
මෙවර ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත් වූයේ චීනයේ බෙයිජිං නුවර දී ය. ඒ සමඟ ම ගිම්හාන සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද්විත්වයේම සත්කාරකත්වය දරනු ලැබූ ලොව ප්‍රථම නගරය බවට බෙයිජිං නුවර පත් විය.
එහි දී පැවැති තරග ඉසව් අතරින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තරගයක් වූයේ ස්පීඩ් ස්කේටිං කාන්තා මීටර් 1500ට ය. මෙහි අවසන් තරගය ජය ගැනීමට ඉදිරියෙන්ම සිටියේ ජපානයේ මිහෝ ටකාගි ය. ඇය මෙම තරග ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය යි.
එසේ වුවත් නෙදර්ලන්තයේ ඉරීන් වුස්ට් දෙසටත් වැඩි අවධානයක් යොමු වී තිබිණි. 35 හැවිරිදි ඇය ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාවේ විශිෂ්ටත ම ක්‍රීඩිකාව ලෙසට සැලකෙයි. මෙවර ඇය සහභාගි වූයේ තම අවසන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටයි.
ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ දී අතිවිශිෂ්ට ලෙස දස්කම් දක්වමින් ජය ගැනීමට සමත් වූයේ වුස්ට් විසිනි. එය ඇය ජය ගත්තේ නව ඔලිම්පික් තරග වාර්තාවක් ද පිහිටුවමින්ය. මෙම ජයග්‍රහණයේ අගය තවත් වැඩි වූයේ තරගය පවත්වන විට ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇයට හිමි වී තිබුණේ 07 වැනි ස්ථානය නිසාවෙනි.
මෙහි දී රිදී පදක්කම ටකාගි හට හිමි වූවා ය. නෙදර්ලන්තයේ ඇන්ටොයිනෙටේ ඩි යොන්ග් ට හිමි වූයේ තෙවැනි ස්ථානය යි. මේ අනුව ලෝකඩ පදක්කම ඇයට යි.
වුස්ට්ගේ මෙම ජයග්‍රහණය අපූරු ය. එමෙන්ම අතිශය දුලබ ය. එපමණක් ද නොව වාර්තාගත ය. එම වාර්තාව වැදගත් වන්නේ ගිම්හාන සහ ශීත ඍතු ද්විත්ව ඔලිම්පික් උළෙලවලට ම පොදු වන නිසා ය. එනම් ඔලිම්පික් ක්‍රීඩා උළෙල 05ක දී කේවල (තනි) ඉසව්වක දී රන් පදක්කම් 05 ක් ම හිමි කර ගත් ලොව ප්‍රථමයා බවට ඇය පත් වීමෙනි.
මීට පෙර මෙම අතිශය දුලබ දස්කම් දක්වමින් එනම් ඔලිම්පික් උළෙල සතරක දී රන් පදක්කම් සතරක් හිමි කර ගෙන සම මට්ටමක සිටියේ වුස්ට් සමඟ 07 දෙනෙකි. සෙසු හය දෙනාම එම දස්කම දක්වා තිබුණේ ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ය. ඔවුන් නම් ඩෙන්මාර්කයේ පෝල් එල්ව්ස්ට්‍රෝම් (රුවල් ඔරු), අමෙරිකාවේ ඇල් අවුටර් (මලල ක්‍රීඩා-කවපෙත්ත විසි කිරීම), කාල් ලුවිස් (මලල ක්‍රීඩා-දුර පැනීම), මයිකල් පෙල්ප්ස් (පිහිනුම්), ජපානයේ කාඕරි ඉචෝ සහ කියුබාවේ මිජෙයින් ලෝපෙස් (මල්ලවපොර) ය.
“ඇත්තටම මෙවැනි දුලබ වාර්තාවකට දායක වීමට හැකි වීම ගැන මට හරිම සතුටුයි” ජයග්‍රහණයෙන් පසුව වුස්ට් පැවසුවා ය. ඇය සිය ඔලිම්පික් ජයග්‍රහණ ලැබුවේ 2006 - මීටර් 3000, 2010 - මීටර් 1500, 2014 - මීටර් 3000, 2018 - මීටර් 1500 සහ 2022 - මීටර් 1500 ලෙසිනි.
වුස්ට් ඔලිම්පික් ක්‍රීඩා උළෙල හි දී හිමි කර ගත් මුළු පදක්කම් ගණන 13 කි. ඊට රන් 06, රිදී 05 සහ ලෝකඩ 02 ක් වශයෙනි. මීට අමතරව ලෝක, යුරෝපීය ශූරතාවලින් ඇතුළුව වෙනත් ජාත්‍යන්තර තරග වලින් ඇය හිමිකර ගත් මුළු ශූරතා ගණන 27 කි.