එකී දරුවා කෙරෙහි තමන් තුළ ඇති බලාපොරොත්තු පෙරදැරි කර ගෙන ය.

එසේ නමක අර්ථය එලෙසින් ම ක්‍රියාවට නඟන්නට හැකි වන දරුවකු වේ නම්, ඒ අම්මා තාත්තා ගේ පැතුම් ඉටු කළ අයකු වන්නේ ය.

අද මේ අප දෙනෙත් ඉදිරියේ කියා පෑවේ තම දෙමව්පියන් ගේ පමණක් නොව බලාපොරොත්තුවක සේයාවක් වත් නොමැතිව අතරමං වී සිටි බහුතර මෙරට ක්‍රිකට් ලෝලීන් ගේ පැතුම් වලට යම් ඉඩක් ලැබෙමින් පවතින බව ය.

2021 මාර්තු මාසයේ බ.ඉ.කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් පිටියට හාපුරා කියා පිවිසෙන පැතුම් මුල් ඉනිමේ ලකුණු 09කට දැවී ගිය ද දෙවැනි ඉනිමේ ලකුණු 103ක් ලබා ගනිමින්,මංගල ටෙස්ට් තරගයේ ම ශතකයක් ලබා ගැනීමේ විරල මෙන් ම, මුල් අවස්ථාවේ දී මඟ හැරුණහොත් යළි කිසිම දිනක ලැබිය හැකි අත්දැකීමක් නොවන බව පසක් කර ගත් පැතුම් එකී කඩඉම සාර්ථක කර ගත්තේය

පැතුම් ගේ ශතකය ඉක්මවා ගිය එකී ලකුණු 103 ගැඹුරු බවක් විද්‍යාමාන කරමින් වෙනස් ම පෞරුෂයක් කියාපෑ බව රහසක් නොවේ.විනාඩි 341ක් තුළ පන්දු 252කදී හතරේ පහර 6ක් පමණක් අඩංගු වු තැන්පත් බව මෙන් ම නිර්භීතභාවය ද විදහා පෑ පැතුම්, මානසික ඒකාග්‍රාතාව අතින් වයසට වඩා මුහුකුරා ගොස් ඇති බවක් මනාව ප්‍රකට කළේ ය.

ඉඩෝරයක සිර වී සිටිනා අපට, යන්තමින් වැටෙනා වැසි පොඳක් ලෙස පෙනුණ ද, පැතුම් නිශ්ශංක යනු මහා විභවයක් සහිත වලාකුළක් බව නැවත නැවතත් ලියා තැබිය යුතුය. පරිස්සමෙන් ආරක්ෂා කර ගතහොත්, තව තවත් ජල වාෂ්ප එකින් එක එක් වී මහා ශක්තියකින් සන්නද්ධව අනාගතයේ ලකුණු සටහන් පුරවාලිය හැකි පිතිකරුවෙකුට අවශ්‍ය කරන්නා වු පරිචය පැතුම් මනාව ඉස්මතු කරමින් සිටියි.

 

Comments