
ක්‍රීඩාවක ජීව ගුණය යනු එම ක්‍රීඩාවේ සාරාර්ථ ආරක්ෂා කරගනිමින් එය පවත්වාගෙන යාමට සමත්වීමය. ජීව ගුණය පවත්වාගෙන යා හැක්කේ ජයග්‍රහණය, පරාජය, හිමිවීම්, අහිමිවීම් ඉදිරියේ කම්පා නොවන ශක්තිමත් ක්‍රීඩාශීලිත්වයක් පවතින්නේ නම් ය. ක්‍රීඩා සම්මාන උලෙළ හි දී ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම අරභයා විශේෂ සම්මානයක් පිරිනැමෙන්නේ එහෙයිනි. මේ අයි.සී.සී. සම්මාන උලෙළ හා ජීව ගුණය සපිරි ක්‍රීඩකයා සම්මානය සම්බන්ධ කතාවකි.‘
වාර්ෂිකව අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උලේළේ පිරිනැමෙන ජීව ගුණයෙන් පිරිපුන් ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රධානය. මේ එම සම්මානය පිරිනැමීමට හේතු වූ සිදුවීම් ගැන ය.
පළමු සම්මානය දෝණි ට
මෙම සම්මානය මුල්වරට ප්රදානය කරනු ලැබුණේ ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් නායකයකු වන එම්.එස්. දෝණිට ය. ඒ එම වසරේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරගයක දී ඉයන් බෙල් ගේ දුවද්දී දැවීයාමක් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගනිමිනි. බෙල් විනිසුරු තීරණය අභියෝග කළ අතර එසැණින් පිටිය නොසන්සුන් විය. මතු වූ තත්ත්වය සමනය කරවූ ඉන්දිය නායක දෝනි කළේ ඉයන් බෙල් නැවත පිටියට කැඳවන්නැ යි විනිසුරට යෝජනා කළේ ය.
ඩැනියෙල් විටෝරි දෙවැන්නා
2011 වසරේ සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගයක දී ඩැනියෙල් විටෝරි යැවූ පන්දුවකට ටිනෝ මාවෝ මුහුණ දුන් නමුත් ඔහුගේ පා ආවරණයේ පන්දුව ගැටුණේ ය. විටෝරි ඉල්ලීමක් කළ ද විනිසුරු ගේ තීන්දුව වූයේ ඔහු නොදැවුණු පිතිකරුවකු බවය. එහෙත් එය පැහැදිලිවම දැවීයාමකි. ඉන් කලබල නොවුණු විටෝරි සිදුකළේ ඉවසුම් සහගතව සිනහමුසු මුහුණින් ඊළඟ පන්දුව යැවීය.
ශ්‍රී ලංකාවටත් සම්මානයක්
2012 වසරේ දී පැවති තරගයක නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිම ක්‍රමයෙන් ගොඩනංවන්නට කටයුතු කළ මහේල ලකුණු 91 ක් ලබා සිටිය දී උඩ පන්දුවක් ලබා දුන්නේ ය. එහෙත් විනිසුරුවරයා එය දැවී යෑමක් ලෙස සලකුණු කළේ නැත. එහෙත් මහේල වහා තමා දැවී ගියේ යැයි පිළිගනිමින් පිටියෙන් නික්මිණි.
පළමු ක්‍රීඩිකාව
මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු ක්‍රීඩිකාව එංගලන්තයේ කැත්රින් බර්න්ට් ය. දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයක දී මැට්ෂිපි ලෙට්සොලෝ දුවද්දි දැවී ගියේ යැයි පිටියේ විනිසුරු සංඥා කළේ ය. නමුත් එම දවාගැනීම සිදු කරනවිට තම අතේ පන්දුව තිබුණේ ද යන්න සැක සහිත යැයි කියූ බර්න්ට්, ලෙට්සෝලෝ නැවත පිටියට කැඳවා තීන්දුව ලබාදීම තුන්වන විනිසුරු වෙත පවරනු ලැබීය.
බ්‍රෙන්ඩන් මැකලම් සම්මානිත වෙයි
2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ ජය නොසිතූ පරිදි නවසීලන්තයට හිමි විණි. ඒ මොහොතේ පරාජයෙන් කම්පාවට පත්ව සිටි අප්‍රිකානු ක්‍රීඩකයන් අස්වසන්නට නවසීලන්ත නායක මැකලම් කටයුතු කළේ අතිශය මානුෂවාදී ව ය.
පාකිස්තානයේ මහත්මයා
2015 වසරේ සිට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ මිස්බා උල් හක් හට 2016 වසරට අදාළ මෙම සම්මානය පිරිනැමිණි. 42 හැවිරිදි වියේ පසු වුව ද පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙයවමින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පළමු තැනට ගෙන ඒම මිස්බාට හැකි විය.
තවත් අස්වැසීමක්
2016 අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති අවසන් පූර්ව තරගය ජය ගත්තේ එංගලන්තය යි. එහි දී පරාජිත දකුණු අප්‍රිකානු ආන්යා ෂරුබ්ෂෝලේ විසින් අස්වසාලනු ලැබුවා ය.
කේන් විලියම්සන් මහත්මයා
2018 වසරේ දී ක්‍රිකට් පිටියේ දී සහ ඉන් පිටතදීත් ගෞරවනීයව කටයුතු කළ ක්‍රීඩකයා ලෙස සැලකුණේ කේන් විලියම්සන් ය.
කෝලිටත් පිරිනැමිලා
වත්මන් ක්‍රිකට් පිටියේ වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩකයකු ලෙස සැලකෙන විරාත් කෝලිට ද මෙ සම්මානය හිමිවිය. ඒ 2019 වසරේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගයක දී පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට ප්රේක්ෂකයන්ගෙන් එල්ල වූ බලපෑම සමහන් කරන්නට මැදිහත් වෙමිනි. ස්මිත්ට ‘හොරා. හොරා‘ යනුවෙන් ඉන්දීය ප්‍රේක්ෂකයන් අපහසා කරද්දී කෝලි තම ප්‍රේක්ෂකයන් අමතා එසේ නොකරන්නැයි ඉල්ලා සිටියේ ය.
වන්දිය ගෙවූවාට සම්මානයක්
2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයක දී එංගලන්තයේ අදිල් රෂිඩ් ට නවසීලන්ත පිතිකරු නිෂම් උඩ පන්දුවක් ලබාදුන්නේ ය. එහෙත් උඩ පන්දුව ගිලිහී ගියේ අනෙක් පස සිටි ඩැරල් මිචෙල් හේතුවෙන් එය නොපෙනී යාමෙනි. පන්දුව පිටියේ ඉදිරියට ඇදී ගියේ ලකුණක් ලබාගැනීමට අවස්ථාවක් උදා කරමිනි. එහෙත් පන්දු රකින්නාට බාධා වූ බව තේරුම්ගත් මිචෙල් ලකුණක් ලබාගත්තේ නැත. ඔහුගේ එම ක්‍රියාව අතිශය ඇගැයුම් ලැබූවක් විය.