
අසූව දශකයේ දී ලොව ජනප්‍රියත ම ගායකයා වූයේ මයිකල් ජැක්සන් ය. එහි දෙවැනි ස්ථානය හිමි වූයේ තවත් අමෙරිකානුවෙක් වන ලයනල් රිචී හට ය. මේ නිසා ම ලොව පුරාම සිටිය ඇතැම් මව්පියන් ඔවුන්ගේ පවුලට අලුතෙන් එකතු වූ පුතුන්ට මේ සුපිරි ගායකයන්ගේ නම්වලින් කොටසක් හෝ තැබීමට පියවර ගත්හ.
ආර්ජන්ටිනාවේ ජෝර්ගේ සහ ශීලියා ඉතා දැඩි ලෙස ලයනල් රිචී සහ ඔහුගේ ගීතවලට ප්‍රිය කළහ. 1987 වසර වන විට ඔවුන් සිය පවුලේ තෙවැනි දරුවා මෙලොව එළිය දකින තුරු බලාපොරොත්තුවෙන් සිටියහ. “මේ දරුවා පුතෙක් වුණොත් අපි එයාට ලයනල් නම යොදමු” ඔවුහු කතිකා කර ගත්හ.
එය එසේම විය. 1987 වසරේ ජූනි මස 24 වැනි දින ජෝර්ගේ සහ ශීලියා යුවළ බලාපොරොත්තු වූ පරිදිම ඔවුන්ගේ තෙවැනි දරුවා පුතෙක් විය. ඔවුහු දරුවාට ලියොනල් නම තැබූහ. මේ නම ඉංග්‍රීසි බසට ආදේශ කළ විට එය ලයනල් විය. ඔවුන් එතරම්ම ලයනල් රිචීට ප්‍රිය කළහ.
එදා ඔවුනගේ ලියොනල් පුතු පසු කලෙක ලෝ ප්‍රකට වනු ඇතැයි නොසිතන්නට ඇත. නමුත් දෛවය එයත් තීරණය කර තිබුණි. ලියොනල් ලොව ප්‍රචලිත වූයේ ලයනල් රිචී මෙන් ගායනයෙන් නම් නොවේ. ලියොනල් මෙසී නම් අතිවිශිෂ්ට පාපන්දු තරුව ලෙසිනි.
බොහෝ ක්‍රීඩා විචාරකයන්ට අනුව නම් මේ යුගයේ ක්‍රීඩා කළ අංග සම්පූර්ණත ම පාපන්දු ක්‍රීඩකයා ලියොනල් ඇන්ඩ්‍රෙස් මෙසීය. හෙතෙම ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ 2005 වසරේ සිටය. දැනට ජගත් තරග 158 ක දී ඔහු විසින් රැස් කර තිබෙන ගෝල් ගණන 80 කි. එය ජාතික වාර්තාවන්ය.
මෙසී 2014 වසරේ ලෝක කුසලාන අනුශූරතාව හිමි කර ගත් කණ්ඩායමේ සුපිරිතම ක්‍රීඩකයා ය. එවර තරගාවලියේදීත් ඔහු විශිෂ්ට දස්කම් දැක්වූයේය. තරගාවලියේ දක්ෂතමයාත් විය. මීට අමතරව කෝපා අමෙරිකා හෙවත් දකුණු අමෙරිකානු තරගාවලියේදීත් විශිෂ්ට දසක්ම් දැක්වීය. ඒ අනුව එම තරගාවලියන් හිදී ශූරතාවයක්, අනුශූරතා ත්‍රිත්වයක් සහ තෙවැනි ස්ථානයකුත් ඔහුට හිමි ය. එමෙන් ම වාර්ෂිකව වසරේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයාට හිමි වැඩි ම සම්මාන ගණනක හිමිකරුවා ය. මීට අමතරව 2008 ඔලිම්පික් රන් පදක්කම හිමි ආර්ජන්ටිනා කණ්ඩායමටත් ක්‍රීඩා කළේය.
ඔහු දිගු කාලයක් ක්‍රීඩා කළේ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමටයි. මේ වන විට මෙසී ක්‍රීඩා කරන්නේ ප්‍රංශයේ පැරිස් සෙයින්ට් ජර්මෙයින් කණ්ඩායමටයි. යුරෝපීය ප්‍රධානත ම අන්තර් සමාජ කණ්ඩායම් වාර්ෂික තරගාවලිය හඳුන්වන්නේ චැම්පියන්ස් ලීග් නමිනි. මෙසී එම ශූරතාවත් කිහිපවතාවක දී හිමිකර ගෙන තිබේ.
මීට වසර කිහිපයකට පෙර ලයනල් රිචීගෙන් ලියොනල් මෙසි ගැන විමසීමක් කළේය. “ඔව්. ඒ කතාව ඇත්තක්. මට ගෞරවනීය හැඟීමක් දැනෙනවා. ඔහුට මගේ නම තමයි මවුපියන් යොදලා තිබෙන්නේ. ඒක කොහොම ද? මම එයට හරිම කැමතියි” රිචී සිනාසෙමින් පැවසීය.